අවුරුද්දට පණ දුන් ජන ක්‍රීඩා

අප්‍රේල් 26, 2024

 

ලෝකයේ නොයෙක් රටවල නොයෙක් සැණකෙළි උත්සව සිරිත් ඇත්තේය. කවර රටක කවර ජාතියක වුවද ඒ තමනට ආවේණික සියලු සංස්කෘතික ලක්ෂණ ඒ රට, ඒ ජාතිය විසින් ඉතා උතුම් කොට සලකනු ලැබේ. ශ්‍රී ලාංකික අප විසින් ‘අවුරුද්ද’ නම් වූ මහා උත්සවය ඉතා උතුම් ජාතික සංස්කෘතිය ලෙස සලකනු ලබයි. ඒ ජාතික සංස්කෘතික සැණකෙළිය හෙළයේ මහා මංගල්‍යයයි.

බක් මාසය යනු භාග්‍යවන්ත, වාසනාවන්ත, සන්තෝෂජනක මාසයයි. ඒ දිනය අපේ අසහාය ජාතික සංස්කෘතික උලෙළ – මහා නැකත් උලෙළ හෙවත් අවුරුද්ද වන්නේය.

අවුරුද්දේ මාස එකොළොහක් හේනේ, කුඹුරේ වැඩපල කොට අස්වනු කපා ගෙට ගෙන දරුමල්ලන්, නෑ හිතවතුන් සමඟ පී‍්‍රති වෙමින්, සොම්නසින් , කල්මරමින් අපේ‍්‍රල් මාසය විවේක සුවයෙන් ගත කරන කාලයකි. සූර්යයා, මුදුන් වී පායන උණුසුම් කාලයකි. මේ හේතු නිසා ද ලක්වැසි ජනසමාජය කෙළිදෙළෙන් ගත කිරීමට මේ උත්සව සමයට යොදා ගන්නා නොයෙක් කටයුතු අතර අවුරුදු සැණකෙළියේ අනේකවිධ ජන ක්‍රීඩාද එළියට එන අයුරු ඔබට පෙනෙනු ඇත. ලොකු කුඩා, ගැහැනු පිරිමි කවුරුත් ඉතා සතුටින් අවුරුදු කෙළි සෙල්ලම්හි යෙදෙමින් සතුටු වෙති.

අවුරුදු සමයේ එළියට එන ක්‍රීඩා ගෘහස්ථ ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා, ඇදහිලි විශ්වාස ආශි‍්‍රත ක්‍රීඩා යනුවෙන් වර්ග කොට දැක්විය හැකිය. මෙබඳු කෙළි සෙල්ලම් රාශියකි. ඒ අතර පංච දැමීම, රබන් ගැසීම, පොල් ගැසීම, මුදු කිරීම, කජු ගැසීම, තාච්චි පැනීම, කල්ලි ගැසීම, චක්ගුඩු පැනීම, කට්ටි පැනීම, නෙරෙංචි ඇදීම, සෙක්කු පැදීම, පන්දු ගැසීම, ඔන්චිලි පැදීම, අහසට ඉනිමං බැඳීම, එළුවන් ගැනීම, මේවර සෙල්ලම, කළගෙඩි සෙල්ලම, ඔළිඳ කෙළිය, දියකෙළිය, ලණු ඇදීම, එල්ලේ ගැසීම, අත් හැංගීම, ගල් කිරීම, මල් නෙළීම, ලිස්සන ගහේ යාම, පොරපොල් ගැසීම , බදු ගැසීම, දාදු කෙළිය, පාඩ දැමීම, දාම් ඇදීම, ඉඳිකැඩීම, හැංගිමුත්තම ආදි ජන ක්‍රීඩා රාශියක් දැක්විය හැකිය.

 

පංච දැමීම

පංච දැමීම පිරිමි පක්ෂය ද නියැළෙමින් වඩාත් කාන්තාවන් අතර දක්නට ලැබෙන්නෙකැයි කිව හැකිය. බොහෝ ප්‍රදේශවල සුලභ ක්‍රීඩාවකි. මේ ගෘහස්ථ ක්‍රීඩාවේදී පිරිස දෙපිළකට බෙදෙයි. කවඩි කූට්ටම (කවඩි හයකි) මුණින් නැමූ පොල් කටුව මත දැමූ කල පෙනෙන අය අප වෙත හෙවත් පංච පෙතේ කොටු ඔස්සේ තබමින් ඉක්මනට ගොඩයන පිළට ජයග්‍රහණ හිමිවෙයි. අය තැබීමේදී ප්‍රතිපිළේ “බල්ලන්” කැපීම ඔවුන්ගෙන් බේරීයාම ආදි නොයෙකුත් කරුණු කෙරෙහි දැඩි සැලකිල්ල යොමු කරයි. පංච දැමීම පත්තිනි දෙවඟනගේ ක්‍රීඩාවක් ලෙස ද සැලකෙන අතර ඉතා ඉවසීමෙන් කල්පනාවෙන්, බුද්ධිමත්ව කළ යුතු ක්‍රියාවකි. හැම දෙනා අතර බෙහෙවින් ප්‍රචලිත ක්‍රීඩාවකි, පංච දැමීම.

 

රබන් වැයීම

රබන් වැයීම ද අවුරුදු ක්‍රීඩාවකි. අවුරුද්ද ළං වන විට කුස්සියේ , බිත්තියේ එල්ලා තිබූ රබාන එළියට එයි. කොහාගේ නාදය , එරබදු මල් පිපීම, රතිඤ්ඤා හඬ ආදිය මෙන්ම රබන් හඬ ද අවුරුද්ද ළංවූ බව කියාපායි. අඬු තුනක් මත රබාන රඳවා වටේට වාඩි වී සිටින කාන්තාවන් රබන් වයන ආකාරය බලා සිටීමට පි‍්‍රයය. විවිධ රබන් පද හිටි හැටියේ මාරු කරමින්, අත්ලේ නොපිටින්, වැලමිටෙන්, නට නටා ඇඟපත සොලවමින් ඉතාමත් සතුටින් රබන් ගසති. අවුරුදු සමයේ සෑම ගෙදරකම පාහේ රබන් හඬ නද දෙයි. කාන්තාවන් පමණක් නොව පිරිමිද රබන් ගැසීමේ නිරත වෙති.

 

පොල් කැඩීම

පොඩිත්තන් අතර ඉතා ජනපි‍්‍රය සුලභ ක්‍රීඩාවකි, පොල් කැඩීම. පොඩිත්තෝ බිම වටේටම වාඩිවී තම අත් දෙක මිට මොලවා, එකපිට එක ඒ මිට මෙලවූ අත් තබති. ඉහළට ඉහළට තබන ඒ ස්වභාවය පොල් ගසය. එක් අයෙක් පොල්ගෙඩියක් කඩා ගන්න දැයි අසයි. සීයා බණීවි යි අනිත් අය කියති.” නැට්ට කිරි කිරඞ” එහෙනම් එකක් කඩා ගනින්” මේ ආදි වශයෙන් සංවාදාත්මක ස්වරූපයෙන්, ප්‍රශ්න පිළිතුරු දක්නට ලැබෙයි. ගෙඩිය කඩා ගත් පසු, ලෙලි ගැසීම, පොල් බිඳීම, පොල්ගෑම, පොල් මිරිකීම ආදි වශයෙන් විවිධ අවස්ථා දැකිය හැකි අතර පොල් කිරි ටික බලා ගැනීමට කියා නෑමට යන පොඩිත්තන් යළි එන විට කිරි ටික නැත. හාස්‍යමය ප්‍රශ්නෝත්තර සමූහයකි. අවසානයේ ලැබෙන පිළිතුර ඔස්සේ කිතිකවමින්, සිහිහවෙමින් ක්‍රීඩාව බොහොම පී‍්‍රතියෙන් සතුටින් අවසන් කෙරේ.

 

දාම් ඇදීම

දාම් ඇදීම ද අවුරුදු සමයේ වඩාත් පෙනෙන ක්‍රීඩාවකි. මෙය බොහෝ රටවල්වල පවතින්නකි. බෙහෙවින්ම පුරුෂ පක්ෂය විසින් කෙරෙන්නෙකි. කොටු 144කින් යුතු දාම් පෙතේ ප්‍රති පිළේ ඉත්තන් කපමින් ඉදිරියට ගොස් සියලුම ඉත්තන් කපාගත් පුද්ගලයා ජයග්‍රාහකයා වෙයි. ඉතා බුද්ධිමත්, හොඳ කල්පනාවෙන් කළ යුතු ක්‍රීඩාවකි.

 

නෙරෙංචි කෙළිය

නෙරෙංචි කෙළිය ද බොහොම ඉවසීමෙන්, බුද්ධිමත්ව කළ යුත්තකි. දෙමළ භාෂාව මුල්කරගත් නමක් සේ පෙනෙන (නිරෙයි – පිරවීම, ආන්දි ක්‍රීඩාව) මූලාරම්භය නිශ්චය කළ නොහෙන නෙරෙංචි ක්‍රීඩාව පැරණි ක්‍රීඩාවක් බව පෙනේ. මිහින්තලේ පියගැටපෙළ මත නෙරෙංචි කොටු නෙළා ඇත. ක්‍රීඩාවේ සහභාගිවන දෙදෙනා එක් අයෙකුට පසුව අනෙක් තැනැත්තා නෙරෙංචි පෙතෙහි ඉත්තන් තබමින් සිය ඉත්තන් තුනක් එක පේළියට පෙළගස්වා ගන්නා ක්‍රීඩකයා නෙරෙංචි ජය ලබයි.

 

පාඩ දැමීම

පාඩ දැමීම නම්වූ තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් අපේ ජාතික ක්‍රීඩා අතර වෙයි. කුඩා කොටුවක් තුළ බහාලූ දාදු කැට සොලවා දැමීමෙන් ලැබෙන අය කොටු හැඩයකට ඇති පාඩ පෙතක තබමින් කරනු ලබන මෙම ක්‍රීඩාවේද පංච කෙළියේ මෙන් ඉත්තන් කැපීම ආදිය වෙයි. පෙර දවස මෙය ඉතා ජනපි‍්‍රය ක්‍රීඩාවක් ලෙස දක්නට ලැබුණකි. අම්බලන්ගොඩ විද්‍යාලෝක විශ්වවිද්‍යාල පිරිවෙනේ, පරිවේණාධිපති අපවත්වී වදාළ ඇත්දානේ දයානන්ද නාහිමියන් වෙත රෙද්දක ඇඳි පාඩ පෙතක් වූ බවත් අපද එහි ක්‍රීඩා කළ බවත් පවසමින් මෙබඳු ක්‍රීඩා අභාවයට යා නොදී රැක ගත යුතු බවත් සඳහන් කරමි.

කුඩා දරුවන් අතර මුදු කිරීම, ගල්කිරීම, කපු ගැසීම , අඹකොටු පැනීම, හැංගිමුත්තන් කිරීම ආදි නොයෙකුත් ක්‍රීඩා වෙයි.

ගුඩු පැනීම, තාච්චි පැනීම, එල්ලේ ගැසීම, කල්ලි ගැසීම, කට්ටි පැනීම ආදි එළිමහනේ පිරිමි පක්ෂය විසින් කරනු ලබන ක්‍රීඩා බොහෝය. කනාමුට්ටි බිඳීම, කඹ ඇදීම ආදී ක්‍රීඩාවන්හි කාන්තාවන්ගේ සහභාගිත්වය ද පෙනේ.

 

ඔන්චිල්ලාව

ඔන්චිල්ලාව අවුරුදු සමයේ විශේෂයෙන් දක්නට ලැබෙයි. ගසක හරස් අත්තක හෝ ගස් දෙකක් හරහා ශක්තිමත් ලීයක් බැඳ එහි බඳින ඔන්චිල්ලා පැදීමට කවුරුත් කැමතිය. ඔන්චිලි වාරම් කියමින් මහත් සතුටින් කරනු ලබන සෙල්ලමකි. කතුරු ඔන්චිල්ලා ආදි නොයෙක් ඔන්චිලි බැඳෙන අතර ඒවා බෙහෙවින් පිරිමින් හා සම්බන්ධ වෙයි.

ලිස්සන ගහේ යාම, තිරික්කල රේස්, කොට්ට පොරය ආදි නොයෙකුත් එළිමහන් ක්‍රීඩා දැකිය හැකිය. ගැමි කාන්තාවන් අතර බෙහෙවින් ජනපි‍්‍රය එළිමහන් ක්‍රීඩා රාශියක් වෙයි. එළුවන් ගැනීම, හෙවත් එළුකොටු පෑගීම එබන්දකි. ගැමි ජන සමාජයේ සෑම තරාතිරකම අය මේ කී‍්‍රඩාවට මහත්සේ පි‍්‍රය කරති. අන්‍යෝන්‍ය සහජීවනය, සුහදත්වය, සහයෝගිත්වය, සාමූහිකත්වය වර්ධනය කරන එමෙන්ම විනෝදය, පී‍්‍රතිය, සන්තෝෂය ගෙන දෙන, කායික, මානසික සංවර්ධනය උදෙසා සෑම අතින්ම ඵලදායි එළුවන් ගැනීම, ඔළිඳ කෙළිය, මේවර සෙල්ලම, මල් නෙළීම අදි කාන්තාවන් අතර බෙහෙවින් වැදගත් සාමූහික එළිමහන් ක්‍රීඩා රාශියක් අවුරුදු සමයේ දක්නට ලැබෙයි. දෙපාර්ශ්වයක් අතර ප්‍රශ්නෝත්තර ලෙසින් සංවාද ස්වරූපයෙන්, ප්‍රකාශනය ගායනා ස්වරූපය විටින් විට වෙනස් වෙමින්, රංගන විලාසය ද, විවිධත්වයක් ගනිමින් දැක්වෙන විශිෂ්ට ජනක්‍රීඩා සමූහයකි. ඒ ශාරීරික ව්‍යායාමයක් ගෙන දෙන එළුවන් ගැනීම ආදි මේ ක්‍රීඩාවන්හි ගායනා තුළින් මෙන්ම නාට්‍යමය ස්වරූපයෙන් මහත් රසවිඳින්නැයක් ලබා දෙමින් මානසික ප්‍රබෝධයත් උසස් මානසික සංවර්ධනයක් ගෙන දෙයි.

අවුරුදු සමයේ ඇදහිලි විශ්වාස මුල්කරගත් ක්‍රීඩා රාශියකි. අංකෙළිය එබඳු ක්‍රීඩාවකි. අපේ රටේ ඇදහිලි පුද පූජා විශ්වාස මුල්කරගත් කෙළි සෙල්ලම් පත්තිනි දෙවඟන සම්බන්ධිත ජනක්‍රීඩා බව පෙනී යයි. අංකෙළිය ක්‍රීඩාවක් ලෙස මෙන්ම වසූරිය ආදි වසංගත රෝග පිළිබඳ ශාන්තිකර්මයක් ලෙසින්ද අප ජනසමාජයේ රැඳේ. ගජබා රජතුමා අපේ රටට ගෙනා සොළීන් නිසා අංකෙළිය සිංහලයන් අතර ද ප්‍රචලිත විය. පොරපොල් ගැසීම ද අවුරුදු සමයයේ එළියට එන පරම්පරා ජන ක්‍රීඩාවකි. දේව ඇදහිලි ක්‍රීඩා විශේෂයක් වන මෙහිද අංකෙළියේ මෙන් පරාජිත පිළට මහත් අපහාසාත්මක කියුම් ප්‍රකාශ වෙයි. පත්තිනි දෙවඟන හා සම්බන්ධිත මෙබඳු ක්‍රීඩා අතර දොඩම් කෙළිය, මල්කෙළිය ආදි ජන ක්‍රීඩාද විවිධ පළාත්වල දැකිය හැකිය.

දැනුම, විනෝදය, කාල්පනික ශක්තිය, ඉවසීම, ඉන්ද්‍රිය සංවරය, කායික මානසික නිරෝගිතාව, සමගිය, අන්‍යෝන්‍ය සහජීවනය ආදි අනේකවිධ උදාර ප්‍රතිඵල ගෙන දෙන සත්ව වර්ගයා පමණක් නොව වෘක්ෂලතා පවා නැවුම් ගතියකින් ප්‍රබෝධයකින් වෙසෙන භාග්‍යමත් මාසයේ අවුරුදු සමයේ එළියට එන මේ ක්‍රීඩා අපේම රටේ උපන්, අපටම ආවේණික අපේ අනන්‍යතාව ලොවට කියාපාන අපේ ජාතික උරුමයකි. බටහිර සංස්කෘතියේ අනවශ්‍ය අංග අන්ධානුකරණය ගම තුළට ද රිංගාලමින් ඒ කෙළි සෙල්ලම් ද සංකර වන අයුරු පෙනේ. එසේ සංකර වෙමින් අනන්‍යතාවය අභාවයට යතොත් ඒ බෙහෙවින් කනගාටුදායකය. කෙසේ වුවත් තවමත් යම් තරමින් හෝ අපේ ඒ ජනකෙළි සංස්කෘතික උරුමයක් නොනැසී පවතින බව පෙනේ. ඒ සතුටකි.

හෙළයේ මහා සැණකෙළියේ කියැවෙන සියලුම ජන ක්‍රීඩා රැක ගැනුම කාගේත් වගකීමය. ඒ ශී‍්‍ර ලාංකික උරුමයයි. අපේ අන්‍ය්‍යතාවය ලොවට කියාපාන ඒ ක්‍රිඩා සංකර වන්නට හෝ දියවී යන්නට කිසිසේත් ඉඩ දිය යුතු නොවේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.