වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අමනුෂ්‍ය බලපෑම් දුරු කරන කිරි අම්මාවරුන්ගේ දානය
කිරි අම්මාවරුන්ගේ දානය දීම සඳහා බොහෝ සෙයින් යොදා ගනු ලබන්නේ කෙම්මුර දිනයකි. එනම් දේව පූජා ආදිය පවත්වනු ලබන සෙනසුරාදා, බදාදා, යන අවස්ථා සමහර විට එය ඉරිදා දිනයන්හිදී ද පැවැත්වේ.
මෙය දේව පූජා ශාන්තිය උදෙසා පවත්වනු ලබන දානයකි. කෙම් හෙවත් ක්ෂාන්තිය පවත්වන වාරය කෙම්මුරයයි. මේ නිසාම බොහෝ විට කිරි අම්මලාගේ දානය සෙනසුරාදාටම පැවැත්වීමට බොහෝදෙනා උනන්දු වෙති. ගොම පිරි මඩ ගෙය පිරිසුදු කිරීමත් නිසි සුදුසුකම් බලා කිරිඅම්මලා සත්දෙනෙකුට ආරාධනා කිරීමත් මූලික කටයුතු වේ. ආරාධනය භාරගත් කිරි මව්වරුන් සත් දෙනා දානයට පෙරදින ස්නානය කොට සූදානම් වේ.
පසුව පිරුවට හැඳ ශුද්ධ පවිත්‍රව බිළිඳාට ශාන්ති කරති. ඒ සඳහා යාදිනි හා කවිද කියති. අද පටන් මේ බිළිඳාට කිරිදොස් නැති ආදී වශයෙන් කිරි අම්මලා සත්දෙනාම එකවර ගායනා කරති.
මෙහිදී කවි කියමින්ද සෙත් කරති. ඉන් කවි කීපයකි මේ.
උපන් මේ දරුපල සපල කරන වා
දෙතන පුරා කිරි එරවා දෙන වා
නිතින් මෙදුන් පුද දිවස් ලබන වා
රිද්දි බිසවු දරු ගැබ රැක දෙන වා
සත්දෙන රිද්දී බිසවු වැඩ මෙරඟ ට
සිත් ලෙස දෙන පුද දිවස් බලා සි ට
අත්හැර රෝදුක් සෙත සලසන්න ට
රිද්දි බිසවු ඔබ රකිනේ අද සි ට
යස සිරිත් මෙදුන් කෙළි පුදට ලෙඩ වෙ ලා
බැස නිතින් උතුම් බිසවරු සිද්ධි වෙ ලා
ආතුරන් නිතින් රැකදෙන් සැපදී ලා
දොසහරින් ඉතින් මව්කිරි අම්මා ලා
මෙසේ සෙත්ශාන්ති කිරීමෙන් පසු ඉස දැල්වූ පහන් නිවා පිට වීමට සැරසෙති. පහන් නිවීමේදී සියලු දෙනා දානය ගැන බලාපොරොත්තුවෙන් පසු වෙති. කිරිමවු යන්නෙන් මෙහිදී ගණන් ගැනෙන්නේ කිරි ඇති ස්ත්‍රීහු වෙති. මේ දානයේ කිරිබත ප්‍රධාන දානෝපකරණයයි. කිරියා සහ කෙසෙල්ගෙඩිද වෙයි. සහල් පිටිවලට කිතුල්පැණි හා පොල්කිරි මිශ්‍රකොට උඳුනෙහි හැඳි ගගා දොදොල් පමණට උකුකර සාදාගනු ලබන කිරියා නම් මෙය අලුවා මෙන් කෑලිවලට කපා දානය පිළිගන්වයි. බුලත් පුවක්ද ඒ අතර වේ.
අම්මාවරු සත්දෙනා පිරුවට හැඳ සැරසී උදෙන්ම නිවසට පැමිණෙති. ගෘහණිය ඉදිරියට පැමිණ ඔවුන් පිළිගෙන කැඳවාගෙන යයි. බිම පැදුරු අතුරුවා පිරුවට එලා එය සූදානම් කොට ඇත. කිරි අම්මලා එහි ඉඳගන්නේ වැඩිහිටි ක්‍රමයටයි. අනතුරුව ඔවුන් ඉදිරියේ කෙසෙල් කොළ තබා කිරිබත් කෑලි හත බැගින්ද කිරියා කෑලි හත බැගින්ද කෙසෙල්ගෙඩි හත බැගින්ද බෙදනු ලබයි. ඒ සමඟම බුලත් විටක් ද තබයි. එය පිළිගත් කිරිමව්වරු පහන් දල්වා එකවර මේ කවියද කියති.
දහමේ අනුහස් ලබ ති
පහනේ රූසිරි දිලෙ ති
සියලු දෝස දුරුකර ති
කිරෙන් පහන් වැටි නිව ති
දානයේ කටයුතු අවසන් වූ විට ඉතිරි වූ කිරිබත් එම කෙසෙල් කොළවල ඔතා උතුරු සළුවෙන් වසාගෙන එතනින් ඉවත්ව යති. තවත් ඉතිරිවූ කිරිබත් අවට හිතවතුන්ට බෙදති. කිරි අම්මාවරුන් පිටව යන්නේ කිසිවකු සමඟ කතා නොකිරීමෙනි. කිරි අම්මාවරුන්ගේ උපත උඩයක්කු නමින් හැඳින්වෙන රිද්දියකුන් සත්දෙනෙකු නිසා ඇති වූවකි. විල්ලොඩි දේශයෙහි උපන් ඍද්දියක්ෂ සමූහයක් සිංහල දේශයට යමු යැයි කතිකා කර ගන්නා ලදී. බිසවුන් සත්දෙනෙකු හා කුමරුන් පස්දෙනෙක්ව ඉපිද නැව් දෙකක නැඟී ලක්දිව වළවේ ගං සමීපයට ළඟා වූහ. ඔවුහු එහි බැස ගං නිම්නය ඔස්සේ ශ්‍රීපාද අඩවිය දෙසට ගමන් ගත්හ. රන්මුතු ඇල්ල නම් තැනේදි සැඩොල් කුලයේ මිනිසකු එක් බිසවකගේ අතින් අල්ලන ලද එවේලේම අනික් බිසෝවරු සයදෙනාම දිය ඇල්ලට පැන දිවිනහ ගත්තාහ. එසේ ක්‍රෝධ සිතින් මිය ගිය බිසෝවරුන් වෙනුවෙන් මෙසේ කිරි අම්මාවරුන්ගේ දානය ඇතිවූ බවටද මතයක් පවතී.
වඩිති එරස්ගහ නුවර මැදින් නේ
කෙළිති ඒ විල්ලෝඩියට ගොසින් නේ
සැදෙති එතුම් සමයම සතොසින් නේ
කෙළිති එගිනි ජල් බලපාමින් නේ
දැනේද කිරි අම්මලා වඩින වා
පෙනේ දුරට රන් කංදස පෙනෙන වා
පෙනේද ඒ රුසිර මාල දිලෙන වා
රන් රුවසේ නැව් පිටින් වඩින වා
රුවන් නැවෙන් ආ බිසෝවරු සත් දෙන
ගුවන් තලේ සිට සක්මන් කරමි න
මෙවන් කතුන්ගේ දොස් දුරු හරිමි න
රුවන් බිසව් ආතුර නිති රැක දෙ න
පත්තිනි දේවිය උදෙසා කරනු ලබන පුද පූජා අතර කිරි අම්මාවරුන්ට දෙනු ලබන දානය විශාල ආශිර්වාදයක් ගෙන දෙන්නකි. සමහර පළාත්වල එය ඒ ඒ පළාතට අනුරූප වූ අයුරින් සිදු කෙරෙයි. බොහෝ විට මෙය සිදු කරනු ලබන්නේ පඬුරක් ඔප්පු කිරීමක් වෙනුවෙනි. වසංගත රෝග පැතිරයාම, පවුලේ බෝවෙන හා වෙනත් ලෙඩ රෝග ඇතිවීම, පවුලේ අසමගිතාවය දුරුකොට සෙත ශාන්තිය ලබා ගැනීම. යක්ෂ භූත පේ‍්‍රත ආදි අමනුෂ්‍ය බලපෑම් දුරුකර ගැනීමට කිරිදානය දෙනු ලැබෙයි. කිරි අම්මාවරුන්ගේ දානය හා ගෙතුණු බොහෝ කතා ඇත. සිද්ධ සලඹ, අඹ, මල්, ගිනි, දේව යන සත්පත්තිනි දෙවියන් වෙනුවෙන් කිරිඅම්මාවරුන් සත් දෙනකු සඳහා මෙම දානය දෙනු ලබති. එසේ එක් එක් පළාතට සීමා වුවත් පිළිවෙත් අනුව කිරි අම්මාවරුන්ට දෙනු ලබන දානයේදී සමහර පළාත්වල කිරිබත් කෑලි පනස්හයක්, කෙසෙල්ගෙඩි පනස්හයක්, කැවුම් පනස්හයක්, කපුරු පෙත්තක්, පහන්තිර අටක්, පඬුරු අටක් හා බුලත් කොළ හතක්ද වේ. මෙහිදී උස් අසුනක එක බැගින් තබා පහන් තිරයක් දල්වා දෙවියන් නමට පූජා කරති. පසුව කිරි අම්මාවරු යාදින්න කියවා සුබ පතති. ඒ ඒ අයුරින් කිරි අම්මාවරුන්ගේ දානය පවත්වා සෙත් පතති.
කිරි දානයක් ලබා දීමේදී කුඩා දරුවන්ගේ බොහෝ රෝග අපල උපද්‍රව, පවුලේ දියුණුවට එරෙහිව ඇති වූ ඇස්වහ, කටවහ, දෝෂ විවිධ අණ විණ, කොඩිවිණ ආදි උපද්‍රව, ගර්භණී මාතාවන්ට ආශීර්වාද ලබා ගැනීමට තමාගේ රැකිරක්ෂා කටයුතු දියුණුවීමට වැනි කරණු හේතු කොට ගෙන මේ කිරි අම්මාවරුන්ගේ දානය පත්තිනි මෑණියන් උදෙසා පූජා කරනු ලබයි.
අඹපත්තිනි, සළඹ පත්තිනි, සිද්ධ පත්තිනි, මල්පත්තිනි, ගිනිමාතා යන දේව සම්බන්ධයක් වෙනුවට ඔවුන් සංකේතවත් කරමින් අම්මාවරුන් හත්දෙනෙකු චාරිත්‍රානුකූලව දානයට සහභාගි කරවා ගැනීම මෙහි මූලික අරමුණයි.
මේ සියලු පිළිවෙත් අවසානයේ කිරි අම්මාවරුන් සහ එයට සහභාගි වූ සියලු දෙනා පන්සිල් ගෙන අවසානයේ දෙවියන්ට පින්දී පුවක්මල් ඇට ඉසිමින් නිවෙසින් පිටව යන සිරිතක්ද තිබී ඇත.
ඡ්‍යොතිෂ ප්‍රභාශ්වර
තිස්ස මහානාම