අමතක කළ නොහැකි අඩසියවසක මෙහෙවර

මැයි 31, 2024

 

පෙරදිග ශාස්ත්‍රයන් පිළිබඳව අපේ රටේ ජනතාවගේ ඇති බැඳියාව නූතන බටහිර විද්‍යාව විසින් යට කර දමනු ඇතැයි යුගයෙන් යුගයට බොහෝ වියතුන් පවසනු ලැබුව ද එය එසේ නොවූ බව අප කාගේත් අත්දැකීමකි. විශේෂයෙන් අන් ජනතාව ජීවිතයේ විශේෂ අවස්ථාවන්හිදී පමණක්වත් ඡ්‍යොතිෂය වැනි විෂයයන් පිළිබඳව අඩු වැඩි වශයෙන් සොයා බැලීමක් සිදු කරන බව නොරහසකි. මෙවැනි විෂයයන්ගේ කරුණු පිළිගැනීම තමන්ගේ නවීනත්වයට, පාණ්ඩිත්‍යයට දැන උගත්කම්වලට තරම් නොවන්නේ යැයි සමාජයට පෙන්වා කටයුතු කරන්නන් පවා මේවා පිළිබඳව රහසින් හෝ විශ්වාස කිරීමත් සොයා බැලීමත් සිදු කිරීම තරමක් හාස්‍යජනකයි.

මේ තත්ත්වය ඉබේ ඇති වූවක් නොවේ. ඒ සඳහා පොදු සමාජය ඉවෙන් මෙන් හා දැනුම්වත්ව සමාජ කොටස් බලවත් සේ සවිඥානිකව කළ බොහෝ දේ බලපා ඇති බව පිළිගැනීමට කාටත් සිදු වේ. මේ සද්කාර්යයේදී මෙයට වසර පනස් පහකට පෙර ආරම්භ කරන ලද ‘සුබසෙත’ පුවත්පත කළ දීර්ඝකාලීන මෙහෙවර අපට කිසිසේත් අමතක කළ නොහැකියි. අපේ රටේ සංස්කෘතික සාහිත්‍ය පිළිබඳ කටයුතු කළ මහ පඬිවරුන් අතළොස්ස අතරින් සුවිශේෂ විද්වතකු වූ පියසේන නිශ්ශංක සූරීන් විසින් මේ පුවත්පතේ ආරම්භක සමයේ සිදු කළ කාර්යය නූතන පරම්පරාවද නිරන්තරයෙන් සිහිපත් කළ යුතුව තිබේ. යටත් විජිත යුගයෙන් පසු යළි පණ ගැහෙමින් නැඟී ආ සිංහල සාහිත්‍යයට සංස්කෘත නාට්‍ය හා වෙනත් සාහිත්‍යාංගයන්ගෙන් ලබා දුන් ආලෝකයට නොදෙවැනි ආලෝකයක් අන් පෙරදිග ශාස්ත්‍රවලටද ලබා දෙමින් එකී ලබාගත් විශිෂ්ට ආරම්භය අදත් පුවත්පතක් පැවැත්මට ශක්තියක් වන ශක්තිමත් අකෘතියක් පවත්වාගෙන යෑමේදී අතිශයින් වැදගත් වන්නට ඇත.

විවිධ පුවත්පත් ආයතනයන්ගෙන් මෙයට සමගාමී පුවත්පත් ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබූවත් ඒවා මේ තරම් දීර්ඝ කාලයක් තිස්සේ තබා වසර කීපයක්වත් පවත්වාගෙන යෑම පහසු නොවීය. “ඉරණම” නමින් ඉතා විශිෂ්ට පුවත්පතක් යම් කාලයක් පවත්වාගෙන යනු ලැබුවද එයටද අත් වූයේ පෙර කී “ඉරණමම ය. විවිධ ආර්ථික හා සමාජමය හේතුන් නිසා මෙසේ පුවත්පත් බිඳ වැටුණද ලේක්හවුස් ආයතනය වැනි ශක්තිමත් ස්ථාවර ආයතනයක බල මහිමය නිසා ‘සුබසෙත’ පුවත්පතට මේ අභ්‍යාග්‍යය උදා වූයේ නැත.

වර්තමාන යුගයේදීත් පසුගිය වසංගත සමයේ අපේ රටට අහිමි වූ වටිනා බොහෝ දේ අතරට එක් වෙමින් ‘සුබසෙත’ පුවත්පත යම් කාලයක් බිඳ වැටී තිබූ බව නොරහසකි. එසේ වුවත් එය බලවත් අභියෝගයක් ලෙස වගකීමෙන් තේරුම් ගත් පිරිසකගේ ශක්තිමත් දායකත්වයක ප්‍රතිඵලයක් ලෙස ‘සුබසෙත’ පුවත්පත යළිත් පාඨක ජනතාව වෙත ලබාදීමට හැකි වීම සුවිශේෂ ජයග්‍රහණයකි. විවිධ අපහසුතා මධ්‍යයේ කඩදාසිවල හා වෙනත් සියලු දේවල මිල ඉහළ යෑමේ අභියෝගවලට හැඩ ගැසෙමින් මෑත වකවානුවේ ‘සුබසෙත’ ඊ - පුවත්පත (ඡ් -නචනඥප) ජනතාව වෙත ගෙන එමින් ලබා ගත් වත්මන් ඇරඹුම විසින් යළිත් ‘සුබසෙත’ මුද්‍රිත පුවත්පතක් බවට පත්වීමට අවශ්‍ය ශක්තිමක් පසුබිම නිරීක්ෂණය වූ බව පෙනේ. එයින් නොනැවතී පෙරදිග ශාස්ත්‍රයන් පිළිබඳ පැවති ගැඹුරු අධ්‍යයනයක් එවැනිම ලොව භාවිත වන විවිධ ශාස්ත්‍රයන්ගේ ආලෝකයත් ලබා ගනිමින් අතිශය ඵලදායි හා පරිපූර්ණ පුවත්පතක් බවට ‘සුබසෙත’ පත්කිරීම පිළිබඳව ඊට දායක වූ සැමට සමාජයේ මෙබඳු විෂයයන්ගේ අගය අවබෝධ කරගත් සැමගේ කෘතඥතාව හිමි විය යුතුම වෙයි.

මෙයට අමතරව කාලීන සමාජ වටපිටාවද මැනැවින් වටහා ගනිමින් මුද්‍රිත ‘සුබසෙත’ පුවත්පතට සමගාමීව සුබසෙත මුහුණුපොත, සුබසෙත – යූටියුබය සහ වෙබ් අඩවිය ආදි බොහෝ පරිවාර අංගයන්ගෙන් ශක්තිමත්ව සමාජගත කළ වත්මන් ‘සුබසෙත’ අන් සමගාමී බොහෝ පුවත්පත් අතරට පෙර පැවති පුරෝගාමී සමාජමය බලපෑම ලබා දෙන අයුරු විස්මකුරු ය.

ඉදිරියේදීත් අප ‘සුබසෙත’ පුවත්පතෙන් අපේක්ෂා කරනුයේ එවැනිම බහුවිධ කාර්යයන්ගෙන් පොහොසත් සමාජමය අභියෝගයන්ගෙන් නොසැලී ශක්තිමත් සංවාදශීලි භාවිතාවක් ‘සුබසෙත’ පුවත්පත ඔස්සේ ඉටුකරනු ලැබීමයි. ඒ සඳහා නොමිලේ රටපුරා පවත්වාගෙන යනු ලබන “ඡ්‍යොතිෂ - ආයුර්වේද” සායන ආදී වැඩකටයුතුවලින් ලැබෙන පුණ්‍ය මහිමයද හේතු වන බව අපගේ විශ්වාසයයි.

සුබසෙතට දිගාසිරි පතමු!

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.