ඇබිත්තයාට නිරූපිකාව වශී කර දුන් කළු අත්තන අඳුන

මාර්තු 15, 2024

 

කොණ්ඩදෙණිය පන්සලේ නායක සීලරතන හිමියන්ට වසර ගණනාවක්ම ඇපකැප වී ආවතේව කම් කළ ඩිංගිරි බණ්ඩාට ද නිසි කල වයස එළඹ තිබුණත් පෙළවහක් කර ගැනීමටවත් අවකාශයක් නොතිබිණි.

ඒ තරමටම හාමුදුරුවන්ගේ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් වැඩවලට දිනපතාම හිමිදිරි පාන්දර සිට අඳුර වැටෙන හෝරාව දක්වාම අනගි සහායක් ලබාදෙන ගමන් කුස්සියේ ඉවුම් පිහුම් කටයුතුවල ද, ශුද්ධ පවිත්‍ර කිරීම් කටයුතුවල ද, ආගන්තුකව පැමිණෙන්නන්ගේ ඕනෑ එපාකම් පිරිමහමින් කටයුතු කිරීමද, සත්කාර සංග්‍රහ කටයුතුවල සොයා බලා කටයුතු කිරීමට ඩිංගිරි බණ්ඩාට සිදු විය. මේ අධික කාර්යබහුලත්වය නිසාම නොදැනුවත්වම දවසේ කාලය ගෙවී ගොසිනි.

කොණ්ඩදෙණිය හාමුදුරුවන් පිළිබඳ කල්යත්ම ලංකාව පුරාත් දේශදේශාන්තරවලත් උන්වහන්සේගේ හාස්කම් ප්‍රචලිත විය. ඒ සමඟම කොණ්ඩදෙණියට පැමිණෙන බොහෝ පිරිස වැඩිවන්නට විය.

කලවයස ද එළඹ ඇති තමන්ට තනි නොතනියටත්, ඉවුම් පිහුම් කටයුතු උදව්වටත්, විශ්වාසවන්තියක්වත් හිටියානම් කොයිතරම් හොඳදැයි ඩිංගිරි බණ්ඩාට සිතුණු වාර අනන්තය.

කොණ්ඩදෙණිය පන්සලට පැමිණෙන පිරිස වැඩිවත්ම ඩිංගිරි බණ්ඩාට ද පැවරුණේ බැරෑරුම් රාජකාරි කොටසක්මය. එම වගකීම් සමුදායෙන් මොහොතකට වත් මිදෙන්නට ඔහුට නොහැකි විය. උදේ, සවස ආහාර පිළියෙල කර දෙන්නට අමතරව ඇතැම් දුරබැහැර සිට පැමිණෙන්නන්ට (ආගන්තුකයන්ට) නවාතැන් පහසුකම් සොයා දෙන්නට ඔහුට සිදු විය.

දිනක් සිනමා ශිල්පීන් කණ්ඩායමක් කොණ්ඩදෙණිය පන්සලට පැමිණියහ. කැමරා, විදුලි උපකරණ ඇතුළු අංගෝපාංග රැසක් සහිතව වෑන් රථයකින් පැමිණි නළු නිළි පිරිසක් ද ඒ අතර විය.

“ඩිංගිරි බණ්ඩෝ “ කවුද කාණ්ඩයක් ඇවිදින් හතර අත ඇවිදිනවා” “උන්දැල කවුරුන්දැයි බලපන්”

පන්සල ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය දෙසට ඩිංගිරි බණ්ඩා යන්නට විය.

“ආහ්, ඔහේ පන්සලේ ඇබිත්ත කොලුවා ද?” එය ඇසූ ඩිංගිරි බණ්ඩා කේන්ති ස්වරූපයට පත් විය. “මම ඇබිත්තයා නොවෙයි බොල,” “මම නායක හාමුදුරුවන්ගේ ප්‍රධාන ආවතේවකාරයා විතරක් නොවෙයි විශ්වාසවන්තම ආරක්ෂකයා”

“අනේ සමාවෙන්න, අපිට නායක හාමුදුරුවෝ මුණගැහෙන්න පුළුවන් ද?

“හොඳයි එනවා මාත් එක්ක, තමුන්ලගේ කටපරිස්සම් කරගන්නවා” හිමියන්ට පාද නමස්කාර කළ පිරිස තමන් පැමිණි කාරණය විස්තර කරන්නට විය.

‘අපේ හාමුදුරුවනේ’ ‘අපේ කණ්ඩායම “සීගිරි කාශ්‍යප’ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නයි ඉන්නේ’ “ඒකට උචිතම පරිසරයක් මේ පැත්තෙ තියෙන්නෙ”

“අර කාශ්‍යප රජු හැංගිලා හිටිය සීගිරි ගල කන්ද පරිසරය මේ තැනින් තැන තියෙන ගල්ගුහාවල තියෙනවා හාමුදුරුවනේ” “ඉතින් ඔබ වහන්සේගෙන් චිත්‍රපටය රූපගත කරන්න අවසර ගන්නයි ආවේ.”

“හොඳයි අවසර දෙන්නම් ඕන කටයුත්තක් පන්සල් ඉඩමට එහා පැත්තෙ ඉඳල කරගන්නවා” කොණ්ඩදෙණිය පන්සල බලගතු තැනක්” මේ දේව මන්දිරය, පන්සල්භූමිය පැත්ත පළාතේ එන්න බැහැ. මගෙන් අවසර නැතිව.”

“මගෙන් මොනවහරි කෙරෙන්නෙ ඕන ද?”

“වුවමනා වුණොත් කියන්නම් හාමුදුරුවනේ.

“නෝනා මහත්තුරු කණ්ඩායම දුරබැහැර ඉඳල ආව හින්ද ඔය බඩුත් උපකරණත් පැත්තකින් තියල උඩහ ගල්ගේයි බුදුගේයි බලලා එන්න.”

ඔවුන් කණ්ඩායම ඉන් ඔබ්බට පිවිසෙන ආකාරය හිමියන් දුටුවහ. ඒ අතර ඉතා සුරූපී කාන්තාවක් ද හෙමින් ගමනින් පර්වත ගුහා දෙසට පියමං කරන ආකාරද හිමියන් දැක ගත්හ. ඇය දෙසම ඩිංගිරි බණ්ඩා මහත් ඕනෑකමකින් සෑහෙන වේලාවක් බලා සිටිනු පෙනුණි.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල කෙළ පැමිණි උන්වහන්සේ ඩිංගිරි බණ්ඩාරගේ හිත කියවීමට සමත්විණි. ඇය කෙරෙහි බණ්ඩාට සිතක් පහල වී ඇති බව හිමියන්ට වැටහිණි.

“ඩිංගිරි බණ්ඩෝ මෙහෙ ආවනං”

ඔහු වික්ෂිප්තව තිගැස්සී හිමි පාමුලට පැමිණියේ වරදක් කළ අයකු පරිද්දෙනි.

“උඹ මගේ වැඩට, උදව් පදව්වට පැමිණිලා අවුරුදු ගණනාවක් වෙනව නොවැ” උඹ කැමැති ද උයන්න පිහින්න උදව්වටත් තනි නොතනියටත් කවුරුහරි සහේට ගන්න හම්බවෙනව නම්, එහෙමයි හාමුදුරුවනේ ඒක ඉතින් කොච්චර දෙයක් ද?

හොඳයි. මේ කණ්ඩායම වැඳල කියල එනකම් මම බණ්ඩට ගුරුකමක් කරල දෙන්නම්කෝ.

ඉතින් ඉක්මන් කරල කළුඅත්තන ගහක අතු, මල්, කොළ හා මුල් ටිකක් අරගෙන එනවකෝ. මම ගිනිකබල පත්තුකරල අවශ්‍ය අඩු වැඩි සුවඳ ද්‍රව්‍ය, දාලා ලෑස්ති කරගන්නම්කො.

අර කපුරු, කුංකුම, ගෝරෝචන ටිකක් අරන් දීලම යන්නකෝ.

ආ. තව එකක්... පන්සලේ නාමල් ගහේ පිපිණු නාමල් ටිකක් කඩාගෙන වරෙන්. බිම වැටිච්ච ඒවා ගේනව හෙම නොවේ. ඉතිරි අඩු වැඩිය. මගේ ළඟ තියෙනවා නොවැ.

දේව මන්දිරය කලබල වූ සේයාවක් පෙනුණි, හිමිගේ අණ පරිදි වහා ඒවා සියල්ල ඉටුවිණි. “උඹ දේව මන්දිරේ පිළිම දිහා බලාගෙන වැඳගෙනම හිටපන්” සියලු දෑ කඩිනමින් සැපිරුණි. බලගතු මන්ත්‍ර කියමින් සැකසූ චූර්ණය හිමියන් අත විය.

‘ඩිංගිරි බණ්ඩො’ මේක එසේ මෙසේ එකක් නොවේ. බලගතු වශියක්. උඹට තියෙන්නේ අර ලස්සන ගැහැනු ළමයාගේ නළලට මේකෙන් තිලකයක් තියන එක විතරයි. මනුලොව දිව්‍යාංගනාවක් බඳු ඇය දැපනේ වැටෙනවා නියතයි. අද ඉඳලා උඹටත් කලදවස හොඳ වේවි.

ගල් ගුහා පර්වතය හා බුද්ධ මන්දිරය වන්දනා කළ කණ්ඩායම ආපසු ආවාස ගෙට පැමිණියහ.

“හොඳයි” ඔය ඇත්තොලා මේ පළාත ගැන රටට පෙන්වන්න චිත්‍රපටයක් හදන එක. මම ආශිර්වාද කරන්නම්කෝ.”

“සීගිරියට වෙලා එදා කාශ්‍යප රජ්ජුරුවො කරපු හපන්කම් තමයි චිත්‍රපටයෙන් වඩාත්ම පෙන්නුම් කරන්නේ හාමුදුරුවනේ”

“කෝ ඉතින් කාශ්‍යප රජ්ජුරුවෝ” මම පිරිත් නූල් බඳින්නම්. “අනික් පිරිසත් එක්කම මෙහාට ආවානං’ හිමියන් කණ්ඩායමේ සෙසු පිරිසගේ ද පිරිත් නූල් ගැට ගැසූහ.

“කෝ ඉතින් චිත්‍රපටයේ දේවීන්නාන්සේ”

සුරූපී කාන්තාව ඉදිරිය පැමිණියාය.

“මෙතැන බාරකාරයා මේ ඩිංගිරි බණ්ඩායි. “ඩිංගිරි බණ්ඩෝ” මේ ගෑනු ළමයාගේ නළලට තිලකයක් තියන්න.

ඩිංගිරි බණ්ඩා ද කෝල සිතින් යුතුව තමා අත රැඳි අත්තන අඳුනින් සුරූපිනියගේ නළලට තිලකයක් තැබිණි.

ඇය වහාම දේව මන්දරය දෙසට දිව ගියාය. පිරිස ද ඇය පසුපසම ගියහ. ඇය දේව පිළිම පාමුල දණ්ඩ නමස්කාර කළාය.

මේ මහත්වරු ආවේ. යහපත් වැඩකට හා .හා...... කියා මුලපුරන්නනේ.

‘මම සූනියං දෙවියන්ගේ ආශිර්වාදය අරගෙන දෙන්නම්කෝ.”

හිමියන් යළි මන්ත්‍ර ජීවම් කරන්නට විය. දේව මන්දිරයේ පහන් ආලෝකය ක්‍රමයෙන් වැඩිවී ඒකාලෝක විය. මුළු මන්දිරයම ප්‍රභාෂ්වර විය. චිත්‍රපටයේ සියලු රූගත කිරීම් අවසන් විය. දිනපතා ඩිංගිරි බණ්ඩා ද ඇයට සහාය විය. රූමතිය කොණ්ඩදෙණිය පන්සල අසලම ලැඟුම් ගත්තාය.

මේ කතාව පැවසු වත්මන් විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් පවසා වදාළේ “එදා වශී ගුරුකම් කළේ හිත ගන්න අද දික්කසාද නතර කරන්නයි ගිය ඈයෝ ගෙන්නාගන්නයි ඔන්න මහත්තයෝ කාලේ වෙනස” යනුවෙනි.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.