රුද්‍රාක්ෂයේ දිව්‍යමය බලය

මැයි 17, 2024

බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් හෝ වෙනත් ආගම් අදහන සෑම භක්තිමතෙකු තුළම බුද්ධිය හා දැනුමට පමණක් සීමා නොවූ භක්තියකුත් ඇත. උග්‍ර භෞතිකවාදීන් මනුෂ්‍ය ආත්මභාවයක් ලැබුවන්ගේ ආධ්‍යාත්මය හා විඥානයට ප්‍රධාන තැනක් නොදේ. ඕනෑම මනුෂ්‍යයෙක් සසර සැරිසරන තුරු දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය සත්ත්ව යන ආත්මභාවයන්හි ගත කර ඇත.

මනුෂ්‍ය ආත්මභාවයට පැමිණ ජීවිත ගත කළත් පෙර සසර ඇසුර අනුව දෙවියන්ද, බඹුන්ද, මිතුරෝද තුති පුද වෙති. එනිසා මනුෂ්‍යා විසින් භක්තිමත්ව කරන පුද පූජා ඇදහිලි යාච්ඤා කෙරෙහි පිහිට වෙති.

මෙහිලා බලන විට මිනිසා අනාදිමත් කාලයක පටන් විපත්, කරදර බාධක, රෝග පීඩා ආදියේදී කිසියම් දෙවි කෙනකුගේ හෝ මැණික් වර්ග හෝ යන්ත්‍රවල හෝ බෝධි වෘක්ෂාදියේ පිහිට පතයි.

දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත හැකි ශාක මෙවලමක් ලොව පහළ වී තිබේ. එය රුද්‍රාක්ෂ යනුවෙන් හැඳින්වේ. දෙවියන්ට සමීප වීමටත් මෝක්ෂය සාක්ෂාත් කර ගැනීමටත් මෙය මහඟු අත්වැලක් වේ.

රුද්‍රාක්ෂ භාවනානුයෝගී යෝගාවචරයාටත්, ගිහිගෙයි ගත කරන පුද්ගලයාටත්, යෝග අභ්‍යාසයන්හි නිරත වන පුද්ගලයාටත් ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීමටත් අපල දුරුකර ගැනීමටත් භෞතික සම්පත් ළඟා කර ගැනීමටත්, නිවන් මඟට ප්‍රවේශ වීමටත් උපකාර වන එක්තරා වස්තුවක් ලෙසද හැඳින්විය හැකිය.

විශ්වයේ උපත, පැවැත්ම හා විනාශය ගැන වේද ග්‍රන්ථවල සඳහන්ව තිබේ. මේ නියාම ධර්මය ජීවි අජීවි සෑම වස්තුවකටම පොදුය. මේ නියාම බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තියෙන් අර්ථ ගන්වා ඇත. මේ ත්‍රිමූර්තියට සම්බන්ධ බ්‍රහ්ම, දේව හා යක්ෂ කොට්ඨාස වෙති. මේ සෑම කෙනෙකුගෙන්ම මෙලොව හා පරලොව දියුණුවට උදව් උපකාර ලබා ගත හැකිය. ලෝකයේ සිදුවන දෑ විස්මිතය. ඇතැම් ඒවා නවීන විද්‍යාවටත් තාක්ෂණයටත් තර්ක ශාස්ත්‍රයටත් හසු නොවේ.

මිනිසාද ජීව විද්‍යාත්මක ස්වභාවධර්මයේ නිර්මාණයකි. රුද්‍රාක්ෂයද ජීව විද්‍යාත්මක නිර්මාණයක ප්‍රතිඵලයකි. ලොව පහළව ඇති කිසිම ශාක බීජයක දක්නට නොමැති විස්මිත බලයක් ඇති එකකි.

මිනිස් සිරුරේ ක්‍රියාත්මක වන්නේ ජීව විද්‍යුත් හා ජීව චුම්බක බලයකි. රුද්‍රාක්ෂයේද එවැනිම ජීව විද්‍යුත් හා ජීව චුම්බක බලයක් ඇත. එනිසා මෙය මිනිස් සිරුර හා සම්බන්ධ වූ විට අන්‍යෝන්‍යව සහයෝගීව ක්‍රියාත්මක වේ. එපමණක් නොව රුද්‍රාක්ෂයේ අන්තර්ගත රසායනික සංයුතියද වැදගත් වේ. රන් රිදී, බේරියම්, තඹ, යකඩ, මැංගනීස්, කොපර් එහි අඩංගු වේ.

රුද්‍රාක්ෂයේ ඖෂධ ගුණයක් මෙන්ම පුද පූජා තබමින් අදාළ ස්තෝත්‍රාදිය කියමින් බල වර්ධනය කිරීමෙන් දෙවියන්ගේ ආකර්ෂණය, ප්‍රසාදය ලැබිය හැකිය. රුද්‍රාක්ෂ පැලඳීමෙන් අපල උපද්‍රව දුරු කර ගැනීමටත් ජයග්‍රාහී අරමුණූ කරා ළඟා වීමටත් නැණ නුවණ වර්ධනය වී නීරෝගි පුද්ගලයකු බවටත් පත්විය හැකිය. ජීවිතයේ සාමය, සතුට, ළඟා කර ගත හැකිය. යක්ෂ, පේ‍්‍ර‍්‍රත කුම්භාණ්ඩාදී හතුරු බලවේගවලින් ආරක්ෂා විය හැකිය.

රුද්‍රාක්ෂ ගැහැනු,ූ පිරිමි දෙපාර්ශ්වයටම එක සේ ප්‍රයෝජනය ලැබිය හැක්කකි. රුද්‍රාක්ෂ ගෙලෙහිද, අතෙහිද පැන්ඩනයක් ලෙසින් හෝ බ්‍රේස්ලට් එකක් ලෙසින් හෝ පැලඳිය හැකිය. මෙය වරෙක ආභරණයක් ලෙස පෙනුණද ගුණාත්මක වටිනාකමින් ඉහළය. ඊශ්වර දෙවිඳුන්, පාර්වතී දේවියන් රුද්‍රාක්ෂ වරලසේ, ගෙලේ, සවන්පතේ, බාහුවේ, අතේ පැලඳ සිටී. මේවා ගුණය, බලය, ශක්තිය ගැන අවබෝධයෙන් භක්තියෙන් පැලඳිය යුතුය.

රුද්‍රාක්ෂය සිද්ධි බල ගන්වා පැලඳගත් පසු තමා විසින් ම ද ගුණාත්මක බව, බලය වර්ධනය කරගත හැකිය. රුද්‍රාක්ෂය පැලඳගත් තැනැත්තා සිතිනුත්, ගතිනුත් පිරිසුදු වේ. දෙවියන් කෙරේද තුනුරුවන් කෙරේද විශ්වාසය හා භක්තිය ඇති කර ගනී.

රුද්‍රාක්ෂය පැලඳිය යුත්තේ ඒවායේ ගුණය, බලය දන්නා ගුරු කෙනෙකුගෙන් හෝ සාධුවරයෙකු ගෙනි. එවැන්නෙකුගෙන් ප්‍රසාදය හා ආශීර්වාදය ලැබිය යුතුය. අවශ්‍යතාවට අනුව ස්තෝත්‍රාදිය ගායනා කරගත යුතුය. පුද පූජා පැවැත්විය යුතුය.

රුද්‍රාක්ෂ ගස මෙන්ම දෙවියන්ගේ විමාන වූද, වරින් වර වඩින්නා වූද ගස් වේ. බෙලි, අඹ, කොහොඹ, බෝ, නුග සඳහන් කළ හැකිය. බෙලිගස, විෂ්ණු සහ ලක්ෂ්මී දෙවඟනගේ විමාන වේ. අඹ, කොහොඹ පත්තිනි මාතාව වඩින ගස් වේ. බෝගසට නොයෙක් දෙවිවරු පුද පූජා පින් ලබා ගැනීමට පැමිණෙති.

රුද්‍රාක්ෂය, සුරාසුර යුද්ධයේ ඉතිහාසය හා දිවයයි. සුරාසුර යුද්ධයේදී අසුරයන් අතින් සුරයන්ට වූ හානිය දැක කම්පාවට පත්වූ භාවනානුයෝගීව සිටි ඊශ්වර දෙවිඳුගේ දෑසින් වැටුණ කඳුළින් පොළොව මහී කාන්තාව විසින් බිහි කරන ලද්දක් යැයි වේදයේ සඳහන් වේ. නිල්පාට වටකුරු ගෝලාකාර ශාක ඇටයක්, ලෙල්ල ඉවත් කළ විට කැටයම් සහිත ස්වරූපයක් ගනී. මේ රුද්‍රාක්ෂ වර්ග 30ක් ගසින් වැටෙන අතර 21 වර්ගයක් පමණක් භාවිතයට ගැනේ.

රුද්‍රාක්ෂයේ මුහුණ හෙවත් තීරුව මුඛී යන සංස්කෘත වදනින් හැඳින්වේ. මුඛී එකේ සිට මුඛී 21ක් දක්වා භාවිත කරන අතර, ඒවා එවිට අංකයට, නැකතට, ලග්නයට, දෙවියන්ට, හා ග්‍රහයින්ට අනුව වර්ග කෙරේ.

රුද්‍රාක්ෂය පපුවේ ස්පර්ශ වන විට හෘදය, පෙණහලු ක්‍රියාත්මක වේ. මැණික්කටුව ස්පර්ශ වන විට නිල 3ක් ස්පර්ශ වේ. මුළු සිරුරටම ක්‍රියාත්මක වේ.

මේවා පැලඳීමෙන් ධනය, බලය, කීර්තිය, අපල දුරුවීම, නිරෝගී බව, ජීවිතයේ සතුට, සමාදානය ඇතිවේ.

කේන්දරයද අධ්‍යයනය කිරීමෙන්, අවශ්‍යතාව වටහාගත හැකිය. ග්‍රහ අපල දුරු වීම, රෝගපීඩා, සුව වීම, ආකර්ෂණය හා බලය, කීර්තිය හිමි වේ.

ඒරාෂ්ටක මාරක අපල උපද්‍රව දුරු කර ගැන්මටත් රුද්‍රාක්ෂ උපකාරකයකි.

අවශ්‍යතාව අනුව අදාළ දේවස්තෝත්‍ර ග්‍රහස්තෝත්‍ර ගායනා කර ගත යුතුය.

ඖෂධ ගුණය ගැන කියන විට හිසරදය, හෘදයාබාධ, ආඝාතය, පාකින්සන්, කශේරු ආබාධ, දුරු කර ගත හැකිය. ඒ සඳහා රුද්‍රාක්ෂ පලඳින ක්‍රමවේද වේ.

රුද්‍රාක්ෂ දෙකක් වතුර වීදුරුවකට දමා ආදාළ ස්තෝත්‍ර ගායනා කර, රෝගයන්ට අදාළ ස්තෝත්‍රද කියා, රාත්‍රි වසා තබා පසුදින උදයේ පානය කිරීමෙන් බොහෝ රෝග සමනය වේ.

විවාහ ප්‍රමාද දුරු කර ගැනීමට හොඳ දරු සම්පත් ලබා ගැනීමට උගත්කම, වර්ධනය කර ගැනීමට, දීර්ඝායුෂ ලැබීමට රුද්‍රාක්ෂ භාවිතය ප්‍රයෝජනවත්ය.

බොහෝවිට රුද්‍රාක්ෂ පැලඳිය යුත්තේ ඔත්තේ සංඛ්‍යා හෙවත් 1,3,5,7 වශයෙනි. රුද්‍රාක්ෂ වර්ග කීපයක් වශයෙන් ද සංයෝග කර ගුණ ලබාගත හැකිය.

(මතු සම්බන්ධයි)

අංක විද්‍යා ඡ්‍යොතිෂවේදී

ජේ.ඒ.ඩී. පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.