හතළිස් වසක මීමැස්මොරය සුව කරන්න අඳුනට වැඩි දැඩිමුණ්ඩ දෙවියෝ

මාර්තු 22, 2024

 

කොණ්ඩදෙණියට ආසන්නව පිහිටි සොඳුරු ගමක් වූ “බමුණුගම” විසූ එක් අසරණ මනුෂ්‍යයකුගේ දුක්ඛදෝමනස්සට ඇහුම්කන් දීමට කොණ්ඩදෙණිය හාමුදුරුවන්ට සිදු විය. ඔහු දුටු සැනින් මේ අහිංසක මනුෂ්‍යයාට පිහිට විය යුතු බව උන්වහන්සේට දැනෙන්නට විය.

“මට ඉන්නේ එකම පිරිමි දරුවයි. ඒත් ඒකා ලෙඩ දුකා වෙච්චි. මේකා හීන්දෑරී කාලෙ ඉඳලම සතියකට වරක්, දෙකක් හිටිහැටියෙ දතකට පූට්ටුවෙලා, සෙම පෙරාගෙන මීමැස්මොරය හැදිල, ගැහි ගැහී වැටිල දඟලනවා. ඉතින් යකඩයක් අතටදීලා, හැන්දක කොටසක් කටට දාල ටික වෙලාවකින් ආයි....හරියනව හාමුදුරුවනේ... මෑතකදී ඉඳලා මේ ලෙඩේ දිනපතාම හැදෙනවා හාමුදුරුවනේ.

අපේ ගෙදර උන්දෑත් මමත් පසුගිය මාස තුනක් පුරා ඉඳලා අපේ ගෙදර ඉස්සරහ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට පහන් පැලක් හදලා දිනපතා නොකඩවාම රාත්‍රී 10.47 සිට රාත්‍රි 11.11 දක්වා තෙල්, මල්, පැන්, පහන්, හඳුන්කූරු දල්වලා උන්වහන්සේට පිං දෙනවා. ඉතින් අපි හැමදාම දැඩිමුණ්ඩ දේවෝත්තමයන් වහන්සේට ඉතා දුකින් කන්නලව් කරල කියන්නේ අපේ එකම පුතාව නිට්ටාවට සනීප කරල දෙන්න කියලයි හාමුදුරුවනේ. පූජාව තියන්න පටන් අරන් ඊයෙට හරියටම දින 100 සම්පූර්ණ වෙනවා හාමුදුරුවනේ.”

“උපාසක මහත්තයල දැඩිමුණ්ඩ දේව දිෂ්ටිය හරියටම හෙළන වෙලාවට නොවැ පහන් පූජාව පවත්වලා තියෙන්නෙ. ඒකනම් බොහොමත්ම හොඳයි නොවැ.”

“ඔබ වහන්සේ මුලිච්චි වෙලා ගුරුකමක්වත් කරල කොල්ලගේ අසනීපය නිට්ටාවට ගොඩදාගන්න පුළුවන්දැයි බලන්නයි ආවේ හාමුදුරුවනේ” “අනේ අපට පිහිටවෙන්න. දොස්තර මහත්තයා කිව්වේ දැන් ඉතින් ලෙඩේ පහුවෙලා වැඩියි. ඒ නිසා සනීප කරන්න අපහසුයි කියලා.දැන් පුතාට අවුරුදු 40ක් වෙනවා හාමුදුරුවනේ, මෙයාගේ සම වයසේ පාසලේ යහළුවෝ හොඳ රැකියා කරලා, දීග ගිහින් දරුමල්ලනුත් ඉන්නවා අපෙ හාමුදුරුවනේ. දැන් හැමදාම ඉර පායල පැයකින්, දෙකකින්, මේ ලෙඩේ හැදෙනවා. බලන් ඉන්නත් දුකයි හාමුදුරුවනේ.”

“ඩිංගිරි බණ්ඩෝ” මේ අහිංසකයන්ට උදේට සප්පායම් වෙන්ඩ තියෙන දෙයක් හදලා දෙන්ට”

“මේ ඇත්තන්ලා පහළ වැවට ගිහින් ඇඟපත හේමත් හොදාගෙන නෙළුම් මල් ටිකකුත් කඩාගෙන බුදුමැදුරට ගිහිල්ලා තමන්ගේ කාරණාව ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරල ඒ ගමන්ම කුස්සියටත් ගොඩවැදිල උදේට සප්පායම් වෙලාම එන්න කෝ. උන්වහන්සේගේ අණට අසරණ පවුල කීකරු විය.

“ඩිංගිරි බණ්ඩෝ, මෙහෙ වරෙන් අද විශේෂ වැඩක් තියෙනවා. උදේ කෑම හදල අහවර උන ගමන් උඹත් පහළ වැවට ගිහිං ඉක්මනින් නාල කියල පිරිසුදු වෙලා නෙළුම් මල් එහෙමත් කඩාගෙන නෙළුම් මල් මාලයකුත් හදාගෙන හනිකට පිරුවටයක් ඇඳගෙන දේව මන්දිරයට ආව නම්”

ඩිංගිරි බණ්ඩා දිය නා බුදුන් නැමද නැමද අලුත් පිරුවටයක් හැඳ පැමිණියේ පෙර ලද තම අත්දැකීම් පරිද්දෙනි. හනික දේවමන්දිරයට පිවිස ගිණිකබල අවුළුවා සුවඳ ද්‍රව්‍ය දමා සුවඳ දුම් පැතිරීමට අවකාශ සැලස්වූයේ පෙර පළපුරුද්ද අනුවමය.

ඒ සමඟම දේව මන්දිරයට පිවිසි නායක හාමුදුරුවන් නේපාලයේ විදේශ හාමුදුරුනමක් විසින් තමන් වහන්සේට පූජා කළ හඳුන් පෙට්ටගම විවෘත කළහ. ඒ සමඟම මුළු දේව මන්දිරයම සඳුන් සුවඳින් පිරී ඉතිරි ගියේ මොහොතකිනි.

එය සැබැවින්ම පියවි දෑසින් දැකීමට මම භාග්‍යවන්ත වීමි. එම පෙට්ටගමේ සඳුන් කැටයම් ද මනරම්ය. තවමත් සඳුන් සුවඳ ද වහනය වෙයි.

ඩිංගිරි බණ්ඩා තව තවත් රත්වී ගිනි පුළිඟු නැංවෙමින් තිබූ ගිනි කබලට කට්ටකුමංජල්, දුම්මල ඉස්සේය. සුගන්ධවත් දුම මුළු දේව මන්දිරය සිසාරා යන්නට විය.

දේව මණ්ඩලය වෙනුවෙන් දැල්වූ පහන්වල ආලෝකය ක්‍රමයෙන් වැඩිවන්නට පටන් ගනී. මොහොතින් මුළු දේව මන්දිරයම ඒකාලෝක විය. නායක හිමියන් තම ඉනේ පැලඳි අඳුන ලිහා දේව මන්දිරයේ බැතිමත්ව තැන්පත් කර බලගතු මන්ත්‍රයක් ජප කරන්නට විය.

පෙර පුරුද්ද පරිදි ඩිංගිරි බණ්ඩා පිරිසුදු බඳුනක තබන ලද අඳුන දෙස එක එල්ලේම බලා සිටියේ දැඩි අවධානයෙනි. හිටිගමන් ඩිංගිරි බණ්ඩාගේ දෙඅත් වෙව්ලන්නට විය.

අඳුනින් බලන ආකාරය උන්වහන්සේ ඩිංගිරි බණ්ඩාට කලින් කියාදී හුරුපුරුදුය. අඳුනෙන් තමන්ට පෙනෙන දේ නායක හිමියන්ට විස්තර කිරීමට බණ්ඩා සමත්ය.

“හාමුදුරුවනේ කවුදෝ අඳුරන් නැති කෙනෙක් පාර අවහිර කරගෙන ඉන්නවානේ.”

“දේව බලයෙන් වහාම ඔතනින් ඉවත් වෙන්න කියනවා” හාමුදුරුවන් ඩිංගිරි බණ්ඩාට කීය.

“කාලිමෑණි ඔය පැත්තෙ ඉන්නව ද බලපන්.” “මට නම් කාලිමෑණි පේන්නෙ නැහැ හාමුදුරුවනේ.”

එවිටම දේව මන්දිරය පිටතින් මහ හඬක් ඇසිණි. ඒ සමඟම දොර විවෘත කර බලනවිට කළු තඩි බළලා පැමිණ හිමියන්ගේ දෙපාමුල වැතිර ගත්තේය. හාමුදුරුවන් මන්ත්‍රය ජීවම් කළ හඬ දෙගුණ තෙගුණ වන්නට විය.

“හාමුදුරුවනේ අමුතු ඇඳුමින් සැරසුණු මනා දේහධාරී කඩවසම්, පි‍්‍රයමනාප රූපයක් ඇති අයෙක් පාර වහගෙන ඉන්නවා. එයා රැස් විහිදුවා විහිදුවා ඉන්නෙ.”

“මොනවා. එයා මොකක්ද ඇඳගෙන ඉන්නෙ”

“කුකුළෙක් පිට නැඟලා මාලිගාවේ දියවඩන නිලමෙ කෙනෙක්ගේ ඇඳුම වගේ එකක්. පපුව

ළඟටම රැවුලක් වැවිච්ච කෙනෙක් වගෙයි පේන්නෙ.

“ඕං අපේ දේව මණ්ඩලයට අලුත් කෙනෙක් එකතුවෙලා” ඒ වෙන කවරෙක්වත් නොව උතුම් දැඩිමුණ්ඩ දේවෝත්මයන් වහන්සේයි.”

“ආ........හ්..........ඔය අහිංසකයාට කවුරුහරි හූනියමක් කරලා වගේ......

උඹ වැඳගෙනම හිටපන් මම වැඩේ තිතට කරන්නම්කෝ”

හිමියෝ තම බලගතු මන්ත්‍ර තවතවත් මහහඬින් ජප කරන්නට පටන් ගත්හ. මුළු දේව මන්දිරයම මොහොතිත් ප්‍රභාවත් ආලෝකයක් පැතිර යන්නට විය.

“ඩිංගිරි බණ්ඩො” උඹේ වැඩේ හරි. උඹ දැන් හනික පලයන්. බණ්ඩා, හිමිගේ අණට කීකරු විය.

පුදුමයක මහත, සුදුවතින් සැරසුණු ජටාවක් බැඳගත් ශාන්ත දාන්ත මනා කඩවසම් රූපශ්‍රීයෙන් විරාජමාන වූ දේහධාරී පුද්ගලයෙක් දේව මන්දරය අභියසට පැමිණියේය.

“අවසර හාමුදුරුවනේ”

ඔබතුමා කොහේ ඉඳන් ද?

එහෙම නිච්චියටම අහවල් තැනයයි කියන්න තැනක් නම් නැහැ. මම මේ ළඟපාතට ආපු ගමන්. අද දවසේ ඔබ වහන්සේ කළ යාතිකාව ඇහුණා. මෙතැන අසරණයන්ට හා යුක්තියට, සාධාරණයට පිහිටවන බලගතු තැනක් වගේ. දේවාභරණ මංජුසාව දේව මන්දිරයේ තැන්පත් කරල තියන්නකෝ.” දේව මන්දිරයට පිවිසි අමුත්තා මොහොතින් අතුරුදන් විය.

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ට සියලු කාරණා මොහොතින් වැටහිණි. දැඩිමුණ්ඩ දෙවියෝ අසරණයාගේ උවදුරු දුරුකර ඇති බව වැටහිණි.

එකණෙහිම කොණ්ඩදෙණිය සීලරතන හිමියෝ බමුණුගම එම අහිංසකයාගේ නිවසට වැඩම කිරීමට තීරණය කළහ. උන්වහන්සේ ඉක්මන් ගමනින් එම නිවසට වැඩම කළේය. නිවස පුරාත් වත්ත පිටිය පුරාත් ඇවිද ගිය හිමියන් එක්වරම එහි අඹ ගහක් යට නතර විය.

අඹගහ ළඟ හාරන්නට නියම කෙරිණි. හිමිගේ අණට ගෙහිමියා එකඟ විය. ඒ අනුව අඹ ගහ යට අඩියක් පමණ හෑරිණි. තඹ කොළයක ලියන ලද යමක් ද එම තඹ පත හිසකේවලින් ඔතා තිබිණි.

කොණ්ඩදෙණියේ හිමියන් වළදා තිබූ තඹ පතේ අකුරු පරික්ෂා කර බැලීය.

“මේක ඔහේලාගේම ළඟ නෑදෑයෙක් කරපු හූනියමක් මට මේක ආපිට යවන්නත් පුළුවන්.”

“අනේ ඕන නැහැ හාමුදුරුවනේ අපට කාටවත් හිරිහැර කරන්න ඕන නැහැ”

හිමියන් අසනීපව සිටි හැඩිදැඩි තරුණ හාදයාගේ දකුණු අතේ තමන්වහන්සේ ජීවම් කළ පිරිත් නූල ගැට ගසන ලදී.

“ලොකු උන්නැහැ පරණ වළඳක් ගෙනත් අර වළදලා තිබුණු තඹ පත ඒකට දානවා. හොඳ තෙල්මන්ද තියෙන ඌරුමස් කෑල්ලක් තෙලේ බැදලා ඒ තෙල් තඹපත මතට වක්කරන්න. ඔතා තිබූ කෙස් ටික පුලුස්සලා ගලා බසින ඇළකට දොළකට, ගංගාවකට දානවා.”

“එහෙමයි හාමුදුරුවනේ” ඔහු හිමි අණ වහා පිළිපැදිණි.

“ඕං වැඩේ අහවරයි... මේ ලෙඩාට සාත්තු සප්පායම් කරන්න ඕන අද විතරයි. හෙට සිට ජවසම්පන්න නිරෝගි තරුණයෙක්” ලෙඩා නිට්ටාවට සුව විය.

මා කළ ගුරුකමක් ලෙහෙසියෙන් වැරදිලා නැහැ. එම පවුලට අත්වූයේ මහත් අස්වැසිල්ලකි.

ඔවුන් එදා සිට හැකි අවස්ථාවල, දැඩිමුණ්ඩ දෙවියන්ට ද පහනක් දල්වන්ට අමතක කළේ නැත.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.