අතැඟිලිවලින් කියන පිරිමි ගති

මාර්තු 22, 2024

දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයින්ගේ නිරීක්ෂණයට ලක්වන වැදගත් දේහ ලක්ෂණයක් සේ ඇඟිලි දැක්විය හැකිය. ඇඟිලිවල ස්වභාවය අනුව එක් එක් දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයෝ විවිධ ලෙස අදහස් දක්වති. එහෙත් එහිලා ප්‍රතිවිරුද්ධතා නොදක්නා අතර, යම් සාධනයක් පෙනී යයි. හැමකක්ම නිශ්චිතව, ස්ථිරව සර්වසාධාරණව නොව සාමාන්‍ය ලෙස සැලකීම වටී. කාන්තාවන්ගේ ඇඟිලි ගැන බොහෝ දෙනා පවසන අතර, මෙහිලා පිරිමි පක්ෂයේ ඇඟිලිවල ස්වභාවය ගැන බලමු.

පිරිමියෙකුගේ ඇඟිලි හා ගැහැනියකගේ ඇඟිලි අතර වෙනස්කම් වෙයි. බැලූබැල්මට වුවද ස්ත්‍රියගේ ඇඟිලි මුදු මොළොක්, සිනිඳු සහ සියුම් ස්වභාවයක් ගන්නා අතර පිරිමි පක්ෂයේ ඇඟිලි රළු ඝන ගොරෝසු ස්වභාවයක් ගනියි.

ඔබගේ ඇඟිලි කොට ද? එසේනම් ඔබ නිරන්තර ස්ත්‍රීන් සමඟ ආදර පේ‍්‍රම සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට වැර දරන්නෙකි. කොටින්ම කිවහොත් ඕනෑම අවස්ථාවක රති ක්‍රීඩාව අපේක්ෂා කරන්නෙකැයි කියැවේ.

ඔබගේ ඇඟිලි කෙටි වුවත් සිහින්ව පිහිටා ඇත්නම් ඔබ තුළ ඇත්තේ කලාකාමී අදහස්ය. කලා රසාස්වාදය අතිශයින් ඉහළින්ම විඳින්නෙකි. දූරදර්ශීව කල්පනා කිරීමේ නියැළී ඔබ බුද්ධිමත්ය. විචාරශිලීය. කවර ලෙසින්වත් අන්‍යයින්ගේ අදහස් මදකුදු පිළිනොගනියි. අන්‍යයින්ගේ අදහස් කනකටවත් නොගන්නා ඔහු හරි හෝ වැරදි හෝ වේවා සිය මතයේම කටයුතු කරන අත්තනෝමතික ගති ලක්ෂණ පෙන්වන්නෙකි. මෙබඳු අය සමාජයේ පිළිගැනීමට ලක් නොවෙයි. ඇසුරු කරන්නන් අතර කිසිඳු ප්‍රියතාවක් නොවන බව කිව යුතුය.

ඔබේ ඇඟිලි කෙටි නමුත් යම් තරමකින් මහත් ලෙස වේ නම් ඔබ යම් කරුණක් පිළිබඳව විශිෂ්ට පුද්ගලයෙක් වෙයි. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ආදී අනෙක් දුර්ජන ලක්ෂණ මොහු තුළ නැත. අන්‍යයන් සම්බන්ධයෙන් පි‍්‍රයතාවක්, ප්‍රසාදයක් උසුලන්නේය. කරුණා, දයා, මුදු මොළොක්, ගුණාංගවලින් හෙබි මෙවැන්නෝ උද්යෝගිමත් බවක් නොපෙන්වයි. උදාසීන, කම්මැලි හැමදේම සෙමින් කරන පුද්ගලයෙකි.

ඔබගේ ඇඟිලි ලෙස විමසිල්ලෙන් බලන්න. වක්ව ගිය ස්වරූපයක් පෙනෙන්නට පුළුවන. එමෙන්ම ඒ ස්වභාවය ඇතුළු පැත්තට වන්නට පිහිටියේ නම් ඔබ තුළ මසුරු ගති පවතියි. මෙම පිරිමින්ගේ ස්වභාවයක් නම් අන්‍යයින්ගේ දියුණුව නොඉවසීමයි. ඊර්ෂ්‍යාවන්ත මොවුහු ආත්මාර්ථයට මුල් තැන දෙයි. අනිකෙකුට උදව් උපකාර කළ යුතුය යන හැඟීමක් නැත. අනිත් ලක්ෂණය වන්නේ ඍජු ප්‍රතිපත්තිගරුක ස්වභාවයක් නොදක්නා වැනෙනසුලු ස්වභාවයයි. මෝන්ජල් පුද්ගලයන් ලෙස සමාජය විසින් මොවුන් සැලකේ.

සමහර පිරිමියෙකුගේ අතේ දබරැඟිල්ල, මැදඟිල්ලට වඩා උසට පිහිටා තිබිය හැකිය. මෙය සුලබ ලක්ෂණයක් නොවේ. සැබැවින්ම මේ ලක්ෂණ ඇති පුද්ගලයා වාසනාවන්තයකු යැයි කීමට ඉඩක් නැත. අභාග්‍යසම්පන්න, ජීවිතයක් ගෙවන ලක්ෂණයකි.

සමහර විට පිරිමි ඇඟිලි තුන්හුලක් ලෙස වෙයි. මොවුහු රාගාදී ක්ලේශධර්මයන්ගෙන් සිත පුරවා ගත්තෝය. කාමයට මහත් ළැදිය. අනිත් අතට ඇඟිලිවල ස්වභාවය පංක්කිය රන් තෙළිපෙළක් වැන්න “ යනාදි ලෙසින් සද්ධර්මාලංකාර කතුවර හිමි (16 ඵුස්ස දේවවර්ගය 63 ලභිය සහ වස්තුව 602 පිට) සඳහන් කරති.

ඇඟිලිවල අවසාන පුරුක්වල රේඛාවන් එකම තැන කරකැවුණු ස්වභාවයක් දක්නට ලැබේ නම් එබඳු පුද්ගලයා භාග්‍යවන්ත , පෙරකරන ලද මහා පින් ඇත්තෙකු බව හඟවයි.

සමහරවිට පිරිමියෙකුගේ සියලුම ඇඟිලිවල අවසන් පුරුක්හි දෙපැත්තෙහි නැගී මුදුන් මෙන් පෙන්වන කඳු මුදුනකින් ඇරඹී දෙපැත්තට ගලා යන දිය පහරක් සේ පෙන්වන රේඛා තිබිය හැකිය. මෙබඳු පුද්ගලයෝ උත්සාහවන්තය. සිය ශක්තිය කෙරේ විශ්වාසය තබන මොවුහු සිය අරමුණු ඉටුකර ගැනීමේ සමානකම් පාන්නෝය.

ඇඟිලිවල සෑම පුරුකකම හරස් අතට ඉරි සහිත රේඛා තුන බැගින් පිහිටා තිබෙනු දක්නට ඇත. මෙය සාමාන්‍යයෙන් පෙර පින් ඇත්තන්ගේ ස්වභාවය පෙන්වයි.

තවද මේ සිරස් අතට ඍජු රේඛා තුන හරස් අතට බෙදී යන තන්හි වී ඇටයක හැඩය ගත් ලක්ෂණයක් පෙනේ නම් හෙතෙම බොහෝ පෙර පින් ඇති අයෙකු ලෙස දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයෝ පෙන්වති.

පිරිමි පාර්ශ්වයේ ඇඟිලි ස්වභාවය පිළිබඳව විග්‍රහ කරන දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයෝ මේ ආකාර ජීවන චරිත ස්වභාවය දක්වති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.