අවුරුදු උදාව

අප්‍රේල් 12, 2024

 
 
 සරු බව කියැවෙන බක්මාසය මැද අවුරුදු දිනයද ළං වෙනවා
 හට ගත්පෙපල බර ගස් ගෙඩි අතරට අඹ කජු ජම්බුත් එක් වෙනවා
 තැන් තැන්වල ඇති එරබදු ගස්වල රතුපාටින් මල් ලෙළදෙනවා
 කපුටු කූඩුවල ඉපදුණු කොවුලන් අවුරුදු නැකතේ හඬ පතුරනවා
 
 අටු කොටු පිරුණට අතමිට හිඟයට තව තව දේවල් වෙත වෙහෙසෙනවා
 වට පිට ගේ දොර ළිං පිරිසුදු කර ළඟ එන මඟුලට සැරසෙනවා
 මව්පිය දූ දරු තම රුව හැඩයට රෙදි පිළි තෝරා දිව යනවා
 ඕනෑ දේ සහ එපා දේවලුත් කරපිට බැදගෙන ගෙට එනවා
 
 පෙර සඳ බැලුවා අවුරුදු නෑවා කැවිලි හදන්නට සැරසෙනවා
 තෙල් පැණි ඇත්නම් කැවුම් ද පංචං නෑදැ යාළුවන්ටත් දෙනවා
 කෙස් නැති කැවුමත් කොණ්ඩ කැවුම් වෙයි බදින විටදි ඒ සුවඳ කියනවා
 අග්ගල උඳු වැල් මුංගුලි අලුවා පුළුවන් තරමට ගමට බෙදනවා
 
 ක්‍රෝදී නම් සංවත්සරයේදී හිරු දෙවි මීනෙන් මේෂෙට ආවා
 කාල රාක්‍ෂී කාල පුරුෂ තෙම දිව සලු පලඳා මෙලොවට ආවා
 ශක වර්ෂය සහ ක්‍රිස්තු වර්ෂයත් මේ හැම ඔක්කොම එක්වෙනවා
 රතිඤ්ඤ උණ වෙඩි මල් වෙඩි සද්දේ නව අවුරුද්දේ උදාව කීවා
 
 වැඩ අත්හැරලා කෑමත් නවතා නොනගතයට දැන් පත්වෙනවා
 මාපිය සැළකිලි දන් පින් කටයුතු කැවිලිත් අරගෙන නෑගම් යනවා
 නැකත් උදාවට ළිප ගිනි දල්වා කිරිබත් කැවිලිත් රසට හදනවා
 වැඩපල ගණුදෙනු අනුභවයත් කර අවුරුදු සෙල්ලම්වලට යෙදෙනවා
 
 රැවුලැති මැණිකෙගෙ රබාන රත්කර රුවැත්තියෝ හඬ පතුරනවා
 මත්වුණ බණ්ඩා යාළුවො එකතුව තනි කකුලෙන් රඟ දක්වනවා
 අවුරුදු කෑවා හිස තෙල් ගෑවා ඉදිරියෙ දියුණුව පිහිටක් පැතුවා
 ගෙදරට පැමිණියො කා බී සතුටට වැටි වැටි නැගිටල ජය පැතුවා
 
 
 ඡ්‍යොතිෂවේදී, සාම විනිසුරු
 රාජ්‍ය සම්මානලාභී,
 මාකෙහල්වල කරුණාපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.