වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
උරහිසෙහි ගෑවෙමින් දොරකඩටම ආ මායාකාරිය
මෙතෙක් කතාව :-
තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම හේතුවෙන් මරණයට පත් වූ තම මිතුරකුගේ කතාවය. කතාව කියන තරුණයා දිනක් රාත්‍රියේ නිවෙසට එන අතරමඟදී උස මැහැල්ලක් තමා ඉදිරියේ සිටිනු දකී.
මා නැවතත් ඔබට කියන්නම්, ඒ අන් කිසිවෙක් නොවෙයි. දැවයෙන් තැබූ රූකඩයක් මෙන්, නැතිනම්, දරදඬු මළ මිනියක් මෙන් ඒ මූසල රාත්‍රියේ නොසෙල්වී බලා සිටියේ දැවැන්ත උස ගැහැනියක්. මහලු වයසේ පසුවූ ඇයගේ දෙනෙත් සාහසිකත්වයනුත්, ක්‍රෝධයෙනුත් ගිනියම් වූ තියුණු පිහිතල දෙකක් මෙන් හරියටම මගේ දැසට එල්ල වුණා.
තමන්ගේ මහලු වයසට කිසිසේත්ම නොගැළපෙන පරිදි ඇහිබැම ගා දමා තිබූ නිසා ඒ විකෘති මුහුණේ භයංකාර ස්වභාවය තවත් වැඩි වී පෙනෙන්නට වුණා. මේ සියලු දේ තුළ ඇති සංත්‍රාසය සිය දහස් ගුණයකින් වැඩි කරමින් ඇය ඊළඟට එකම දතක්වත් නැති තම ලොඹු කටින් මා දෙස බලා ඉතා නපුරු ලෙස විරිත්තුවා.
මගේ මානසික තත්ත්වය හේතුවෙන් ඇයව හරියටම දැක ගැනීමට මේ මොහොතේ එක්තරා විදියක උමතුවක් මා තුළ ඇති වුණා. මේ බිහිසුණු ගැහැනියගේ හැඩරුව පිළිබඳව සියලු කරුණු කාරණා මොළයේ සනිටුහන් කර ගැනීමට ලැබුණේ ඒ නිසා වන්නට ඇති. පිළිකුල් කටයුතු වූත්, අද්භූත වූත්, මේ යක්ෂ ගැහැනිය දෙස හෙළූ තත්පර දෙක තුනක කාලය තුළ ඇගේ මුහුණ මෙන්ම ඇඳුම් පැළඳුම්වලද සුලු විස්තර පවා ඒ නිසා සිතේ ඇදී ගියා. වීදියේ දැල්වෙමින් තිබූ පහන් කණුවෙන් මේ බිය ජනක ගැහැනිය මත ඇද වැටුණු සුදුමැළි චන්ද්‍රාලෝකය මා තුළ සටහන් කරනු ලැබු රූපය කොයි විදියේ එකක්දැයි මා නැවත ඔබට පැහැදිලි කරන්නම්.
ඇයගේ පෙනුම සම්බන්ධයෙන් කිවයුතු මුලිකම කාරණය වන්නේ ඇයගේ සිරුරේ තිබූ අසාමාන්‍ය උස සහ වැහිරී ගිය පළල් උරහිස් දෙකයි. ඊළඟට වියළුණු මළ මිනියක පිහිටි, නමුත් ප්‍රාණය රැඳුණු බකමුහුණකුගේ වැනි දෙඇසත්, මායාකාරියකගේ මෙන් ඉදිරියට නෙරා ආ නාසයත්, ගැඹුරු ලෙනක් වන් කටත්. දික්වූ නිකටත් මේ බිහිසුණුභාවය තවදුරටත් තීව්‍ර කරනු ලැබුවා. කිසිසේත්ම මහලු ගැහැනියකට නොගැළපෙන ඇඳුමකින් සැරසී සිටි ඇය සුදු කපු ලේන්සුවක් හිස වටා යවා නිකට යටින් ගැට ගසා ගැනීමෙන් මේ ඇවිදින මළ මිනියකට සුදුසු භයානක පෙනුම තවදුරටත් ඔපවත් කරවන්නට උදව් කරගෙන උදව් තිබුණා. ඒ වාගේම මේ ගැහැනිය සම්බන්ධයෙන් මට මගේ ජීවිතයේ අවසානය දක්වා මතකයේ රැදුණා වූ දෙයක් ඇගේ සුරතෙහි තිබුණා. එය දිග හරින ලද සුදු පැහැති ඉතා කුඩා අවානක්. ඇගේ අසාමාන්‍ය උසට සහ විශාල අත්ලට සමානුපාතිකව ඉතා කුඩා මේ අවාන විසින් ඇති කරනු ලැබුවේ සරදමත්, සමච්චලයත්, බියත් පමණයි. ඇය එම අවානෙන් සිය ඉඟටිය පෙදෙස වසාගෙන සිටියේ බොරු විනීතකමක් ප්‍රදර්ශනය කරමින්. පිරිමියෙකුගේ වැනි නාසයක් පිහිටි ඒ විකෘති මුහුණ දෙපසින් වැටෙන්නට නිකට හරහා බැඳ තිබුණු කපු ලේන්සුවට නම් එම කුඩා අවාන මැනවින් ගැලපුණා.
එක් වරම මේ ගැහැනියකගේ වේෂයෙන් පෙනී සිටින පිරිමියකු විය යුතු යයි මට සිතුණා. නමුත් ඒ සිතිවිල්ලට ජය ගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. මක්නිසාද කියනවා නම්, ඇගේ දෙනෙතින් විහිදුණු ද්වේෂයෙන් පිරුණු බැල්මත්, බිහිසුණු අන්ධකාර ආඝාධයක් වැනි මුවෙහි රැඳුණු කර්කෂ සිනහවත්, ඇය නපුරු මායාකාරියක් හෝ අප්‍රසන්න නපුරු මැහැල්ලක යයි මා හට තවදුරටත් තහවුරු කරනු ලැබූ නිසා. පොදුවේ ගත් කල මේ කාලකණ්ණි පංචස්කන්ධයම එක්තරා අවාසනාවන්ත දෛව විපාකයක පිළිබිඹුවක් සේ මා හට පෙනී ගියා.
යම්කිසි දෛවඥයෙකු කියන්නට පුළුවන්, තමාගේ සතුරා පිළිබඳව සහජයෙන් ඇති කරනු ලබන ඉවක් වාගේ දෙයක් නිසා, සතුරාව අඩි ශබ්දයෙන් හඳුනා ගන්නා ආකාරයට මමත් එවැනි ඉවකින් ගැහැනුන්ට බිය වූවා කියා. මා එවේලේ කොතරම් බියපත් වුවත්, මේ අද්භූත මායාකාරියට පෙනෙන්නට පලා ගියේ නැහැ. එසේ පැන දුවන්නට ඇති වූ දැඩි ඕනෑකම මා බලයෙන් මැඩ පවත්වා ගත්තා.
එසේ කරනු ලැබුවේ දුවද්දී මා කවරෙක්දැයි ඇයට වඩා හොඳීන් වටහා ගැනීමට ඉඩ ලැබෙන නිසා මිස, ලැජ්ජාව නිසා නම් නොවෙයි. ඇත්තම කියනවා නම් එසේ නොකළේ ඇය දැකීමෙන් පසු මා වඩාත් බියට පත්වූ නිසායි. ඒ වාගේම මා පිළිබඳව හරියටම දැන ගැනීමෙන් පසු, සොයා ගෙන අල්ලා ගැනීමටත්, බරපතළ අනතුරක් කිරීමටත් ඉඩ තිබිය හැකි බවත් මට හැඟීයාම නිසයි. විසඳුමක් නොපෙනෙන භයානක හීනයක් දකින විට ඇති වන අසරණ භාවයෙන් ඒ මොහොතේ මා පරිපූර්ණව සිටියා. මා ඔබට කලින් පැවසූ ආකාරයට මේ සිද්ධියට මුහුණ පෑ ස්ථානය තිබුණේ මගේ නිවහනට එතරම් දුරකින් නොවෙයි.
ඒ ආකාරයට වීදියේ කෙළවරට වන්නට නුදුරු තැනක මගේ නිවෙස පිහිටා තිබුණත්, ඒ මූසල රාත්‍රියේ මා සිටියේ මේ භයංකර මායාකාරියත් සමඟ තට්ට තනියම. හරියටම කිව්වොත් එක වචනයක් හරි කතා කළොත් මාව මැරෙයි කියා සිතන්න පුළුවන් බිහිසුණු හොල්මනක් එක්ක, කවුරුවත් නැති පාළු පාරක. ඒ සමඟම එක් සැණෙකින් මම කල්පනා කළා, මගේ මුළු ජීවිතේටම හෙණගහලා ගියත් මේ දුබලකම මැඬ පවත්වා ගන්නවාය කියලා.
මැරුණත් කමක් නැහැ, ජීවිත කාලයම පිස්සු හැදිලා හිටියත් කමක් නැහැ, සුපුරුදු විදියට ඉක්මන් නොවී ඉදිරියට යනවා කියා. එහෙම ගිහින් මගේ ගෙදරට ගොඩවෙනවා කියා. ඒ සමඟම මම බලවත් අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා, ගෙදරට ගොඩවෙන තුරු සිහි නැතිව පාරේ ඇද නොවැටී සිටිය යුතුයි කියාත්. ඉතින් ඔය අධිෂ්ඨානයත් සමඟ මම පියවර විස්සක් පමණ ගෙදර පැත්තට ගමන් කළා. ඒ කියන්නේ මේ භයංකර ගැහැනිය නැවතී සිටි පාර අයිනේ ගේ දොරකඩ සිට ඉන් ඔබ්බට. නමුත් අවාසනාවකට වගේ මෙවැනි භයානක මොහොතකදී බොහෝ දෙනෙකුට ඇති වන පරිදි මටත් එක්වරම ආපසු හැරී මේ යක්ෂණිය මා පසුපස එනවාද කියා බැලීමේ අදහසක් ඇති වුණා. ඒ කෙටි නිමේෂය තුළ මගේ සිතෙහි බොහෝ සිතුවිලි ගොඩනැඟුණා. එක්කෝ මේ භයානක ගැහැනිය මගේ පිටුපසින් පැමිණ එක්වරම ඉදිරියට පැන, කිසිදාක ගැලවීමක් නොලැබෙන අයුරින් මා අල්ලා ගන්න පුළුවන්. ඒ වගේම එතැන සිටියේ තමන්ගේ නිවසේ දොර අරින තුරු හෝ සීතලෙන් මිදෙණු පිණිස හෝ අයිනකට වී සිටි ගැහැනියක් නම්, ඇය නිසා මා තුළ ඇති බියෙන් මිදී සැහැල්ලුවෙන් ගෙට ගොඩවෙන්නටත් සදාකාලිකව මා පෙළන මේ භීතියෙන් අත්මිදී ජීවත් වන්නටත් ඉඩක් ලැබිය හැකියි.
මෙවැනි මනෝභාවයකින් පිරුණු හදවතින් යුතුව මම එක්වරම පිටුපස හැරී බැලුවා. අනේ! මිත්‍රයා... මා හිතවත් ගේබ්‍රියල්, ඒක නම් හිතා ගන්නත් බැරි ඉතාම බිහිසුණු දෙයක්! මම ඔළුව හරවා බලනවිට, මෙන්න ඇය මගේ පිටුපස! මායාකාරියකටම ඔබින නිකටක් සහිත ඇගේ මුහුණ මගේ උරහිසේ ගෑවෙන නොගෑවෙන තරමට ළංවී තිබුණා. නමුත් භීෂණය තීව්‍රරකර කුඩා සුදු පැහැති අවාන මගේ ඇඟේ ගෑවෙමින් වගේ තිබුණ බව නම් හොඳට මතකයි. මේ උසැති යක්ෂණිය කිසිදු අඩි ශබ්දයක් නැතිව මගේ පිටුපසින් පැමිණ සිටි ආකාරය හරිම අද්භූතයි.
(මතු සම්බන්ධයි)