වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සියලු උවදුරු දුරලන දස දිසා පිරිත
පරිත්‍රාණය හෙවත් පිරිත දුක පිහිට කොට ඇති සියලු සත්ත්ව ලෝකයාට මෙලොව පරලොව දෙකෙහිම සැප එළවන්නේ වේ. ලෝවැස්සන්ට ඇති වන උවදුරු රැසෙකි. ඒ වනාහි රෝගයන් නිසා ද යක්ෂ, පේ‍්‍රතාදී භූතයන් නිසා ද, දුර්භික්ෂාදි භයජනක හේතූන් නිසා ද, තමන්ගේ උපක්‍රමවලින් දැයි මේ ආදි නානාප්‍රකාර දෙයින් සිදු වෙයි.
ලෙඩ රෝගාදියක් සෑදුණු කල්හි එය සුව කර ගැනීමට බෙහෙත් පිළියම් තිබේ. එමෙන්ම උවදුරු ඇති කල්හි ද එය නැති කර ගැනීමට උපාය මාර්ග ද තිබිය යුතු ය. සාමාන්‍ය ලෝකය එබඳු දේ ගැන යොදන නොයෙක් උපක්‍රම පිළිවෙත් ඇතත් නුවණැති බෞද්ධ ලෝකයාට පරිත්‍රාණය හෙවත් පිරිත තරම් උභයාර්ථ සංසිද්ධියට හේතු වූ අන්කිසි උපාය මාර්ගයක් නැත්තේය.
පරිසමානතතො තායති රක්ඛතීන් පරිත්තං, අන්තරායං පරිහරන්තං තායතීති පරිත්තං පරිතො වා සබ්බූපද්දවතො තායතීති පරිත්තං යනු මේ පරිත්ත ශබ්දය පිළිබඳ නිර්වචන කිහිපයකි. මෙයින් සැදැහැයෙන් හා භක්තියෙන් ද තෙරුවන් ගුණ සත්‍යයයි නුවණින් පිළිගෙන ඉගෙනීම්, දැරීම්, ඇසීම්, බැලීම් වශයෙන් පිරිත් ධර්මය ඇසුරු කළ පුද්ගලයා පරලොව සතර අපායාදී දුකෙන් ද මෙලොව නානාවිධ රෝගයන්ගේ ව්‍යුප සමනයෙන් හෙවත් සංසිඳීමෙන් හා යක්ෂ, පේ‍්‍රත, භූත පිසාචාදී අමනුෂ්‍යයන්ගේ නොයෙක් ප්‍රකාර උපද්‍රව දුරලීමෙන් ද පාලනය කෙරෙනු යි ආරක්ෂා කෙරෙැනුයි පිරිත් නම් වේ යනු මෙහි අර්ථයයි. මෙහි නානාවිධ රෝගයන්ගෙන් අදහස් කරන්නේ ඒ ඒ ශාරීරික වස්තූන්ගේ වශයෙන් උපදනා චක්ෂු රෝග, ශ්‍රෝත රෝග, ඝ්‍රාණ රෝග, ජිව්හා රෝග, කාය රෝග, ශීර්ෂ රෝගාදී අනේක ප්‍රකාර රෝගයන්ය. මේ රෝගයන් පිළිබඳ නොයෙක් භේද ඇතත්, ඔවුන්ගේ ඉපදීමට හේතු වූ මූලකාරණා වශයෙන් ඇත්තේ රෝග අටෙකි.
එනම්, පිත්ත සමුට්ඨානික ආබාධය, සෙම්හසමුට්ඨානික ආබාධය, වාත සමුට්ඨානික ආබාධය, සන්නිපාතික (යට කී සියල්ල එකතු වී උපදනා) ආබාධය උතුපරිණාමජ ආබාධය, විසමපරිහාරජ ආබාධය, ඕපක්කමික ආබාධය, කම්මවිප්‍රාකජ ආබාධය යන අටයි.
අතීත ජාතිවල රැස් කරන ලද නානාප්‍රකාර අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් උපදනා රෝගයන්ගේ සංසිඳුවීම සඳහා ලෝකයෙහි ඇතිතාක් බෙහෙත්, යන්ත්‍ර මන්ත්‍රාදි පිළියම් කළ ද ශාසනයෙහි ඇතිතාක් සියලු පිරිත් කළ ද, ඒ කිසිවකිනුත් කර්ම විපාකජ ආබාධයන්ගේ වැළැක්මෙක් සංසිඳුවීමෙක් නො වන්නේය.
එහෙයින්, තත්ථහි පුරිමෙහි සත්තහි කාරණෙහි උප්පන්නං සක්කා පටිබාහිතුං කම්මවිපාකජානං පහ සබ්බභෙසජ්ජානි පි නාලං පටිඝාතාය’ යනු අටුවායෙහි කියන ලදී. එසේ ද වුවත් බලවත් වූ උපඝාතක අකුශලකර්ම හැර එයට වඩා දුර්වල වූ උපපීඩක අකුසල කර්මවල ශක්තිය පවා පිරිතෙන් දුර්වල කළ හැකි බව දීඝායු කුමාරයාගේ කතාවෙන් පැහැදිලි වෙයි.
එසේම ජාතික්ෂේත්‍ර යි, ආඥාක්ෂේත්‍රය, විෂයක්ෂේත්‍රයයි බුද්ධක්ෂේත්‍රය ත්‍රිවිධ වේ. එහි ජාතිකේෂ්ත්‍රය නම් දසදහසක් සක්වළය. එක සූර්යයෙක් එක චන්ද්‍රයෙක් දශදශාවන්හි දිලිසෙමින් ගමන් කරනා තාක්, තැන් එක් සක්වළෙක් වෙයි. එබඳු සක්වළ දසදහසක්, ජාතික්ෂේත්‍රයට, ඇතුළත් වේ. එය වනාහි මහබෝසතාණන් මවුකුස පිළිසිඳ ගන්නා කාලයෙහි ද, මවු කුසින් බිහිවන කාලයෙහි ද, බුදුවන කාලයෙහි ද, දම්සක් පවත්වන කාලයෙහි ද, පිරිනිවෙන කාලයෙහිම දැයි යන මේ අවස්ථාවන්හි කම්පා වෙයි. කෙළ ලක්ෂයක් සක්වළ ආඥා ක්ෂේත්‍ර නම් වේ. ආටානාටිය පරිත්ත, මොරපරිත්ත, ධජග්ගපරිත්ත, රතන පරිත්තාදී පිරිත්වල ආනුභාවය මෙහි පවත්නේය. විෂය ක්ෂේත්‍රය නම් සර්වඥතා ඥානයට ගෝචර වූ ධර්මාර්ථ සමූහයයි. මෙයින් පිරිත ආඥා ක්ෂේත්‍රයට ඇතුළත් ධර්මයෙකැ’යි දත යුතු ය.
එම පිරිත් අතර එන දසදිසා පිරිත ලක්දිව ජනතාව තුළ ජනපි‍්‍රය පරිත්ත දේශනයකි. විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ශ්‍රවණයටත් සජ්ඣායනයටත් නිතර භාවිත වන ජනකාන්ත පිරිතක් බවට දස දිසා පිරිත පත්වී ඇත. පිරිත් දේශනාවන්හි ආනිසංස බාහුල්‍යය පිණිස අර්ථාවබෝධයෙන් සජ්ඣායනය මෙන්ම නිවැරදි ලෙස සජ්ඣායනය ද එකසේ හේතු වේ. දස දිසා පිරිත බොහෝ දෙනා භාවිත කළ ද එහි නිවැරැදි අර්ථය දන්නා බවක් නොපෙනේ. අප මෙහි දී දස දිසා පිරිතේ නිවැරැදි පාලි පෙළ සහ එහි සරල සිංහලාර්ථය පාඨක ප්‍රජාව වෙත සන්නිවේදනය කිරීමට අපේක්ෂා කරමු.
පිරිවානා පොත් වහන්සේ තුළ උපග්‍රන්ථයෙහි එන දස දිසා පිරිතේ ගාථා අටක් අන්තර්ගත වේ. බොහෝ දෙනෙක් චුල්ල ජිනපඤ්ජර පිරිත ද දස දිසා පිරිත ලෙස වරදවා වටහාගෙන ඇති බව පෙනේ. චුල්ල ජිනපඤ්ජර පිරිතෙහි ගාථා නවයෙකින් යුක්ත වේ. චුල්ල ජිනපඤ්ජර පිරිත සහ දස දිසා පිරිත එක් ස්වරූපයකට සංග්‍රහ වී ඇති නිසා මේ වරද සමාජයේ සිදු වී ඇති බව හඳුනාගත හැකිය. එහෙත් මෙම පිරිත් දෙකෙහි සියුම් වෙනස්කම් රාශියක් හඳුනාගත හැකිය. ඒ පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාව නොවන හෙයින් ඒ පිළිබඳව වැඩිදුරට ලියනු නොලැබේ. මෙහිදී දස දිසා පිරිත ගැන යමක් ඉදිරිපත් කොට එහි නිවැරැදි පෙළ ජනතාවට ඉදිරිපත් කිරීම තුළින් ගැටලුවෙහි අර්ධයක් විසඳා ගැනීම පුළුවන.
පූර්ව ආදි දස දිසාවෙහි දස බුදුරජාණන් වහන්සේලා ස්ථාපනය කොට පුද්ගලයාට ආරක්ෂා සම්පත්තිය සැලසීම දස දිසා පිරිතේ ප්‍රමුඛ කාර්යය වෙයි. දීඝායු දසභාගෙසු ථිතා බුද්ධානුභාවතො ලෙස පිරිත ආරම්භයේ දිම දක්වා ඇත්තේ එයයි.
පිරිත් දේශනා කරන පුද්ගලයා හෝ පුද්ගලයින් මධ්‍යය ලෙස ගෙන හාත්පස අටදිසා වේ සහ පඨවියං ලෙස දක්වා ඇති පරිදි පොළොවෙහි එසේ නැතිනම් යට දිසාවේ කකුසඳ බුදුරජාණන් වහන්සේ සහ උඩදිසාව ලෙස දක්වා ඇති ආකාසෙ දීපංකර බුදුරජාණන් වහන්සේ වශයෙන් ඉහත චක්‍රයේ දැක්වූ පරිදි දස දිසාවෙන්ම පුද්ගල රැකවරණය සැපයීම මෙම පිරිතේ ප්‍රධාන අභිලාශය වෙයි. එමෙන්ම සෝක, රෝග, භය ආදි අච්චන්තරාවන්ගෙන්, චෝර ආදි අනතුරුවලින් උපද්‍රවවලින් ආරක්ෂාව, ස්ථාපනය කිරීම ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ බලයෙන් සත්‍යක්‍රියා කොට ඇති කිරීම සිදු වේ.
දස බුද්ධ සංකල්පය තුළින් පුද්ගලයාගේ ජීවිතයට වන අන්තරාවන්ගෙන් විනිර්මුක්ත වීමට අවශ්‍ය ශක්තිය ලබා දීම මේ පරිත්ත දේශනාවෙන් සිදු කෙරෙයි. සෙත්පිරිත් ගණයට අයත් වන මේ පරිත්ත, දේශනා අද්‍යතන ශ්‍රී ලාංකේය බෞද්ධයෝ සාවද්‍ය ව්‍යවහාර ඔස්සේ සජ්ඣායනා කරන අවස්ථා වර්තමානයේ බහුල වී ඇත. අපේ රටේ බොහෝ බෞද්ධයන්ට බුරුම රට බෞද්ධයන්ට මෙන් පාලි භාෂාව පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීමත් ඒ සඳහා හේතු ලෙස දැක්විය හැකිය. තවත් ප්‍රධාන හේතුවක් වන්නේ සෙත්පිරිත් ආදිය මුද්‍රිත ග්‍රන්ථ බොහෝමයක වැරැදි පද සංඝට්ඨනාවන් ඇතුළත් වී ඇත. පද බෙදීම් ආදිය ද ව්‍යාකූල වී ඇති අවස්ථා බොහෝය. එම නිසා දස දිසා පිරිතේ පැරැණි ස්වරූපය ක්‍රමයෙන් විකෘති වී යන බවක් හඳුනාගත හැකිය.
එම නිසා අප විසින් මෙහිදී අපට හැකි අයුරින් නිවැරැදි පද බෙදීම් සහිතව පාලි පෙළත්, එහි සරල සිංහල අර්ථයත් පහත පරිදි දක්වනු ලැබේ. එය සියලු බෞද්ධයන්ට ප්‍රයෝජනවත් වෙත්වා.
පාලි පෙළ
(01) දිසාසු දසභාගෙසු – ඨිතා බුද්ධානුභාවතො
චොරාදි අන්තරායාපි – උපද්දවා අසෙසතො
(02) ඒවං දසදිසායම්හි – සබ්බේ බුද්ධා පතිට්ඨිතා
අච්චන්තරායා සබ්බේපි – සොකරෝගභයාපි ච
(03) පදුමුත්තරෝ පුරත්ථිමායං – අග්ගිවෙරෙච සෝභිතෝ
දක්ඛිණේ කස්සපෝ බුද්ධෝ – නයිරුතේ ච සුමංගලෝ
(04) පච්ඡිමෙ ච සිඛී බුද්ධෝ – වායව්‍යා මේධංකරෝ විය
උත්තරේ පියදස්සී ච – ඊසානේ සරණංකරෝ
(05) පඨවියං කකුසන්ධෝ ච – ආකාසේ දීපංකරෝ විය
ඒවං දසදිසායම්හි – සබ්බේ බුද්ධා පතිට්ඨිතා
(06) අච්චන්තරායා සබ්බේපි - සොකරෝගභයාපි ච
විනස්සන්තු සදා මය්හං – සබ්බේ ඉරියාපථෙපි ච
(07) යක්ඛාදිදේවතාදීහි – රාජචෝරාරි අග්ගිහි,
මනුස්ස අමනුස්සෙහි – තිරච්ඡානගතෙහි ච
(08) ජාතා සබ්බේ විනස්සන්තු – උපද්දවා අසේසතො,
එතේන සච්චවජ්ජේන හොතු මෙ ජයමංගලං
සරල සිංහල අදහස
(1) දස දිසාවන්හි සිටියා වූ බුදුවරුන්ගේ ආනුභාවයෙන් චෝරාදි අනතුරු ද ඉතිරි නැතිව විනාශ වෙත්වා.
(2) මෙසේ දස දිසාවන්හි පිහිට වූ ඒ සියලු බුදුවරයන්ගේ ආනුභාවයෙන් සියලු අනතුරු ද සියලු ශෝක, රෝග, භය ආදිය ද විනාශ වේවා.
(3) උතුම් වූ පදුම බුදුරජාණන් වහන්සේ නැඟෙනහිර දිසාවෙහි ද, ගිනිකොන දිසාවේ සෝභිත බුදුරජාණන් වහන්සේ ද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකුණු දිසාවෙහ ිද, සුමංගල බුදුරජාණන් වහන්සේ නිරිත දිසාවෙහි ද, (වැඩ සිටිත්)
(4) බටහිර දිසාවෙහි සිඛී බුදුරජාණන් වහන්සේ ද වයඹ දිසාවෙහි මේධංකර බුදුරජාණන් වහන්සේ ද, උතුරු දිසාවෙහි පියදස්සී බුදුරජාණන් වහන්සේ ද ඊසාන දිසාවෙහි සරණංකර බුදුරජාණන් වහන්සේ ද (වැඩ සිටිත්)
(05) පොළොවෙහි කකුසඳ බුදුරජාණන් වහන්සේ ද අහසෙහි දීපංකර බුදුරජාණන් වහන්සේ ද වැඩ සිටිත්.
(06) ඒ සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් සියලු අනතුරු ද සියලු ශෝක, රෝග, භය ආදිය ද විනාශ වේවා. මගේ සියලු ඉරියව් පැවැත්මෙන් ඇතිවන උවදුරු ද විනාශ වේවා. !
(07) යක්ෂ,දේව, රජ, සොර, සතුරු, ගිනි ආදියෙන් ඇතිවන උවදුරු ද විනාශ වේවා.!
(08) සියලු මනුෂ්‍ය අමනුෂ්‍යයන්ගෙන් හා තිරිසන් සත්ත්වයන්ගෙන් ඇතිවන්නා වූ සියලු උපද්‍රවයෝ ඉතිරි නැතිව විනාශ වෙත්වා. ඒ සත්‍ය ප්‍රකාශයේ බලයෙන් මට ජයමංගල්‍යයම වේවා!
කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී, රාජකීය පණ්ඩිත ශාසන කීර්ති ශ්‍රී
රත්මලානේ රතනසිරි හිමි