කෘතගුණ ලෙස රජකම දුන් අද්භූත ප්‍රතිමාව

සැප්තැම්බර් 20, 2024

 

නයිල් නිම්න ශිෂ්ටාචාරය හෙවත් ඊජිප්තුව යන නාමය දෙසවන තුළ ස්පර්ශ වන විට මනසේ මැවී මතුවන්නේ, අභිමානවත් ප්‍රතාපවත් දැවැන්ත පිරමීඩයන්ය. පිරමීඩ දේශය නමින් හඳුන්වන ඊජිප්තුවෙහි පිරමීඩයන්ට නොදෙවෙනි තවත් විස්මයජනක එමෙන්ම අද්භූත ප්‍රතිමාවක් දැකිය හැකිය. මේ සුවිශේෂ ප්‍රතිමාව හඳුන්වනු ලබන්නේ ‘ස්පින්ක්ස්’ නමිනි. ඊජිප්තුවේ කයිරෝ නගරයේ ගීසා නම් ස්ථානයේ කුෆු පිරමීඩය අබියස මේ ප්‍රතිමාව ස්ථාපනය කර ඇත.

මුළුමනින්ම ග්‍රැනයිට් නම් වූ පාෂාණයෙන් නිර්මාණය කර ඇති, ස්පින්ක්ස් පිළිරුව උසින් අඩි හැටපහක්ද, පළලින් අඩි හැටතුනක් ද, දිග ප්‍රමාණයෙන් අඩි දෙසීය හතළිහක්ද තරම් වන බැව් පර්යේෂකයන් නිරීක්ෂණය කර ඇත. තුන්වැනි අමනෙම් හාට් රජුගේ පරිපාලන සමය තුළදී නිම වන්නට ඇතැයි මතයක් පැවතිය ද මීට විකල්ප මත රාශියක්ද පවතී. රාජ්‍ය පාලකයකුගේ ශක්තිවන්ත බව, බලපරාක්‍රමය හා තේජවන්ත බව ඉස්මතු කිරීමේ අරමුණින් ප්‍රතිමාව නෙළා ඇත. එකිනෙකට වෙනස් එහෙත් එකිනෙකට ගැළපෙන පරිදි මිනිස් හිසක් හා සිංහයකුගේ පාදවලින් යුත් මේ පිළිරුව එක් අතකින් කලාකරුවා තුළ ඇති අපූරු ප්‍රතිභාව සඳහා කදිම නිදසුනකි. සාමාන්‍ය පරිදි ප්‍රතිමාවක් නිර්මාණය කළේ නම්, එක්කෝ සම්පූර්ණ මිනිසකුගේ රුවක් හෝ සම්පූර්ණ සිංහයකුගේ රුවක් කලා ශිල්පියා අතින් නිම වෙන්නට ඉඩ තිබුණද, කලා ශිල්පියකු යනු කවුරුන්දැයි මෙවන් විස්මිත නිර්මාණ තව තවත් තහවුරු කරයි.

මිනිස් හිසෙන් බුද්ධි මහිමයත්, සිංහ සිරුරෙන් ජවය හා ශක්තියත් සංකේතානුසාරයෙන් ඉදිරිපත් කිරීමට කලාකරුවා ප්‍රබල උත්සාහයක යෙදී ඇත. මේ ප්‍රතිමාවේ මුහුණ නිර්මාණය කර ඇත්තේ, කෆ්රේ රජතුමාගේ මුහුණේ හැඩයට හරියටම සමාන වන ලෙස යැයි තවත් මතයක් පවතී. දවසක නිමාව සනිටුහන් කරන ඉර බැස යාමේ මොහොතේ පටන් යළිත් ලොවට ජීවය දෙන ඉර උදාව දක්වා අඛණ්ඩවම පුරා රාත්‍රියකටත් වඩා වැඩි කාලපරාසයක් තුළ මෙකී පිළිරුව ගවේෂණය කර ඇති පුද්ගලයා වන්නේ, බුන්ටන් පෝල් නම් වූ බ්‍රිතාන්‍ය දේශ ගවේශකයාය. ඔහු ස්පින්ක්සයට ඉරු එළිය, සඳ එළිය හා අහසේ පායන විවිධ තාරකාවන්හි කිරණ එල්ල වීමෙන් ඇතිවන ප්‍රතිපල අධ්‍යයනය කර ඇත. ප්‍රතිමාව ආසන්නයේ සිට එය විවිධ කෝණයන්ගෙන් නිරීක්ෂණය කළ බ්‍රන්ටන් පෝල් තුළ ඇති වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි අද්භූත හැඟීම් මාලාවක් බව ඔහු ප්‍රකාශ කර ඇත.

ගීසා ආසන්නයේම පිහිටි ග්‍රාමයක ජීවත් වන බෙඩෝවියන්වරුන්ගේ ඇසට ෙමි පිළිරුව හමුවීමේදී බෙඩෝවියන්වරු මොනතරම් විස්මයට හා බියට පත්වූවාදැයි ප්‍රකාශ කරන ඔවුන්ගේ හැඳින්වීම වන්නේ ස්පින්ක්සය යනු අන් කිසිවක් නොව භීතියේ පියතුමා ලෙස හැඳින්වූවාට කම් නැතැයි යනුවෙනි.

ස්පින්ක්ස් ප්‍රතිමාව ගවේෂණයට බදුන් කළ පර්යේෂකයන් දෙපිරිසකි. ඉන් එක් කණ්ඩායමක් කළ ක්‍රියාකාරකම් හේතුවෙන් ස්පින්ක්සයට ආරක්ෂාවක් මෙන්ම ජීව ගුණයක් ලැබී ඇත. දෙවැනි කණ්ඩායම් සිදු කළ අත්හදා බැලීම් නිසා ස්පින්ක්සය විනාශ වූවා පමණක් නොව විකෘති වීම්වලටද ලක්ව ඇත.

ස්පින්ක්සය හත්වරක්ම කාන්තාරයේ වැලි සුළඟින් හමා ආ කාන්තාර වැල්ලෙන් යටවී සදහටම වැළලී යන්නට සැරසෙන විට ඉහත සඳහන් කළ හිතකර ක්‍රියාකාරකම් කළ පුද්ගලයන් අතින් යළිත් ඉස්මතු වී ඇත.

පාරාවෝ රජ පෙළපතට අයත් තරුණ ජවසම්පන්න කුමරුවකු වූ තොත්මස් කුමරු කාන්තාර මායිමේ දඩයමේ යද්දී වෙහෙසට පත්ව දඩකෙළිය මඳකට නතර කර, නිද්‍රාවට වැටී ඇත. එම නිදිබර විරාමයේදී ඔහු අපූර්වතම සිහිනයකින් සන්තර්පණය වී ඇත. සිහිනයෙන් ඔහුට එක් දේවතාවෙකු විධානයක් ලබාදී ඇත. “ඔබ වැල්ලෙන් වැසී යමින් ලෝකයෙන් අතුරුදන් වීමට යන ස්පින්ක්සයට පිහිටක් වන්න. එවිට රාජ්‍යත්වය පමණක් නොව ඔබ බලාපොරොත්තු වන සියලු යස ඉසුරු අප්‍රමාදව ඔබ සොයා එනු ඇත.” යන්නයි. තොත්මස් කුමරු මොහොතක හෝ ප්‍රමාදයකින් තොරව, සිය මෙහෙකරුවන් ලවා ස්පින්ක්සයට ප්‍රතිකාර ලබා දී ඇත. වැලි කඳු ඉවත් කිරීමෙන් පසු, යළිත් ස්පින්ක්ස් ප්‍රතිමාව ලෝකය හමුවේ තම තේජස පතුරවමින් බැබළුණා පමණක් නොව ප්‍රතිඋපකාර කිරීමේ ගුණය ද නිහඬව ලොවට කියාපාන්නට විය. ඒ අනුව ප්‍රතිමාවේ බලමහිමය, ආශීර්වාදය තුළින් කුමරු රාජ්‍යත්වයට පත්ව ඇත. රජකම ලබා ගැනීමෙන් අනතුරුව සාර්ථකව පාලන කටයුතුද මෙහෙයවා ඇත. සිව්වැනි තොත්මස් රජු වශයෙන් ඊජිප්තුවේ බලය පැතිරූ මේ කුමරුගේ කාලයේදී ස්පින්ක්ස් ප්‍රතිමාවට පුද සත්කාර කිරීම නිසා කෘෂිකර්මාන්තය පවා ඊජිප්තුවේ පෙර නොවූ විරූ අයුරින් සංවර්ධනය හා අත්වැල් බැඳගත්තේ පුදුම උපදවන අන්දමිනි. තව තවත් ස්පින්ක්ස් ප්‍රතිමාව කෙරෙහි රජතුමා භක්තිවන්ත වීම තුළ ඔහු විසින් ස්පින්ක්සයේ ආරක්ෂාවට පවුරක් පවා ප්‍රතිනිර්මාණය කර ඇත.

සිව්වැනි තොත්මස් රජුගෙන් පසුව, විදේශීය රාජ්‍ය පාලකයෙකු ද ස්පින්ක්ස් ප්‍රතිමාව කාන්තාරයේ මහා වාලුකා කඳුවල ගැහැටින් මුදාගැනීමට ප්‍රබල මෙහෙවරක් ඉටු කර ඇත. ඔහු රෝම පාලකයෙකු වූ මාර්ක්ස් අව්රේලියස්ය. ඒ වන විට මේ ප්‍රතිමාවේ ඇතැම් කොටස් පවා විනාශයට ලක්වී තිබුණ නිසා මාර්ක්ස් අව්රේලියස් විසින් ස්පින්ක්ස් ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කළ අතර, එය කිසිසේත්ම ලෙහෙසු පහසු කටයුත්තක් නොවීය. මන්ද ප්‍රතිමාවේ මුල් ස්වරූපයට කිසිදු හානියක් නොවන අන්දමින් එය කළ යුතුව තිබූ නිසාය. කපිතාන්වරයකු වූ කැවිග්ලියාද, ස්පින්ක්සය වැල්ලෙන් මුදාගැනීමට වෙර දැරූ තවත් අයෙකි. 1869 දී ඊජිප්තු කෞතුකාගාරයේ නිර්මාතෘවරයා වූ ඔගස්ට් මැරියට්ද ස්පින්ත්සය වැල්ලට බිලිවීමට එරෙහිව කටයුතු කළ සුවිශේෂ චරිතයකි. මෙයින් පසු මැස්පරෝ නම් වූ පුරාවිද්‍යාඥයාද ප්‍රංශ ජනතාවගෙන් මුදල් එකතු කර අරමුදලක් ගොඩනංවා මේ අරුම පුදුම පිළිරුව රැක ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දරා ඇත. ස්පින්ක්ස් රුව හත්වැනි වරට වැල්ලෙන් මුදාගෙන ඇත්තේ ඊජිප්තු රජය විසිනි. මේ ව්‍යාපෘතියේදී ස්පින්ක්ස් ප්‍රතිමාවේ පසුතලයට සම්බන්ධ අවකාශයත්, ඉදිරිපස අංගණයත්, වැලි ප්‍රහාරවලින් නිදහස් කර ගෙන ඇත. එමෙන්ම අඩි හතළිහක් පමණ පුළුල් වූ පහත කොටසේ, වේදිකා සෝපාන පෙළද යළි මතුකර ගැන්මට සමත්ව ඇත. මේ සියල්ල අවසානයේ යළිත් වතාවක් ස්පින්ක්ස් ප්‍රතිමාව වැල්ලේ ගිලී යාම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට ස්පින්ක්ස් ප්‍රතිමාව වටා ශක්තිමත් දැවැන්ත කොන්ක්‍රීට් තාප්පයක් ඉදිකරවා ඇත.

ස්පින්ක්ස් ප්‍රතිමාව ආරක්ෂා කිරීමට වැර දැරුවන් මෙන්ම විනාශ කිරීමට උත්සාහ ගත් පුද්ගලයන්ගේද තොරතුරු ඉතිහාසගත වී ඇත. ඔවුන් විසින් ස්පින්ක්ස් රුවේ නාසය හා මුඛය පමණක් නොව ශීර්ෂ පලඳනාවද විනාශ කර ඇත. ස්පින්ක්සයේ නාසයෙන් කොටසක් කඩා දමා එය විකෘති කිරීමේ අකටයුත්ත සිදු කිරීමේ මූලිකයකු ලෙස ඊජිප්තු ජාතිකයන් චෝදනා නඟන්නේ, නැපෝලියන්ගේ යුද භටයන්ටය. එය එසේ වුවද ප්‍රංශයේ පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ දහඅටවැනි සියවසේ ජීවත්වූ මමේලුක් සොල්දාදුවන් එම හානිවලට වගකිව යුතු බවයි. අරාබි ජාතික ඉතිහාසඥයකුගේ මතවාදය වන්නේ 1379 දී අන්තවාදී ෂීක්වරයකු අල්ලා දෙවියන් පිළිබඳ ඇති දැඩි උනන්දුව හේතුවෙන් ස්පික්ස් ප්‍රතිමාවට වෛර බැඳ ප්‍රතිමාවේ නැහැයෙන් කොටසක් කඩාදමා ඇති බවය.

කර්නල් හෝවාඩ් වයිස් නමැත්තා මේ ස්පින්ස්ක් ප්‍රතිමාව කැණීමට උත්සාහ ගෙන ඇත. ඔහු දිගු යකඩ උලක් භාවිතයෙන් ස්පින්ක්ස් ප්‍රතිමාවේ එක් උරතලයක් හාරා සිදුරු කරන ලදි. ඔහු විසින් ප්‍රතිමාව අඩි විසිහතක් යටට හාරා තිබේ. එහෙත් අභ්‍යන්තරයේ කිසිදු කුහරයක් සොයා ගත නොහැකි වූ නිසා ප්‍රයත්නය අත්හැර දමන ලදි. ඊජිප්තු ජනප්‍රවාදයන්ට අනුව මේ ප්‍රතිමාව අභ්‍යන්තරයේ ආර්මෙයිස් අධිරාජයාගේ සොහොන් ගර්භය ගොඩනංවා ඇති බැව් විශ්වාස කෙරේ. මේ විශ්වාසයේ දැඩි සේ එල්බ ගෙන සිටි පුද්ගලයකු වූයේ කයිරෝවේ ඊජිප්තියානු කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා වූ මැරියට් නම් තැනැත්තාය. මැරියට් විසින් මේ ප්‍රතිමාව ඇතුළත කැණ ගවේෂණ කටයුතු සිදු කිරීමට සැලසුමක් සාදා අනුමැතිය ලබාගත්ත ද එම ගවේෂණය ඇරඹීමට මත්තෙන් මැරියට් කරා මරණය හඹා ආ අතර, අවසානයේ ඔහුටද සිදුවූයේ පොළොව යට සොහොන් ගැබක සදාතනික නින්දේ සැතපීමටය.

මහාචාර්ය සේලීම්, මැරියට්ගේ මතයට පරස්පර මතයන් දැරූ අයෙකි. ස්පින්ක්ස් ප්‍රතිමාව සාදා ඇත්තේ තනිකරම තද ග්‍රැනයිට් පාෂාණයකිනි. එනිසා ප්‍රතිමා අභ්‍යන්තරයේ කිසිවක් නැත. යනු සේලීම්ගේ අදහසයි. මේ සියලු මතිමතාන්තර සමෝධානය කරන විට හැඟී යන්නේ ස්පින්ක්ස් ප්‍රතිමාව සැබැවින්ම අද්භූත ප්‍රතිමාවක් බව නොවේද? එපමණක් නොව අද්භූත බවත් සමඟ කැටිවූ අපූරු සෞන්දර්යක්ද පිළිරුවේ අන්තර්ගතය. ඒ බැව් සිව්වැනි තොත්මස් රජු විසින් මේ ප්‍රතිමාවට ආරක්ෂාව ලබාදීමට සැකසූ ඵලකයක සටහන් කළ කාව්‍යමය වගන්තිවලින් සනාථ කළ හැකිය. එම කාව්‍යමය වදන් කිහිපයක් මෙසේය.

“ස්පින්ක්සය....... ඔබ මායාකාරය.
එමෙන්ම අද්භූතජනකය....
අමරණීයත්වයේ දෙවියන්ගේ
සලකුණද ඔබ වන්නේය.....
භූතයන් අතර වැතිර හිඳින ඔබ
භීතියෙන් යුත් ජනයාගේ හද වරෙක මුසපත් කළද,
තවත් විටෙක සැනසුමද ළඟා කරයි....”

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.