ඔබේ නමෙත් මුල් අකුරු මේවාද?

සැප්තැම්බර් 27, 2024

අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට Q අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය කලාපවලින් සාකච්ඡා කරන ලදී. මේ ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ R, S, T යන අක්ෂරවලින් නම් පටන් ගන්නා ඔබ පිළිබඳ විස්තර පැහැදිලි කරන අතර පළමුවෙන්ම අ අකුරෙන් නම පටන් ගන්නා අයගේ විස්තර කුමන ආකාරයෙන්ද යන්න සලකා බලමු.

 

R අකුර

මොවුන් බොහොම ප්‍රසන්න ගති පැවතුම් ඇති කාරුණික පුද්ගලයන් කොටසක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. කවුරුන් සමඟ වුවත් සුහදශීලිව ප්‍රියමනාප ලෙස කතාබහ කරමින් ඇසුරු කරන්නට මොවුන් සමත් වෙයි. ඕනෑම කෙනෙකුට තමන්ට හැකි අයුරින් උදව් කරන්නට මොවුන් කැමතිය. අසරණ අයකු දුටු විට ඉතා ඉක්මනින් උණුවන හිතක් මොවුන්ට ඇත. මේ අය බොහෝ මිතුරන් ඇසුරු කරන අතර සමාජය තුළ අන් අය සමඟින් ඉතා ඉක්මනින් මිතුරු සබඳතා ගොඩනඟා ගැනීමේ හැකියාවක් මොවුන්ට ඇත. ඔවුන්ගේ හැසිරීම සහ චරිත ස්වභාවයන් අනුව අන් අයගේ අවධානය ඉතා පහසුවෙන් යොමු වෙයි. මොවුන් කොතැනකට ගියත් හොඳ පිළිගැනීමක් ලැබෙයි. මොවුන්ට කිරීමට නොහැකි යැයි කියා කිසිවක් නැත. ඕනෑම අමාරු වැඩක් කිරීමට නොබියව ඉදිරිපත් වෙයි. තමාට වුවමනා ලෙස අන් අය හැසිරවීමේ හැකියාවක් ද මොවුන්ට පවතී. සමාජීය කටයුතුවල දී නායකත්වය ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට ද මොවුන් ඉදිරිපත් වෙයි. අධිෂ්ඨානශීලී ගති ලක්ෂණ මොවුන් තුළ ඇත. හොඳීන් ඉවසා දරා ගැනීමේ හැකියාව ද මොවුන් තුළ පවතී. ඉක්මනින් කලබලයට පත්වන පුද්ගලයන් නොවේ. තීන්දු තීරණ ගැනීමේදී හොඳීන් සිතා බලා දුරදිග බලා තීරණ ගැනීම ස්වභාවයයි. මොවුන් සහජ බුද්ධියකින් යුතු පුද්ගලයින් කොටසක් ලෙසද හඳුන්වන්න පුළුවන්. තරමක් දැඩි දළදඬු ස්වභාවයක් ද මොවුන් තුළ පවතී. ආවට ගියාට තම අදහස් වෙනස් කරන්නට කැමැති නැත. තමා හිතාගත් ලෙස කටයුතු කරගෙන යෑම ස්වභාවය වෙයි. ඕනෑම කටයුත්තකදී දක්ෂ ලෙස කටයුතු කරයි. මොවුන් තුළ විවිධ හැකියා සහ දක්ෂතාවයන් පවතී. තමා වෙනස් වෙනවාට වඩා තමාට වුවමනා ලෙස අන් අය වෙනස් කිරීම මොවුන්ගේ ස්වභාවයයි. මොවුන් කිසි විට තවත් දෙයක් හෝ කෙනෙක් විවේචනය කරන්නට යන්නේ නැත. තමාට පුළුවන් දේ ඔවුන් වෙනුවෙන් ඉටුකර දෙයි. අතීතයේ හෝ සිදුවී ඉවර වුණ දේවල් පිළිබඳ පසු තැවි තැවී ඉන්නේ නැත. නිතරම ඉදිරියට කළ යුතු දේ පිළිබඳ කල්පනා කිරීම ස්වභාවයයි. ඉගෙනීමේ කටයුතුවලට ද දක්ෂතාවයක් පවතී. සමහර ඉතා වැදගත් අවස්ථා අමතක වීම හෝ අතපසු වීම දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. ආදරය සහ විවාහ ජීවිතද සාර්ථක ලෙස ගෙවනු දැකිය හැකිය. අන් අයගේ හදවතට දැනෙන ලෙස ආමන්ත්‍රණය කරයි. බොහෝ විට විවෘත ගති පැවතුම් ඇත. අවංක පුද්ගලයන් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන. මේ ශබ්දය සහිත නම් ඇති බොහෝ පුද්ගලයන් සාර්ථක ජීවිත ගෙවනු දැකිය හැකිය.

S අකුර

ශබ්ද විද්‍යාවේ ඉතා බලවත් හඬක් නිකුත් කරන ශබ්ද සංකේතයක් ලෙස ඉ අකුර හඳුන්වා දෙන්න පුළුවන්. මේ අක්ෂරය මුලට යෙදී පටන් ගන්න නම් ඉතා බහුල ලෙස දැකිය හැකිය. ලොව ඉතා ජනප්‍රිය නාමයන් ද ඒ අතර වෙයි. මේ අක්ෂරය හිමි අය විශිෂ්ට නිර්මාණශීලී හැකියාවන්ගෙන් යුක්ත අය ලෙස හඳුන්වන්න පුළුවන. මේ අක්ෂරය හිමි දක්ෂ පුද්ගලයන් ඕනෑම ක්ෂේත්‍රයක දැකිය හැකිය. චිත්‍ර සංගීත නැටුම් ක්‍රීඩා සහ දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම විවිධ පොත්පත් නවකතා සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ද විශේෂ හැකියා දක්ෂතා මොවුන් පෙන්නුම් කරනු ඇත. හොඳ බුද්ධිමය හැකියාවක් මොවුන් සතුව පවතී. යම් දෙයක සමස්තය දැකීමේ හැකියාව ඇත. නිතරම අවබෝධයෙන් යුතුව කටයුතු කරයි. සංවේදී මනසක් හිමි මොවුන් හැඟීම්බර මිනිසුන් කොටසක් ලෙසද හැඳින්විය හැකිය. අධ්‍යාපනය තුළ ද විශිෂ්ට හැකියා දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතී. ඉගෙනීමට උනන්දුවෙන් යුක්තයි. ගැඹුරින් සිතීමේ හැකියාව ඇත. එහෙත් සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවත් වීමට කැමැත්ත දක්වයි. පැත්තක යන දේවල් ඇඟට දමා ගන්නේ නැත. ලස්සනටත්, ප්‍රියමනාපවත් සිටීමට ආසා කරයි. සංචාරයට මෙන්ම ස්වභාව සෞන්දර්යටද ඇලුම් කරයි. මොවුන් නීතියට ගරු කරන අතර අයුක්තියට අසාධාරණයට කැමති නැත. ඔවුන්ගේ අදහස් සහ සිතුම් පැතුම්වලට ගැළපෙන අය පමණක් තෝරාගෙන ඇසුරු කරයි. එහෙත් ඕනෑම අයකු සමඟ හොඳ හිත පවත්වා ගැනීමටද දක්ෂ වෙයි. සමාජය තුළ කැපීපෙනීමටත් ජනප්‍රියත්වයටත් ආසා කරයි. තම නම පවත්වාගෙන යෑමට කැපවීමෙන් ක්‍රියා කරයි. වෙහෙස මහන්සිය නොබලා තම සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කරයි. ඕනෑම දෙයකට කල්තියා සූදානම් වීම මොවුන්ගේ ගතියකි. තම අරමුණට ගමන් කිරීමේදී බාධා පැමිණියද ඒවා ගණන් ගන්නේ නැත. තම ඉලක්ක වෙනුවෙන් කැපවීම අන් අයට ආත්මාර්ථකාමී ගති ලක්ෂණයක් ලෙස පෙනෙයි. මොවුන්ට යම් දෙයක් තීරණය කිරීමේදී ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වෙයි. හදිසියේ ගත යුතු එඩිතර තීන්දු තීරණ ගැනීමට තරමක් අපහසු ගතියක් පවතී. අතපසු නොකර කලට වේලාවට තම යුතුකම් ඉටු ඉටුකිරීමට ද මොවුන් ක්‍රියා කරනු ඇත. ආදරය සහ විවාහය වැනි කටයුතුවලදීත් ගෘහ ජීවිතය තුළත් සමගියෙන් සාමකාමීව අදහස් බෙදා ගෙන කටයුතු කිරීම මොවුන්ගේ ස්වභාවයයි. කෙසේ වෙතත් සමාජය තුළ සාර්ථකත්වය කරා වේගයෙන් ගමන් කර ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට මොවුන්ට හැකියාව පවතී.

 

T අකුර

මේ T අක්ෂරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන් ද බොහෝ නම් ආරම්භ වනු දක්නට ලැබේ. මොවුන් බුද්ධිමත් මිනිසුන් කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉතා හොඳ තීරණාත්මක අදහස් මොවුන් තුළ පවතී. අන් අයට අවවාද උපදෙස් දීමට මෙන්ම මඟ පෙන්වීමට ද මොවුන් දක්ෂ වෙයි. මොවුන් අන් අයට බලපෑම් කළ හැකි ආකාරයේ පුද්ගලයින් වෙයි. නායකත්ව ලක්ෂණ ද මොවුන් තුළ පිහිටයි. අවංකකම මෙන්ම නිහතමානීකම ද මොවුන්ගේ චරිතය තුළින් දැකිය හැකිය. මොවුන් තුළින් හොඳ මානුෂීය ගති ලක්ෂණ ප්‍රකට වෙයි. මනුෂ්‍යත්වයේ පරම අර්ථය තේරුම් ගනිමින් ජීවත්වන මිනිසුන් කොටසක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. රට ජාතිය ආගම පිළිබඳ හැඟීමකින් කටයුතු කරන අතර එවැනි කටයුතුවලදී සංවේදීව ක්‍රියා කරන පිරිසක් ලෙස හැඳීන්විය හැකිය. දනට පිනට මෙන්ම ආගම දහම වෙනුවෙන් ළැදියාවක් දක්වයි. තම අධ්‍යාත්මික පිරිසිදු භාවය පිළිබඳ සිතා කටයුතු කරයි. මොවුන් කිසිම විටෙක කුමන බාධක ආවත් තම උත්සාහය අත් හරින්නේ නැත. සෑමවිටම ඉදිරිය ගැන සිතා කටයුතු කරයි. පසුපසට යෑම මොවුන්ගේ සිරිත නොවේ. තම සාර්ථකත්වය වෙනුවෙන් කළයුතු දේ පිළිබඳ හොඳ වැටහීමකින් කටයුතු කරයි. ඒ නිසා බුද්ධිමත් භාවය අතින් ද ඉදිරියෙන් සිටි. බිඳ වැටීම් හමුවේ කම්පාවට පත් වුණත් නැවත මුල සිට නැගී සිටී. මොවුන් කවුරුවත් කියන ලෙස කටයුතු කිරීමට කැමති නැත. ස්වාධීනව තම අදහස් ක්‍රියාවට නැගීමට කැමති වෙයි. එහෙත් අවශ්‍ය විට සුදුසු අයගේ අවවාද උපදෙස් ගැනීමටද පසුබට නොවේ. මූලික වශයෙන් තම නිදහස අගය කරන පිරිසක් වෙයි. පෞද්ගලික දියුණුව පිළිබඳ වැඩි වශයෙන් සිතයි. තම හිතවතුන් සහ පවුලේ ආදරණීයයන් වෙනුවෙන් තමාට හැකි අයුරින් කාලය ශ්‍රමය කැප කිරීමට ද ඉදිරිපත් වෙයි. කවුරුන් සමඟත් සුහදව සිටිමට නිතරම උත්සාහ ගනියි. බොහෝ විට වයස අවුරුදු තිහෙන් පසුව පමණ දියුණුව සාර්ථකත්වය ඇති කරයි. ජීවිතයේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට දක්ෂ භාවය මොවුන් තුළ පවතී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.