වාහන කැඩුණු කොණ්ඩදෙණියේ හිමිවරුන්ගේ කතා

මාර්තු 29, 2024
 
 කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය තුළින් අපූර්ව ලක්ෂණද පෙන්නුම් කෙරේ.   හොඳට හොඳ මෙන්ම, නරකට නරකක් කිරීමටද උන්වහන්සේ නොපැකිළ වූ අවස්ථාද එමටය.  
 
ඒ ‘හාරලක්ෂයේ මංකොල්ලය’ සිදු වූ සමයයි. මංකොල්ලය පසුකාලීනව සියලු දෑ හෙළිදරව් විණි. කතා පුවත හා සම්බන්ධ එක්තරා පුද්ගලයෙකු  නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ ආරාධනය මත ගුරුකමක් කිරීමට කොණ්ඩදෙණිය සිට   විජේරාමයට වැඩම කිරීමට හිමියන් යොදා ගත්තේ තමන් වහන්සේට පරිත්‍යාගයක් ලෙස ලැබුණු තරමක් පරණ ජීප් රථකයකි. 
 අතරමඟදී රථයේ දෝෂයක් හට ගන්නට විය. රථයේ රියැදුරුට කාර්මික දෝෂයක් නිවැරදි කර සකසා ගැනීමට එතරම් දැනුම් නොවීය. එනිසා කැඩුණු රථය අවට පිරිසගේ සහායෙන් තල්ලු කොට නුගේගොඩ බෝගහහන්දිය අසල එවකට තිබූ තරමක් ලොකු ගරාජයකට ගෙන ඒමට ඔවුන් සමත් විය. 
එදා නුගේගොඩ පැවතියේ ග්‍රාමීය පරිසරයකි. අද මෙන් ජනාකීර්ණද නොවිණි. මෝටර් රථ භාවිතයද අවම ප්‍රමාණයක් විය. එබැවින් ඉඳහිට තමන් වෙත රැගෙන එන වාහන අලුත්වැඩියා කොට අධික මුදලක් සේවාදායකයාගෙන් අය කර ගැනීමට ගරාජ හිමිකරුවා පුරුද්දක් කොට ගෙන තිබිණි. ගරාජයටම අල්ලා ඔහුගේ දෙමහල් නිවසද ඉදිකර තිබිණි. 
කෙසේ හෝ හිමිගේ රථය කඩිමුඩියේ අලුත්වැඩියා කරන ලදුව එහි වූ කාර්මික දෝෂය සකසන ලදි. 
“ඔන්න මගේ වැඩේ අහවරයි. මගේ ගනුදෙනුව රුපියල් දහසයි. අලුත් කෑල්ලකුත් දාලයි තියෙන්නෙ” 
ගරාජය හිමිකරු පැවසීය. එකෙණෙහිම අලුත්වැඩියා කරන තැනම රැඳී සිටි හිමියන්ගේ රියැදුරු හඬ අවදි කළේය. 
“අලුත් කෑල්ලක් දානව නම් මම දැක්කේ නැහැ නොවැ” 
“කාරි නැහැ. කාරි නැහැ...මහත්තයෝ, මේ හදිසියට මා ළඟ රුපියල් දහසක් නැහැ නොවැ එනිසා හැන්දෑ කොරේ ඒ මුදල් නොවරදවාම ගෙනත් දෙන්නම්. හදිසි ගුරුකම් වැඩකට ආපු ගමනක් නොවැ”
“එහෙනම් හාමුදුරුවනේ ඒ ගුරුකම් වැඩ අහවරකොට ඇවිත් මගේ මේ ගාස්තුව ගෙවල ජීප් එක අරන් යන්න එතකම් මෙතනින් අඩියක් වත් හොල්ලන්න ඉඩ තියන්නෙ නැහැ.”  
හාමුදුරුවන්ගේ රියැදුරු ගරාජ හිමියා සමීපයට ගියේය. 
“උන්නැහැ දන්නවද? මේ හාමුදුරුවො කවුද කියල?
යන්ත්‍ර මන්ත්‍රවලට සුප්‍රසිද්ධ කොණ්ඩදෙණිය හාමුදුරුවෝ” 
 “මම දන්නා දෙණියක් නැහැ අයිසේ” 
මම ඔය යන්ත්‍ර මන්ත්‍ර තඹ පිච්චියකට මායිං කරන්නේ නැහැ” 
“අපි කවදාවත් ඕව විශ්වාස කරන්නේත් නැහැ හලෝ වාහනය අරන් යන්න ඉඩ නොදුන්නොත් මොකද එයා මගේ ගැරේජ් එකට ගිනි තියන්ඩද? ඔහේ දැනගන්නව මම හොඳ සල්ලිකාරයෙක්. එයා මාව හිඟමනේට ඇද දාන්නද? මම ඕවට බය නැහැ. හාමුදුරුවො කවුරු වුණත් මට කමක් නැහැ. හරි හමං සල්ලිභාගයක්වත් නැතිව මහලොකුවට වාහන පාවිච්චි කරන්නේ” 
“හොඳයි ඩ්‍රැයිවර් උන්නැහේ අපි පයින් යමු. හවස් කොරේ කාගෙන් හරි සල්ලියක් ඉල්ලගෙන ඇවිත් වාහනේ අරගෙන යමු.” 
දෙදෙනා සැතපුම් කිහිපයක් පයින් ගමන් කොට තම සේවා ලාභියාගේ නිවසට පැමිණියහ. හිමිගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහු බලා සිටියේය.   
 හිමියෝ තම සේවාදායකයාට අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර කඩිනමින් ජප කරන්නට වූහ. නිවෙසේ හතර කොනින් පස් කුඩා ප්‍රමාණයක් ගෙන තාච්චියකට දමා රත්කොට පුපුරු ගසමින් බැදෙන්නට සැලැස්වීය. ඉන් ඉතා ස්වල්පයක් ගෙන කහදියර ඉහ නිවා සිංහ තෙල් බිඳුවක් සමඟ කුඩා රත්රන් සුරයකට දමා ඔහුගේ ගෙල පැලඳවීය. 
“මහත්තයෝ බය නැතිව වැඩේට යන්න. මේ එන ගමනේදී ගැරේජ් කාරයෙක් මට කොලොප්පමක් කළා. එයාටත් පාඩමක් උගන්වලයි මම යන්නේ.”  
එක නැට්ටෙ දෙහි ගෙඩි තුනක් ගෙන්වා ගත් හිමියෝ් ඊට මන්ත්‍ර ජප කරන්නට වූහ. ඒ සමඟම දෙහි ගෙඩි තුන රතු පැහැ ගැන්වී තිබිණි. 
“ඩ්‍රැයිවර් කොල්ලෝ, මේ දෙහි ගෙඩි තුන අතට ගනිං. මම ගැරේජ්කාරයට සල්ලි දෙන අතරේ ගැරේජ් එකේ පැත්තක දාල තියෙන අබලි ටයර් එකක් ඇතුළට දෙහි ගෙඩි තුන දමාපං” 
කාරයේ ඩ්‍රයිවර් හිමිගේ අණට කීකරු විය. 
“මෙන්න තමුසෙගේ ගාස්තුව. අපි වාහනේ අරගෙන යනවා” 
මාස ගණනාවකට පසු තවත් ගුරුකම් වැඩකට නුගේගොඩට වැඩම කළ හිමියන්ට දැක ගත හැකි වූයේ එදා තිබූ ගරාජයත් දෙමහල් නිවසත් ගින්නකින් දැවී ගොස් තිබූ  සුන් බුන් පමණි. 
ඒ අසල පිහිටි කුඩා බුලත්විට කඩයකින් හිමියන් ඒ ගැන විමසීය. “හාමුදුරුවනේ, දැන් ඒක වැහිල ගිහින් මාස, දෙක තුනක් වෙනවා නොවැ හදිසි ගින්නකින් ගරාජයේ නවතා තිබූ වාහනත් තට්ටු දෙකේ ගෙයත් සම්පූර්ණයෙන්ම දැවිල ගියා. මිනිසා හතර වටේටම ණයකාරයෙක් වුණා. ඒවා ගෙවලම ගැරේජ්කාරයාගේ මුළු දේපළම ඉවරයි. අන්න මිනිහා අර බෝගහ යටට වෙලා හිඟමන් යදිනවා.” 
 
කොණ්ඩදෙණියේ වත්මන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ මෑතකදී තම වාහනයෙන් අලුයම රාජකාරි කටයුත්තකට කොණ්ඩදෙණිය සිට මහනුවර බලා පිටත් වූහ. කටුගස්තොටට ළඟාවීමත් සමඟම වාහනය ලෙඩ දෙන්නට විය. අවට  හොඳ ගැරේජයක්ද පෙනෙන්නට නොතිබිණි. ඒත් ළඟපාත විජාතික කොලුගැටයකුගේ කුඩා ගරාජයක් තිබිණි. එයට වාහනය තල්ලු කරගෙන විත් දැමුවත් එයින් කාරය පණ ගැන්වීමට යමක් කර ගැනීමට ඒ හාදයාට නොහැකි විය. වාහනය අතපත ගෑවා පමණි. ඒත් කිසිදු අලුත්වැඩියාවක් නොකළත් ඔහු එය පරික්ෂා කළ බැවින් තරමක ගාස්තුවක් ගෙවන්නට හිමියන්ට සිදු විය. 
මෙවැනි අවස්ථාවක නම ‘කිරිඅප්පච්චි” වූ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් කළ කී දෑ මතකයට නැංවිණි. කටුගස්තොට හාදයාද හිමියන්ව එතරම් ගණන් ගත්තේම නැත. 
“දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ නොවැ. 
අපි මේක කාලි මෑණියන්ටවත් කියා බලමු.” 
නිමේෂයක් ගතවත්ම අනුරුද්ධ නායක හිමියන් සංසුන්ව තම පිළිවෙත් අනුගමනය කරමින් හෙමින් සීරුවේ මන්ත්‍රයක් ජපකොට තමන් වහන්සේට හදිසියේ සිදුවූ මේ ඇබැද්ධිය කාලිමෑණියන්ට මනසින් පවසන්නට විය. තඩි කළු පූසෙක් ආපදාවට ලක්වූ වාහනය මතට පැන හිමි පාමුල දැවටෙන්නට විය. 
ගතවූයේ මොහොතකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මෙයට වසර හතළිස් ගණනකට පෙර හාමුදුරුවන් සමඟ  සිටි සමකාලීන මිතුරකු වූ  අශෝක මහතා එක්විටම මුණගැසුණි. 
ඔහු වෛද්‍ය පරීක්ෂාව උදේම නිමකොට නිවස බලා තම කාරයෙන් පිටත්ව යාමට සූදානම් වුවද හදිසියේම කාලිමෑණියන් සිහිපත් විය. එතුමා කාලිමෑණියන් විශ්වසනීයත්වයෙන් අදහන බැතිමතෙකි. කලකට පසු කාලිමෑණියන් සිහිපත් වුණේ කළ වෛද්‍ය පරීක්ෂණයේ අඩුපාඩුවක්වත් සිදු වුණා දෝ’යි ඔහුට සිත් විණි. 
“ආ........හ්........ මට රුධිර පීඩනය බලන්න අමතක වුණා නේන්නම්.” 
ආපසු වාහනය පණ ගන්වා කටුගස්තොට නගරයට පිවිසීමත් සමඟ අශෝක මහතාට අනුරුද්ධ හිමියන් මුණගැසුණි. 
සිදු වූ ඇබැද්ධිය අනුරුද්ධ හිමියන්ගෙන් දැනගත් අශෝක මහතා වහාම ඉදිරිපත්ව තම මුදලින්ම වාහනය අලුත්වැඩියා කොටදී ඉතා ඉක්මනින් උන්වහන්සේගේ ගමන් පහසුව සලසා දුණි. 
මෙම කතා පුවත් දෙක කඩම්බාවේ අනුරුද්ධ  හිමියන්ගෙන් දැනගත් විට මගේ සිත කාලවකවානු දෙකකදී ගරාජ තුළ කොණ්ඩදෙණියේ හිමිවරුන් මුහුණු දුන් අභියෝග සහ දෙදෙනා ගත් පියවරවල වෙනස පිළිබඳවය.
 
 
 හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්  
ඡ්‍යොතිෂ ශිරෝමණී 
ආචාර්ය විජය සමරසිංහ
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.