යමකාල ගුරුකම්වල මහිමය

මාර්තු 29, 2024

 

“ගුප්තවේදය” අපේ ගැමි භාෂාවෙන් කියනවා නම් නිහඬව ගුරුකම් කිරීමයි. දැන් දැන් නම් මේ ශාස්ත්‍රය අපෙන් ටික ටික අඩු වී ගෙනයි යන්නේ. ඒකට හේතු බොහොමයක්ම තිබෙනවා. ඉන් කීපයක් තමයි මවුපියන්ගේ මේ රක්ෂාව දරුවො ඉදිරියට කරගෙන යාමට මැළි වීම. අනික ඒ ශාස්ත්‍රය ඉදිරියට ගෙනයන්ට පහසුකම් නොමැතිකම. බොහෝ දෙනා කැමති සුදු අත්දිග කමිසයක් ඇඳලා ටයි පටියක් එහෙම ගැට ගහලා වායු සමීකරණයක් යට වාඩිවෙලා වැඩ කරන්න.

ඒකට කිවුවේ ඹඩඪබඥ ජධතතධප ණධඡ කියලා. ඒ කිවුවේ සුදු කරපටි රක්ෂා. ඒ දවස්වල නම් ඒ රක්ෂාවලට රටේ හොඳ වැදගත් තැනක් තිබුණා. මොකද ඒවාට තෝරා ගත්තෙත් වැදගත් පවුල්වලින් වැදගත් උගත් අවංක අයව.

මේ ශාස්ත්‍රය පිරිහෙන්න තවත් හේතුව තමයි ශාස්ත්‍රය හරිහැටි දන්න අය නොමැති එකයි. ටිකක් හරි දන්න අය බොරුකරන එකයි. ඒ උනාට මේ ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම තවම නැතිවී ගිහිල්ලා නැහැ. දක්ෂ ගුරුකම්කාරයෝ නැත්තේම නෑ. ඒ අයගෙනුත් ටික දෙනෙක් ශාස්ත්‍රය ඉදිරියට ගෙන යන්නෙ නැහැ. නොඑසේ නම් කරන්නේ නැහැ. ඒ වුණාට ටී.වී නාළිකා බැලුවොත් අරයාගේ පුතා, මහ ඇදුරගේ පුතා කියනවා. දේව ස්තෝත්‍ර දෙක තුනකුත් කියනවා හැබැයි පුතාට වැඩ බැහැ. මුදලුත් එපා කියනවා. වැඩේ ඉවරවනකොට ලක්ෂයක් විතර මුදලුත් වැය වෙලා. කරපු දෙයකුත් නැහැ. හරි නොගියේ ඇයි ඇහැවුවම විරුද්ධ පක්ෂය ඌරු මස් කාලා ලු. විරුද්ධ පක්ෂය සූඛර මස් කන එක අපට නතර කරන්ට හැකිද? මේවා පුදුමාකාර විහිළු.

දේව සංකල්පය මත දෙවියෝ වර්ග දෙකයි. එනම් මහේශාක්‍ය දෙවියෝ හා අල්පේශාක්‍ය දෙවියෝ. මහේශාක්‍ය දෙවියො කියන්නෙ උදේට, සවසට, රාත්‍රියට හෝ අලුයමට වෙනස් නොවන දෙවියෝ. ඒ කිවුවේ විෂ්ණු, කතරගම, නාථ, සුමන, සමන්, පත්තිනි යන අය. අල්පේශාක්‍ය දෙවියො කියන්නෙ කාලිමෑණි, යමකාල, කඩවර දෙවියා, සූනියන් දෙවියන් වගෙ අය. මේ විස්තර නිවැරැදිව මිනිසුන් දන්නෙ නැහැ. අවබෝධය නැහැ. තවත් දෙයක් තමයි මහේශාක්‍ය දෙවියන්ට පුද පූජා කරන්ට නියමිත වේලාවක් හෝරාවක් නැහැ. ඕන වෙලාවක හැකියි. එහෙත් අල්පේශාක්‍ය දෙවියන්ට පුද පූජා කරන්ට පහන් දල්වන්න කිසියම් වේලාවක් තිබෙනවා. අපි ඒකට යාමය නැත්නම් හෝරාව කියනවා. දේව සංකල්පය මත කාලි මෑණියන්ට, සිද්ධ සූනියන් දේනතාවාට නම් රාත්‍රි 10ට. දෙවියන්ට කෙසේ වෙතත් වේලාවට වැඩ කරන එක නම් හොඳ ක්‍රියාවක්.

වශී ගුරුකම් අතර බලගතු වශී ගුරුකම තමයි මලයාලි නැත්නම් හුලවාලි ගුරුකම් රොඩී ගුරුකම කියන්නෙ. ඒවා විශේෂයෙන්ම කරන්නෙ රොඩී කුලේ අය. මේ අයව ඒ දවස්වල පවා සමාජයට ගත්තෙ නැහැ. ඒ නිසාම ඒ අය අඩු ජාති මිනිසුන් හැටියට සමාජය පිළිගත්තා. බොහෝ දෙනා කාලි මෑණියන්ට පහන් දල්වන්නෙ කාටහරි නරකක් උපද්‍රවයක් කරන්න. එහෙත් ඔවුන්ගේ නැති වූ දේවල් සොයාගන්නත් පොල් ගහනවා. ඒ එක් එක් අයගේ මතය.

කාලි මෑණියෝ පුරට මෑණියෝ වූවාට අව පක්ෂයට කාලි යක්ෂයා බවත්, සිද්ධ සූනියං දෙවියෝ අවට සූනියං යක්ෂයා කියලත් මතයක් තිබෙනවා. සමහර අය මේ දෙවියො අදහාගෙන ශාස්ත්‍රත් කියනවා. ඒ කිසියම් මුදලක් හොයා ගන්නයි.

මේ වගේම තදබද බලවේගයක් තමයි යමකාල ගුරුකම් කියන්නේ. යමකාල ගුරුකම්වල යහපත් පැත්තක් වගේම අයහපත් පැත්තකුත් නැත්තේද නොවේ. හොඳ පැත්තට වඩා නරක පැත්ත භයානකයි. මොකද පුරට දේවතාවා වගේම අව පක්ෂයට යක්ෂයා ඒ කිවුවේ වේශය යක්ෂ. යහපත් ගුරුකම්වලදි අකුරටම නියම වේලාවට කරන්න ඕනෑ. ගුරුකමක් බැරිවීමකින් හරි වැරදුණොත් කිසියම් දඬුවමක් තිබෙනවාමයි. යමකාල ගුරුකම්වල විශේෂත්වය ඒකයි. ඒක නිසා ඔය ගුරුකම් ගැන සාමාන්‍ය දැනුමක් ඇති අය දන්නා කෙනෙක් යටතේ කළා නම් වඩා හොඳ බව මගේ අදහසයි. මොකද මේ වගේ ගුරුකම් කරන කොට දෙවරක්, තෙවරක් හිතන්න ඕනෑ. පාරම්පරිකව මේ වගේ ගුරුකම් කරන නිසා මේවායින් බොහෝ පාඩම් ඉගෙනගෙන තිබෙනවා. ටිකක් නපුරු ඒවාටත් මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන් දුටු පුරුද්ද, කළ පුරුද්ද, ඇසූ පුරුද්ද ඇතිව කරන්න. විශේෂයෙන් මේ ගුරුකමක් වැරදුණොත් ඔබටම විඳවන්නට වනවා. මේ ගුරුකමකින් වැරදීමකින් සිහිය නැතිවීමක් වුවහොත් නැවත සිහිය ගන්ට අමාරු වනවා.

සමහර විට ඒ නින්ද සදාකාලික නින්ද වන්නත් බැරි නැහැ. මොකද මේවාට ප්‍රතිකාර කරන අය නැහැ. වෛද්‍යවරයෙකුට ගොඩගන්නට අමාරුයි.

ඔබ අසා ඇතිනේ මහසෝන් යක්ෂ, ඊරි යක්ෂ බලවේග හා ඔඩ්ඩි යක්ෂ බලවේග. මේ අයගේ අවතාර දුටුවාම සිහිය නැති වුණාට ඒක ගන්ට පුළුවන්. ආරක්ෂා මන්තරයකින්. ඒවාට බය වෙන්න රූපකායෙන් විතරයි. යම දෙවි ගුරුකම් වගේ නොවේ.

යමකාල දේවතාවා. ගැන දීර්ඝව කතා කරන කොට එයත් අවේලාවට යක්ෂයා වනවා. යමකාල ගුරුකම් ගැන ඔබේ දැනීම අවදිකරන්ට එක සරල ගුරුකමක් පසුව ලියන්නම්. නිවැරැදිව කළ හැකි වුණොත් එහි ප්‍රතිඵලය දැන්වුවොත් තව එකක් ලියන්නම්. ගුරුකම් කෙසේ වෙතත් යමකාල ගුරුකම් ගැන ඔබේ අවධානය යොමු කරවන්නයි මේ ලියන්නේ. ඔබව භීතියට පත්කරවන්ට නොවේ. ඔබ දන්නවා කැබැල්ලාව දේවාලයට අධිපති යැයි ප්‍රසිද්ධ සිද්ධ සූනියං දේවතාවා සුදු සැරැටියක් අත ඇතිව යන ගමන් විලාසයට සාමාන්තරව මේ ක්‍රමය අනුගමනය කරන්න.

“ඕනෑම බදාදා දිනයක හිරු උදාවෙන් පැයක් ගිය තැන ගිතෙල් මිශ්‍ර බතක් අනුභව කොට මල්මාලාවක් ගෙල පලදා තලතෙලින් ශරීරය පිරිසුදු කොට යමදෙවි උතුරට යනවා. ඔබද එකි වෙලාවට ඒ ක්‍රමයෙන්ම සැරසී පිරිසුදුව ගොස් ඔබේ පේ‍්‍රමිය හමුවන්න. අදහස් සියල්ලම හොඳින් සාර්ථක වෙයි. මෙය අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.