දොළදුක සන්සිඳ වූ කෝලම් නැටුම

මැයි 3, 2024

මහා සම්මත රජ බිසව ගර්භණී වූ අවස්ථාවේදී ඇයට හටගත් දොළදුක වූයේ උසුළු විසුළු කම් කරමින් කරන නැටුම් බැලීමය. එසේ ඇති වූ තම ආශාව පිළිබඳව රජුට දන්වා සිටියාය. මෙවැනි නැටුම් විශේෂයක් කිසිදා තමා අසා හෝ දැක හෝ නොමැති බැවින් ඒ ගැන කල්පනා කරමින් සිටි රජතුමා පුරෝහිත කැඳවා බිසවගේ දොළදුක ගැන පවසා එය සපුරාලීමට වහා පියවරගත යුතු යැයි නියෝග කළේ ය. එහිදී බැගෑපත් වූ පුරෝහිත තමා ද ඒ ගැන කිසිත් නොදන්නා බැවින් රාජ සභාවට ඒ ගැන දන්වා පිළියම් දැනගත යුතු යයි කියා සිටියේ ය.

ඒ අනුව රාජ නියෝගය පරිදි රාජ සභාව කැඳවා විමසන ලදී. රාජ සභාවේ පිළිතුර වූයේත් එවැනි අසා හෝ දැක හෝ නොදැන සිටි බවයි. එහිදී රජවාසල දෛවඥයින් කැඳවා ප්‍රශ්න කළහ. දෛවඥයින් මෙහිදී රජුට පවසා සිටියේ රජ බිසවගේ දොළදුක සංසිඳවීමට නම් වෙස් මුහුණු නැටුම් පැවැත්වීමට කටයුතු කළ යුතු ය. වෙස් මුහුණු නැටුම් කරුවන් තම රාජ්‍යය තුළ සිටී නම් වහාම රජවාසලට දන්වන ලෙස නියෝග කරමින් අණ බෙරයක් යවන ලදී. රජ අණපරිදි අණබෙරකරු මුළු රාජ්‍යය පුරාම දන්වා සිටියත් වෙස්මුහුණු නැටුම් කරුවකු නොමැති වූ බැවින් ඒ බැව් අණබෙරකරු රජතුමාට දන්වා සිටියේ ය. ඉන් මහත් කනස්සල්ලට පත් රජතුමා රාජ භෝජන ගැනීමෙන් පවා වැළකී සිටියේ ය.

සිතේ සතුටක් නොමැතිව රාජ භෝජනවලින් පවා වැළකී මහත් කනස්සල්ලට පත්ව සිටින රජතුමා ගැන විමසිලිමත් වූ දෙව්දුවක් රජ කෙරෙහි වූ අනුකම්පාවෙන් දෙව් ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයන් වෙත ගොස් රජුගේ දුක්වේදනාව ගැන පවසා එයට සහනයත් ලබාදෙන ලෙස අයැද සිටියාය. ඉමහත් කම්පාවට පත් සක්දෙවිඳු විශ්කර්ම දිව්‍යපුත්‍රයා කැඳවා නැටුමට සුදුසු වෙස්මුහුණක් නිර්මාණය කරන ලෙසටත්, එම වෙස් මුහුණ ඇඳ පැලඳ නටන අයුරු හා ගයන ගීතිකා සඳහන් කොට පුස්තකයක් සාදා එය ද සමඟ රජුගේ රාජකීය උදානයේ තබන ලෙසටත් දන්වා සිටියේ ය.

ශක්‍රදේවේන්ද්‍රයාගේ උපදෙස් අනුව හඳුන් ලීයෙන් වෙස්මුහුණු නිර්මාණය කොට නැටුම් හා ගී ගායනා සඳහන් කොට ඇති පොතත් වෙස්මුහුණුත් රාත්‍රී කාලයේදී රාජකීය උද්‍යානයේ ගසක් ගසක් අසල තබන ලදී. පසුදින උදෑසන රාජකීය උද්‍යානයට ගිය උයන් පාලක වෙස්මුහුණ දැකීමෙන් බියට පත්ව උද්‍යානයෙන් නික්ම රාජවාසලට පැමිණ ඒ බව රජතුමාට සැලකර සිටියේ ය. ඉන් පුදුමයට පත් රජතුමා වහා රාජ සභාව කැඳවා ඔවුන් ගමඟ රාජකීය උද්‍යානයට ගොස් විපරම් කළේ ය. එහිදී ගස අසල තිබූ වෙස්මුහුණු හා එම පොත දැකීමෙන් සතුටට පත්ව එම පොත හා වෙස්මුහුණු ගෙන රජ මැදුරට පැමිණ වෙස්මුහුණු නැටීමට දක්ෂ නැට්ටුවන් කැඳවන ලෙස නියෝග කළේ ය. ඒ නියෝගය අනුව රජ මැඳුරට පැමිණි නැට්ටුවන් වෙස්මුහුණු පැලඳ නටා පෙන්වීය.

ඉන් අනතුරුව රජ බිසව ඉදිරියේ ද වෙස්මුහුණු පැලඳ කෝලම් නැටුම් ඉදිරිපත් කළේ ය. එය බලා මහත් සතුටට පත් වූ රජ බිසවගේ දොළදුක සංසිඳුන බව ජන ප්‍රවාදයේ පවතින කතාවලින් කියවේ. සක්දෙවිඳුගේ අණින් නිම වූ එම කෝලම් මුහුණු නිසා කෝලම් කලාව කෝලම් රඟ දැක්වීම ආරම්භ වූ බවත් වෙස් මුහුණු පැලඳ කරන ලද කරනු ලබන රඟ දැක්වීම් මහත් රසාංගවලින් සමන්විත බවත් කිව හැකිය. වෙස්මුහුණු පැලඳ කරනු ලබන මෙම රඟ දැක්වීම් ශාන්ති කර්මයක් ලෙසින් ද පවත්වති. කෝලම් නැටුම් නැරඹීමට බොහෝ දෙනකු වැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ වෙස්මුහුණු භාවිතයට මුහුණු පැලඳ රඟ දක්වනු ලබන එම නැටුම්වලින් හාස්‍ය උපදවනු ලබන අතර රජ කාලයේ ක්‍රියා පටිපාටිය ද විදහා දක්වන බැවිණි. කෝලම් දර්ශනය ආරම්භ කරනු ලබන්නේ බෙර වාදකයන්ගේ බෙර වාදනය සමඟ පොතේ ගුරාගේ පැමිණීමත් සමඟය.

කෝලම් දර්ශනයේදී අණ බෙර කෝලම, ජය කෝලම, ආරච්චි කෝලම, හේවාරාල කෝලම, අප්පුලා මුදලි කෝලම, හෙංචප්පු රජ්ජුරුවෝ ද සමඟිනි. ආත කෝලම, කාපිරි කෝලම, ජය කෝලම, කාපිරි ගැහැනි කෝලම කරපිට කෝලම නරසිංහ කෝලම, දස අවතාර කෝලම, රාක්ෂ ආඬි ගුරු කෝලම, ගරා රාක්ෂ ද එක්ව සෙසු චාරිතාවේ එක් එක් ප්‍රදේශයට සීමා වූ කෝලම් දර්ශනද පෙර සිටම පැවත එයි.

කාන්තාවක් ගැබිනියක් වූ විට විවිධ ආසාවන් ඇතිවේ. ඒ නිසා දොළදුක හටගනී. එසේ හටගන්නා වූ දොළ දුක කෙසේ හෝ සංසිඳුවීමට කටයුතු කෙරේ. නැතහොත් ඉන් ඇති වන ශෝකය කුස තුළ දරුවාට ද බෙහෙවින් බලපායි. මේ හේතුන් නිසා පෙර රජ දරුවන් පවා ගර්භණී මාතාවන් වෙනුවෙන් ගැබ් පෙරහරවල් පැවැත් වූ අතර පුද පූජා කටයුතු මෙන්ම ශාන්ති කර්මද කළහ. ඉන් ගර්භණී මාතාව ලබන සතුට හා විශ්වාසය නිසා මව මෙන්ම දරුවාද නීරෝගීව වසනා බවට ද විශ්වාස කෙරේ. දරුවන් ලැබිය යුතු මවක විසින් පිළිපැදිය යුතු කරුණු රාශියක්ම බුද්ධදාස රජු විසින් සම්පාදිත සාරාර්ථ සංග්‍රහයේ ගර්භණී චිකිත්සාව නමැති කොටසේ සඳහන්ව ඇත.

රටයකුම හෙවත් රිද්දියාගය ද ගර්භනී මව්වරුන් වෙනුවෙන් පවත්වනු ලබන ශාන්තිකර්මයකි. රට යකුම ද දරුවන් නොමැති වඳ කාන්තාවන්ට දරු ගැබ ඇති කර ගැනීම සඳහාත් ආරක්ෂා කර ගැනීම සඳහාත් පවත්වනු ලබන තොවිලයකි. එමෙන්ම ශාන්ති කර්මයක් වන කුමාර සමයම පවත්වනු ලබන්නේ ගැබ් ගත් කාන්තාවන් සඳහා ය. දරු ප්‍රසූතියට ආසන්න කාන්තාවන් සඳහා කළුකුමාර සමයම නැටීමේ සිරිතක් ද ගම්බද පළාත්වල බෙහෙවින් පවතී. දොළදුක ගැන සඳහන් කරන විට සන්නි යකුමට හා සන්නි යකාගේ උපතට හේතු වූයේ සංඛපාල රජ බිසව වූ ආයුපාලී බිසවට මී අඹ කෑමට ඇති වූ දොළදුකකි. වර්තමානයේ බොහෝමයක් ගර්භණී මව්වරුන්ට ඇතිවන දොළදුක අතර ආගමානුකූල ව පිළිවෙත් ඉටු කිරීම යම් යම් කෑම ජාතිවලට ආශා කිරීම සුන්දර ස්ථානයකට යාම හා දානමානාදිය ලබාදීමයි.

 

ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර

තිස්ස මහානාම

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.