අත් අකුරුවලින් හෙළිවන චරිත ලක්ෂණ

ජුනි 7, 2024

 

අප ජීවත්වෙන සමාජය තුළ නොයෙකුත් ආකාරයේ පුද්ගලයෝ සිටිති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියාකලාපයන් පිළිබඳ විමර්ශනය කිරීමේදී එක් එක් පුද්ගලයන්ගේ ගතිගුණ විවිධාකාර බව අපට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස්වන චරිත ලක්ෂණ පිළිබඳව අපට දැනුමක් ලබාගත හැක්කේ ජන්මපත්‍රය, හස්ත රේඛා ලක්ෂණ මඟින් පමණක් නොවේ. ඔහුගේ හෝ ඇයගේ අකුරුවල ස්වභාවය මෙන්ම එම අකුරු ලියන ආකාරයෙන්ද ඔවුන්ගේ ගතිගුණ පිළිබඳව යම් යම් කරුණු දැනගත හැකිය.

අත් අකුරු පරීක්ෂා කිරීමේදී පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාර වෙයි. එක හා සමාන අත් අකුරු බොහෝවිට දක්නට ලැබුණත් එසේ වන්නේ බාහිර පෙනුමෙන් පමණි. එවැනි ලිපි දෙකක් පරීක්ෂා කිරීමේ දී අකුරේ රේඛා විහිද යන ආකාරයෙනුත් අකුරු ලියන හැඩයෙනුත්, කොම්බුව, ගැටය, ඇදය, ඉස්පිල්ල, පාපිල්ල අකුරට සම්බන්ධ කරන ස්ථානය හා ලියන ශෛලියේත්, සියුම් වෙනස්කම් ඇතිබව මනාව පැහැදිලි වෙයි. පුද්ගලයෙකුගේ අත් අකුරුවල ස්වභාවය ඔහුගේ හෝ ඇයගේ ශාරීරික හා මානසික ස්වභාවයන්, බාහිර හේතූන්ද පාදක කොට වෙනස්වන බැවින් අත්අකුරු නිරීක්ෂණය කිරීමේදී කරුණු කීපයක් පිළිබඳ අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වෙයි.

ලේඛනය සඳහා යොදාගත් කඩදාසිය ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය අකුරුවල ප්‍රමාණය හැඩය හා ශෛලිය, කොම්බුව ආදී උපාංග යොදාගෙන ඇති ආකාරය, අකුරුවල වචන හා පේළි අතර ඇති ඉඩ ප්‍රමාණය යන කරුණු නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ මානසික ස්වභාවය පැහැදිලි වෙයි. දෙපස තීරු ඉහළ සිට පහළට සමාන්තරව වෙන්කොට ඇත්තේ නම් අකුරුවල ශෛලිය හා හැඩය පැහැදිලි නම් එය ආයාසයෙන් තොරව ලියන ලද්දේ නම් හෙතෙම ක්‍රමානුකූල හැඩ ගැස්මක් ඇති මනාව තුලනය වූ මනසකින් යුක්ත අයෙකු බව නිගමනය කළ හැකිය.

වම් පස තීරුව වඩා පළල්ව පවතීනම් බිය, අප්‍රවේසම වැනි ලක්ෂණ ද, වඩාත් පටු නම් ලෝභය, අරපරිස්සම, විපරම් සහිත බව ආදි ස්වභාවයන්ද පවතී. එමෙන්ම ඉහළ සිට පහළට ඇති දෙපස තීරුවල ඉහළ පහළත් අතර ඇති පරතරයට බොහෝ සෙයින් අඩු හෝ වැඩිනම් හෝ ප්‍රශ්න හමුවේ නොබියව ඉදිරියට යන කෙනෙකු ද නැතිනම් ප්‍රශ්න හමුවේ පසුබසින කෙනෙකු ද යන්නත් නිගමනය කෙරේ. දකුණුපස තීරුව වඩා පළල්ව දැක්වේ නම් අනාගතය කෙරෙහි බියක් පවතින බව පැහැදිලිය.

ප්‍රමාණයට වඩා ලොකු හා අක්‍රමවත් අකුරු මානසික දුර්වලත්වයෙන් යුතු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. කුමන ආකාරයක දුර්වලතාවයක්ද යන්න නිගමනය කළ හැක්කේ අකුරුවල ස්වභාවය අනුවය. වචන එකට බැඳී පවතීනම් බොහෝ විට වංචාකාරී බව පෙන්නුම් කරයි. වයස් පරතරය හා පුහුණුව අනුව යොදවන ශක්තිය වෙනස් වෙයි. ඒ අනුව ලියන්නා ළමයෙක්ද, නුහුරු අයෙකුද, පුහුණු ලේඛකයෙකුද යන්න නිගමනය කළ හැකිය. ප්‍රමාණයෙන් ලොකු අක්‍රමවත් අකුරු වයස අවුරුදු 3 - 5 අතර ළමයින්ගේය. තද ගැඹුරු රේඛාවලින් යුක්ත නම් අඩු මානසික තත්ත්වයක් පෙන්නුම් කෙරේ.

ලිවීමේදී හය, කොම්බුව, ඇදය, ඉස්පිලි, පාපිලි යොදා ගන්නා ආකාරය අනුව පුද්ගලයාගේ මානසික පීඩනයන් ප්‍රකාශ වේ. එසේම ලිවීමේ දී භාවිතවන උපකරණවල අඩුපාඩු හා දුර්වලකම් කියාපායි. ඉස්පිල්ල, පාපිල්ල අකුරට ආසන්නව කුඩාවට යයි නම් ප්‍රකාශන ශක්තියේ දුර්වලතාව පෙන්නුම් කරයි. අකුරුවල ඇළකිරීමේ ස්වභාවය ඔහුගේ හෝ ඇයගේ විවෘත හෝ සංවෘතභාවය සමාජය හා හැසිරෙන ආකාරය, අනාගතය හැඩගැසෙන ආකාරය හා චිත්ත වේග බල පවත්වන ආකාරය තේරුම් ගත හැකිය.

ශාරීරික හා මානසික වර්ධනයක්ද, නිරවුල් බවක් ද ඇති අයගේ අකුරුවල වෙනස්කම් ඇති වන්නේ ඉතා සෙමින්ය. කෝණාකාර ලෙස අත් අකුරු ලියන්නේ හොඳ ආත්ම ශක්තියක් ඇති අයවේ. අවංක සෘජු වැරැදි නියම ආකාරයෙන් අවබෝධ කරගත් තැනැත්තා හෝ තැනැත්තිය සිරස්ව තනි පේළියට අකුරු ලියාගෙන යයි. එහෙත් සිතිවිලිවලට වහල්ය. තිරස්ව පේළියකට අකුරු ලියාගෙන යනවිට යම් යම් අකුරු උඩු අතට ගමන් කරයි නම් එවැනි අය නිතරම අන් අය අතරින් විශේෂ දෙයක් බලාපොරොත්තුව සිටින අයයි. එක් එක් අකුරුවල ප්‍රමාණ හා හැඩය වෙනස්වෙයි නම් ඔහු හෝ ඇය ස්ථිර ප්‍රතිපත්තියක් නැති අයෙකු බව තේරුම් ගන්න. හේ විටින්විට අදහස් හා ගතිගුණ වෙනස් කරන්නෙකු ලෙස සැලකේ.

රවුම් වටකුරු අත් අකුරු කාරුණික, අනුකම්පාසහගත අයෙකුගේ අතින් ලියැවේ. අසරණ අයට පිහිටවීම, අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට එවැන්නෝ පි‍්‍රයතාවයක් දක්වති.

ඉතා කුඩා ප්‍රමාණයට අත් අකුරු ලියන්නා ලජ්ජාශීලී අයෙකු බව පෙන්නුම් කරයි. එම අකුරු පසුපසට ඇළවුන ස්වභාවයක් ගනී නම් බොහෝ ලජ්ජාශීලීය. ඉතා පිරිසුදුව සාමාන්‍ය ප්‍රමාණයට, චාම් ලෙසට ලියන අත් අකුරු උසස් ගතිගුණ ඇති අය අතින් ලියැවේ.

ස්ත්‍රීන්ගේ අකුරුවලත්, පිරිමින්ගේ අකුරුවලත් හැඩය හා ලිවීමේ ස්වභාවයේ වෙනස්කම් පවතී. හඳුනා ගැනීමට අපහසු තරම් සමානකම් නැත්තේද නොවේ. එවැනි අයගේ ඔවුනටම ආවේණික වූ විශේෂ ගති ලක්ෂණ පවතී.

දිගටි අකුරු ලියන අය කලාත්මක අදහස් දරන පුද්ගලයෝ ය. ඉතා කුඩා දෙයක් පිළිබඳව පවා හොඳින් විග්‍රහ කළ හැකි මොවුන් මිල මුදල්වලට වඩා කීර්තිය, ප්‍රසිද්ධිය අගය කරයි. කල්යාමේදී මොවුන් ඉතා ජනපි‍්‍රයභාවයට පත්වෙයි. මනුෂ්‍ය සමාජය ගැනත්, පැවැත්ම ගැනත් හොඳ අවබෝධයක් ඇති මොවුන් බොහෝවිට රාගී පුද්ගලයන් වේ. ලද දෙයින් සතුටු නොවන මොවුන් අතෘප්තිකර ආශාවන්ගෙන් පෙළෙන අය වේ.

වචන දෙකක් අතර පරතරය වැඩියෙන් සිටිනසේ ලියන අය ත්‍යාගශීලිය. එමෙන්ම පේළි අතර පරතරය වැඩියෙන් තිබීමද එවැනිම චරිත ලක්ෂණ පෙන්නුම් කරයි. මේ වචන හා පේළි ළංව සිටින අයුරින් අකුරු ලිවීම, අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කරන අයගේ ලක්ෂණයකි.

උත්සාහයෙන්, කැපවීමෙන් යුතුව විවිධ වෘත්තීන්හි නියැළී ලෞකික දියුණුව කෙරෙහි සිත් යොමු කරන ස්ත්‍රීන්ගේ අත් අකුරු බොහෝ දුරට පිරිමි අකුරු හා සමාන ස්වරූපයක් ගනී. එසේම ප්‍රමාණයට වඩා විශාල අකුරු ලියන්නේ දොඩමලු ගති ඇති විශාල මිතුරු පිරිසක් ඇති අයයි. ඔවුන් අන් අය අතර කැපී පෙනීමටද උනන්දු වෙති. එක් එක් අකුරුවල හැඩය හා ප්‍රමාණය වෙනස් නම් හේ ස්ථිර අදහස් නැති පුද්ගලයෙකු බව තේරුම් ගත යුතුය. අක්‍රමවත් අකුරු බුද්ධිමතුන් අතින් ලියැවෙන නමුත් ඔවුන්ගේ අදහස් හා ක්‍රියාකාරකම් ඉක්මන් බවක් පෙන්නුම් කරයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.