පෙරමඟ නිමිති

පෙබරවාරි 9, 2024


මනු ලොව පහළ වන්නට පෙර තිලොව ගුරු
සිව් වේදයේ දැනුමෙන් ලොව පුදුම කෙරු
ලොව ගැන උගත් රුසිවරු දෝසතෙහි සුරු
දැක්වූ නිමිති පෙර මඟ සුබ අසුබ යුරු

අප හට නොතේරෙන දේවල් ලොවෙහි මෙම
කොපමණ ඇද්ද? වැඩි විස්තර කියනු කිම
සැඟවුණ නියම තතු නොම දත් පළියටම
එය ගැරහීම යුතු නැති බව කියමි මම

ගමනක් යද්දි දුටු දේවල් අතර මඟ
සලකා බලන විට බාධක යෙදුණ වග
කරුණක් කියමි වැඩි විවරණ මොටද? දිග
අත් දුටු සිද්ධි මා වෙත නම් නොමැත හිඟ

සුත, මුත, දිට්ඨි දෑ මංගල කරුණු යුර
තිබුණා දඹදිවෙහි බුදු සමයටද පෙර
දහමට අනුව එය මිස දිටුවකට බර
වුණ මුත් එමත ඇත ඇතැමුන් අතර තුර

සුදු මල්, සුවඳ මුදු මඳනල මියුරු අඹ
සේසත් සුදු සෙමර කළගෙඩි පිරුණ අඹ
ඔද වැඩි ඇතුන්, තරුණඟනන් දකිනු ලැබ
යෙදුණොත් යෙහෙකි ගමනට මෙම ලකුණු සුබ

ඇඳබැඳ ලස්සනට සුබ ගමනක් යන වා
කිසියම් දුසිල් මහණෙක් මඟ හමු වෙනවා
ඔහු හට පලක් ගමනින් නොම සිදු වෙනවා
මැසිවිලි කියා සමහරු ආපසු යන වා

කළු රෙදි ඇඳන් ආවොත් පෙරමුණට ඔබේ
වැරහැලි ඇඳි මැහැලියන් දුටු විටදි ඉබේ
ගමනින් පලක් වේයයි නොම සිතනු ලැබේ
පැටලී යාවි නොසිතූ ලෙස නොයෙක හබේ

යොන් දත, හිස් බඳුන, ගින්දර මඟදි දැක
යන්නට එපා විඳිනට වෙයි නොයෙක දුක
පෙන්වා දී තිබේ සලකුණු අසුබ නෙක
පින්වත හොඳයි මෙය සිහියට ගන්න එක



ඡ්‍යොතිෂ ඉඳුවර, කිවිපති
අමුවල අමරසේන


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.