ඉඩම් නඩුවලට යුක්තිය ඉටු කළ කොණ්ඩදෙණියේ තීන්දු

මැයි 31, 2024

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් හිමිදිරි පාන්දර අවදිව පන්සල් භූමිය, බෝමළුව ඇමද වත්පිළිවෙත් ඉටුකොට අවසන් වූවා පමණි. වයස්ගත හීන්දෑරී දුර්වල පෙනුමැති අයකු පන්සලේ මහ ගේට්ටුවට තට්ටු කරනු පෙනුණි.

“අවසරයි අපේ නායක හාමුදුරුවනේ”.

“ලොකු උන්නැහැ දුර පළාතක ඉඳල ආපු වගයි පෙනෙන්නේ”

“එහෙමයි. මම මිනුවන්ගොඩ ඉඳල ඊයේ රෑ රේල්ලුවෙන් ඇවිත් මහව දුම්රිය පොළේ මගී බංකුවක ඇලවෙලා ඉඳලා උදේම පයින්ම ඔබවහන්සේගේ පන්සල හොයාගෙන ආවේ හාමුදුරුවනේ”

‘ඩිංගිරි බණ්ඩෝ.. බුදුමැදුරටයි, බෝධියටයි ගිහින් තමන් ආපු කාරණය ඉෂ්ඨ සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරල එන්න කියන්න” නායක හිමිගේ අණ වහා පිළිපැදිනි.

“හාමුදුරුවනේ මීගමුවේ උසාවියේ මගේ අක්කර 5ක ඉඩමක් සම්බන්ධව ලොකු නඩු පැටලැවිල්ලක් තියෙනවා. අපි අසරණ දුප්පත් මිනිස්සු හාමුදුරුවනේ, අපිට කියල ඇත්තේ ඒ ඉඩම විතරමයි. මගේ ළඟම නෑයෙක් හොර ඔප්පුවක් හදල මගේ ඉඩම ලොකු සල්ලිකාරයකුට ඉතා අඩු මිලකට විකුණලා. ඉතින් උන්දැලා මගේ ඉඩම වටේ කටුකම්බි ගහන්න ආවා. මම පොලීසි ගියා. දැන් ඉඩම් නඩුවක් නොවැ... ඒ සල්ලිකාර මහත්තැන්ලා උසාවියේදී පරසක්වළ ගසමින් කරුණු කාරණා කියනවා හාමුදුරුවනේ. මම ඉතින් සල්ලිබාගේ නැති දුප්පත් අහිංසක මනුස්සයෙක් නේ. දැන් දැන් මට තේරෙනවා. මගේ සාක්කිය වලංගු නැතිවන වගක්......අපේ මුළු පවුලම. යන්තම් ජීවිතේ ගැටගහගත්තේ ඒ ඉඩමේ එළවළු ටිකක් වගා කරගෙන.... අනේ මගේ ඉඩම බේරල දෙන්න හාමුදුරුවනේ.”

“ලොකු උන්නැහැ නඩුකාර හාමුදුරුවෝ මොන වගේ කෙනෙක්ද?”

“මම හත් අට වතාවකට වඩා දැකල නැහැ. මේ මහව නඩුකාර උන්නාන්සේ තමයි මීගමුවට මාරුවෙලා ඇවිත් ඉන්නේ.”

“තමුන් මෙහාට ආපු එක හොඳයි. මමත් බලාගෙන හිටියේ ඔය මහ උන්දැට පුංචි පහේ පාඩමක් උගන්වන්න. ඊට කලින් අපේ උපාසක මහත්තයා ඉඩම සම්බන්ධව මා එක්ක කියන සියලුදේ ඇත්ත නැත්ත බලන්න ඕනෑ... ඩිංගිරි බණ්ඩෝ ඔය හීතල පෙට්ටිය අරන් එනවා. මේ පෙට්ටියේ ඇති කුඩා කවුළුව ඇතුළට දකුණු අත දමන්න. හැබැයි බොරු කිව්වොත් ඊට සම්බන්ධ කුඩා වයර් දෙකකින් යා කරන කුඩා ටෝච් එක දැල්වෙනවා.” හිමි අණ වහා පිළිපැදිනි. අහිංසක ආගන්තුකයා පෙට්ටිය තුළට තම දකුණත දැමීය.

“දැන් කියමුකෝ ඉඩම හවුල් ඉඩමක් හෝ වෙනත් අයකු අයිතියක් නොමැති, තමන්ට සින්නක්කරව අයිති ඔප්පු තිරප්පු නිවැරැදිව ඇති තමාගේම ඉඩමක්ය කියලා.”

මේ පරීක්ෂණයෙන් හිමියන්ට සනාථ වූයේ ආගන්තුකයා සත්‍යය ප්‍රකාශ කරන බවය. අහිංසක ආගන්තුකයා දේව මන්දිරය තුළට කැඳවා ගෙන කුඩා කෝටු කැබැල්ලක් කාලිමෑණියන්ගේ දේවපිළිමය අබියස තබා නායක හිමියන් බලගතු මන්ත්‍ර ජපකරන්නට විය. මුළු දේව මණ්ඩලයේම දැල්වූ පහන් සිළුවල ආලෝකය වැඩි වී ඒකාලෝක විය. ඒ සමඟම කළු තඩි බළලෙකු දේව මන්දිරයට පැන හිමි පාමුල දැවටෙන්නට විය. සුළු මොහොතක් ගතවත්ම දෑ සමන් මල් සුවඳින් මුළු දේව මන්දිරය පුරා පැතිරයන්නට විය. කාලි මෑණියන් පිළිමය අබියස තිබූ කෝට්ට අතට ගත් හිමියන් එය වහා මේ අසරණ මනුෂ්‍යයාට පිරිනැමීය. “මේ කෝටුව ප්‍රවේශම් කරගෙන නඩුව අහන දිනයේදි කොහොම හරි නඩුකාර උන්නාන්සේගේ ආසනය යටින් දාන්න ඕනෑ.”

“එහෙමයි හාමුදුරුවනේ... නඩුකාර උන්නාන්සේගේ කාමරය අතු පතු ගාන්නේ මගේ ළඟම නෑ කෙනෙක්.”

නඩු දිනයේදී සුප්‍රසිද්ධ නීතිඥ මහත්වරු කිහිප දෙනකු මඟින් තම ප්‍රතිවාදියා විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කළේය. අසරණ ඉඩම් හිමිකරුට තමන් වෙනුවෙන් නීතිඥයකු ලබා ගැනීමට වත්කමක් නොවීය. සියලු තර්ක විතර්ක අවසන් විය.

විනිසුරුවරයා ඒක පාර්ශ්වීය නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කරන්නට සූදානම් වූවා පමණි. ඔහුට කතා කරගන්නට බැරි විය. කටින් නාසයෙන් සෙම ගලාගෙන ඇවිත් මුළු සිරුරම අප්‍රාණික විය. ගල් පිලිමයක් සේ විනිසුරු අසුනේම බලාගත් අත බලා සිටින්නට විය. ඒ සැණින් උසාවියේ වැඩ තාවකාලිකව නිමාවට පත් විය.

මීගමුව උසාවියේ කාර්ය මණ්ඩලයට කොණ්ඩදෙණිය හිමියන්ගේ හාස්කම් මතක් විය. වහාම වාහනයක් ගෙන කොණ්ඩදෙණිය පන්සල වෙත ඉගිල ගියේය.

“හොඳයි මේ පිරිත් පැන් බෝතලයෙන් පිරිත්පැන් ටිකක් නඩුකාර උන්නාන්සේගේ මුහුණට ඉසින්න. විනාඩියෙන් සිහිය එයි. තමුන්ගේ ඉල්ලීම නිසයි මෙහෙම කරන්නෙ” හිමියන් කී පරිදි සියල්ල සිදුවිය.

“උසාවිය නිශ්ශබ්ද වෙනු” තෝල්ක මුදලිගේ හඬ උසාවියේ දෝංකාර දිණි. සවස් භාගයේදී ඉඩම් නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් විය.

“පැමිණිලිකරු අහිංසක දුප්පත් අයෙක්. ඔහුගේ ඉඩමට හොරඔප්පු හදාගෙන තියෙන බවට ලියවිල්ලක් තියෙනවා.

ඔහුට නීතිඥ මහතකු අල්ලාගන්න මුදල් හදල් නැතිව ඇති. මට දැන් සාධාරණ තීන්දුවක් දෙන්ට වෙනවා.

හොර ඔප්පු හැදූ අය රක්ෂිත බන්ධනාගාරගත කරනවා. පැමිණිලිකරුට රුපියල් දසදහසක දඩමුදලක් ගෙවන ලෙසද නියෝග කරනවා.”

විනිසුරුතුමාද තම හිතවත් කාර්යමණ්ඩලයේ අයකු සමඟ කොණ්ඩදෙණිය බලා පිටත්ව හිමියන් මුණ ගැසී සමාව ගත්තේය. මීගමුව උසාවියෙන්ද මාරුවී යාමට ඔහු තීරණය කර තිබිණි.

‘කොණ්ඩදෙණියේ හාස්කම්’ මැයෙන් විශේෂාංග ලිපි පෙළක් ‘සුබසෙත’ පුවත්පතේ ලියැවෙන්නේ මේ වසරේ ජනවාරි මස මැද භාගයේ සිටය. ඒ අතර දිනක් මගේ නිවෙසේ දුරකතනය නාද විය. ‘හලෝ! මේ කතා කරන්නේ මීගමුවේ ඉන්ද්‍රජිත් කියල කෙනෙක්. මම සුබසෙත පත්තරේ ඔබතුමා ලියන ලිපි නොවරදවාම කියවනවා. ඉතින් මටත් ඉඩම් පිළිබඳව විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා. කොණ්ඩදෙණිය පන්සලේ අනුරුද්ධ නායක හිමියන් මුණගැහෙන විදිය කියන්න පුඵවන්ද?”

මම එයට නිසි පිළිතුරු ලබා දුනිමි. ඊළඟ සෙනසුරාදා උදේම එතුමා කොණ්ඩදෙණිය වත්මන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති අනුරුද්ධ හිමියන් මුණගැසී තිබුණි.

මීගමුවේ අක්කර 5ක පමණ සරුසාර අලුත් පොල්ඉඩමක වලව්වක් බඳු පැරැණි කැටයම් කලාවෙන් අනූන වූ නවීන නිවෙසක තම මව සමඟ සොහොයුරන් දෙදෙනෙක් වාසය කළහ. කුඩා කාලයේම පියා මිය පරලොව ගොස් තිබිණි. වැඩිමල් සොයුරා පරිපාලන සේවයේ ඉහළ නිලධාරියෙකි. ඔහු ඉඩකඩම් නිවාස දේපොළ වාහන ඇති පොහොසත් පවුලකින් විවාහයක් කර ගත්තේය. ඔවුන්ට කිසිදු අඟහිඟයක් නොතිබිණි.

පවුලේ බාල පුතු ඉන්ද්‍රජිත් තම මව සමඟ අක්කර පහේ පොල්ඉඩම මැද ඉදිකර තිබූ නිවසේ පදිංචිව සිටියේය. ගේදොර කටයුත මෙන්ම මවගේ සුවදුක් සොයා බැලුවේත් නිවෙස වැඩිදියුණු කළේත් ගෙදර බඩපිස්සා වූ ඉන්ද්‍රජිත්ය. මහගෙදර පොඩිපුතාට ලියාදීමට මව කැමැත්තෙන් සිටියාය.

වසර ගණනාවකට පසුව තම වැඩිමහල් පුතා බිරිඳ සමඟ මව බැලීමට මේ නිවසට පැමිණියේය. මාස කිහිපයකට මව තම නිවෙසට කැටුව ගිය ඔවුහු ඉතා හොඳින් මවට සලකා වන්දනා ගමන්ද කැටුව ගොස් ඇයගේ සිත් දිනා ගැනීමට සමත් වූහ.

පසුගියදා තම මව ආපසු මහගෙදරට ඇරලවූ පසු “මේ ගේ ලොකු පුතාට ලියන්නට ඕනෑ...පොඩි පුතා තවම විවාහවෙලත් නැහැනේ” මව කීවාය. මවගේ මෙවදන්වලින් ඉන්ද්‍රජිත් පුදුමයට පත්විය.

තම පෙම්වතිය සමඟ විවාහ වී මහගෙදර පදිංචිවීමට අපේක්ෂාවෙන් පසු වූ ඔහුගේ බලාපොරොත්තු මොහොතින් සුන් විය.

කොණ්ඩදෙණිය පන්සලට ගොස් අනුරුද්ධ හිමියන් මුණගැසී මේ දුක්ඛ දෝමනස්සය හෙළිකරන්නට වූයේ එබැවිනි. උන්වහන්සේ සියලු විස්තර අසා දැනගෙන සිදුවන්නට යන අයුක්තිය, අසාධාරණය වළක්වාලීමට ප්‍රබල මන්ත්‍රයක් හෝරා කිහිපයක් ජීවම් කොට පිරිත් නූලක් ලෙස තම මවට පැළදවීමට පියවර ගන්නා ලෙසටද ඇය නිදන කොට්ටය යටින් තවත් පිරිත් නූලක් තබන ලෙසට උපදෙස් දුන්හ.

හිමි අණ එලෙසට ක්‍රියාත්මක විය. ගත වූයේ දින කිහිපයක් පමණි. දිනක් උදේ පාන්දර අවදිවූ තම මව කීවේ “පොඩි පුතාට මේ ඉඩමයි,ගෙයයි අදම ලියාදෙන්න මම තීරණය කළා. නීතිඥ මහතකු ලවා ඔප්පු ලියාගන්න සූදානම් කරන්න” වහාම ක්‍රියාත්මක වූ ඉන්ද්‍රජිත් තම මවට ප්‍රාණභුක්තිය තබා නිවෙස සහ ඉඩම නීත්‍යානුකූලව පවරා ගැනීමට සමත් වී තිබිණි.

මගේ නිවසේ දුරකතනය නාද විය.

“මම කතා කරන්නේ මීගමුවේ ඉන්ද්‍රජිත්, ඔබතුමාටත්, ලේක්හවුස් ආයතනයටත්, සුබසෙත පුවත්පතටත් කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. බොහොමත්ම පින් මට සිදු කළ උපකාරයට.” ඔහු එසේ කීවේ ඉහත විස්තරය මා හට පැවසීමෙන් අනතුරුවය.

පොදු සමාජයේ උන්නතිය තකා සතවෙත සිරිසෙත සලසන සතිපත සුබසෙත මඟින් කෙරෙන විශිෂ්ට සේවාවට මුළු මහත් ජනතාවගේ භක්ත්‍යාදරය කෙබඳුදැයි එදින මම පසක් කර ගතිමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.