සිරිපා රකිනා සමන් දෙවිඳු සැබැවින්ම කවුරුන්ද?

ජනවාරි 12, 2024

සමනොළ සිරිපා හා අතිශයින් බැදි සමන් දෙවිඳු ශ්‍රී පාද වන්දනා සමයේ කා හටත් සිහියට නැඟෙන්නේය.

සිව් වරම් දෙවි

මෙරට ඇතැම් දෙවිවරු ප්‍රාදේශිකය. එහෙත් සමන් දෙවි සබරගමු පළාතේ පමණක් නොව ප්‍රාදේශීය මායිම් ඉක්මවූ සමස්ත ලක් ජනතාවගේ ගෞරව ඇදහිලි පුද පූජා ලබන්නෙකි. බුදු සසුනේ ධ්‍රතරාෂ්ට, විරූඪ, විරූපාස්ඨ, වෛශ්‍රවණ සිව්වරම් දෙවිවරු වෙති. විෂ්ණු ( දෙවිනුවර) විභීෂණ (කැලණිය) ස්කන්ධ කුමාර (කතරගම) සමන් (සබරගමුව) යන සිව්වරම් දෙවිවරුන්ටද මෙරට වාසින් අතර සැලකීම වෙයි. මේ සිව්වරම් දෙවිඳුන් අතර සබරගමු වාසීහු සමන් දෙවිඳුන්ට වැදගත් තැනක් දෙති. සබරගමුව සමන්දෙවි අඩවිය ලෙස ව්‍යවහාර වෙයි. වදන් කවිපොතේ... සිද්ද කිහිරැලි සමන් බොක්සල්

විභීෂණ සිවුවරම් රජ නීති” යනුවෙන් සඳහන්ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝද මනමේ නාටකයේ පත් මෙ මුරුන් වන විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ දෙවි සරණ යනුවෙන් සිව්වරම් දෙවි ගණයේ සමන ්දෙවිඳුන් දක්වති. (මනමේ නාට්‍යය)

සමන් දෙවි කවරහුද?

තිලෝගුරු බුදුහිමි මහියංගණ බිමට වැඩ යක්ෂයන් දමනය කරති. එහි රැස්වූ සමන්දෙවි ඇතුළු බූමාටු දෙවිවරුනට දහම් දෙසතිසෝවාන් වූ සමන්දෙවි වැඳ පුදා ගැනීමට බුදු හිමියන්ගෙන් වස්තුවක් ඉල්ලයි. බුදුහිමි හිස පිරිමැද කේශධාතු මිටක් දෙති. සමන් දෙවිඳාණෝ එම කේශධාතු රන් කරඬුවක බහා බුදු පා පහස ලත් මුල්ම ස්ථානය වූ මහියංගණ බිමෙහි සත්රියන් උසැති නීල මාණික්‍යමය දාගැබක නිදන්කොට වන්දනාමාන කළහ. ඒ ඔබ අප වඳින මහියංගණ දාගැබයි.

සුමන සමනළ කන්දට අධිපති ප්‍රාදේශීය නායකයෙකි. පසුව ප්‍රාදේශීය දෙවියෙකු වශයෙන් ජනප්‍රසාදයට ගෞරවයට ලක්විය. සුමන දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුහිමියන් විසින් සමනොළ ගිරි සිරිපා පිහිටුවීමෙන් වඩාත් වැදගත් වන්නට විය. සම්බුද්ධ ශාසනය රැකීමට භාරගත් දෙවියන් ලෙස සමන් දෙවි සැලකෙන්නට විය.

සුද්ද ලෙසින් නිති ගත බබලන් නේ

සුද්ද ඇතා පිට වද වැඩ ඉන් නේ

බුද්ද සාසනේ දියුණූු කරන් නේ

සුද්ද සමන් දෙවියෝය වඩින් නේ

 

ඇතැම්හු සමන් දෙව් දක්වන්නේ බුදුහිමි මෙහි වැඩම කරන ගමනේදී මෙහි පැමිණ නතර වූ සැදැහැතියෙක් බවටය. මහායානිකයන්ගේ අදහස සුමන දෙවි රජ යනු සමන්තභද්‍ර බෝධි සත්වයින් බවය. සමන්තභද්‍ර බෝධිසත්වයන්ට මෙන් සුමන දෙවියන්ට ද ඇත්වාහනයක් ඇත. දෙදෙනාගේ මුද්‍රාවද සමානය. තවත් අදහසක් රාම රාවනා කතාව හා සම්බන්ධව එයි. රාම කුමාරයා ලංකාව ආක්‍රමණය කොට සිට රටට යද්දි සොහොයුරු ලක්ෂ්මනට සබරගමු පෙදෙස පවරා දුන් බවත් පසු කල අභාවයෙන් පසු මහානුභාවසම්පන්න දේවතාවකුව ඉපිද සමන්තකූට පර්වතයට අධිගෘහිතව සුමන දෙවි නම් වූයේ ඔහු බවත් කියැවෙයි. මෙය හින්දු දෙවියන්ගේ බලය ශ්‍රී ලංකික දෙවිවරුන්ට ආරෝපණය කරන්නට යාමෙන් ඇති වූවකි.

සමනොළ ගිර

සමන් සුරිදුන්ගේ සමනොළ ගිර පෙදෙස අතිරමණීයයි. වන මෘග පක්ෂීන්ට නෘත්‍ය මණ්ඩපයක් ගායනා කරන්නවුනට ගී මණ්ඩපයක් සා පිපාසා සන්සිදුවන ආපාන භූමියක් යනාදී නොයෙක් ලෙසින් සමන්කුළු නයනාභි රමණීයත්වය දර්ශනීයත්වය “සමන්තකූට වර්ණනා” ආදි පොත පතෙහි මෙන්ම අපේ සාමාන්‍ය ගැමිජනයාද පණ්ඩිත ජනයාද දෙස් විදෙස් ආගන්තුක දේශටකයෝද දුටු බැව් සඳහන්ය.

“ලංකාවට අධිපති පර්වත මුදු නේ”

“මෙකඳු තුනට නායක සමනොළ කන්ද”

මහත් අභිරුචියෙන් වරුණ සමන්ගිර ආගමික කරුණු නිසාම පමණක් නොව රට සරු කරමින් සතර දෙසට ගලන ගංගාවන්ගේ ප්‍රභාවය නිසාද වැදගත් බව යනාදී බොහෝ දෑ ජනකවියා දකියි.

සියලු බුදුවරු සමනළ ගිර පා තැබූ බව ජනකවියා කියයි.

“ඔක්කොම මුණි බුදු ලොවට සමනළ ගල පිටටවැඩිය

දක්නට සිරිපාද එබූ අණසක මිහි දෙරණ තලය”

සමනළ ගිර අධිගෘහිත සමන්දෙවිඳු ගැන ජනකවියා මෙසේ දකියි.

සමන්තකූට පර්වතයක සාසනභාරව සිටි නෙක

සවන්පුරා අසන බණක රකින සීලෙ සිල්මහිමෙක

අතින් දරන පත් කුඩයක නාගුණවැල්නිතර අතක

සමන් දෙවිදු යන උතුමෙක දෙවොල් යකුට බලපෑමෙක

යනාදී ලෙසින් සමන්තකූට පර්වතයත් ශාසනයත් භාරව සුරකින, පත්කුඩයට නවගුණවැල ගෙන සිල් රකින සමන් දෙවිදුන් දකියි.

සමන් දෙවිදු සමනල කන්දේ අධිගෘහිත දෙවි නිසා පෙර සිටම ජනතාව සමනළ වැදුම්පිදුම් බව පෙනේ. මහාචර්ය සෙනරත් පරණවිතාන සූරිහු සිරිපා ආර්ය ජනතාව ඉතා ඈත කාලයේ සිට ඇදහූ දෙවිවරුන් අතර ඉතා සැලකිය යුත්තෙක් වන යම රජු සමන් දෙවියන් බව පවසති. සංස්කෘත බසේ යම රජුට සමන් යයි කියත්. සිංහල බසට එය “සමන්” ලෙස පෙරළී ඇත. යම රජු කරුණාවට අධිපති බව නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් වෙයි. ශ්‍රී පාද වදින්නන් අදත් ‘කරුණාවයි’ හඬ නගමින් යන්නේ ඒ නිසාය. යනාදී ලෙසින් දක්වති.

වාහනය

සමන් දෙවිඳුන්ගේ වාහනය සුදු ඇතෙකි.

 

“සුද්ද ඇතා පිටවද වැඩ ඉන්නේ

නිතින වඩින හෙළ ඇතු වාහන දුල”

ආදි වශයෙන් කියැවේ. සමනළ ගිර ප්‍රදේශයේ සුදු ඇතෙක් සැරිසරන බවක්ද ජනතා විශ්වාසයයි.

දෙවි පිහිට

සිරිපා කන්ද අසල සමන්දෙවි උයන ඇතැයිද සිරිපා වන්දනාවේ ගොස් පාරතොට මඟ හැරී ගිය වුන් සමන් දෙවි පිහිටෙන් මේ ස්ථානය වෙත ළඟාවන බවත් ඒ මත ඔවුන්ගේ සොයා ගැනීම සිදුවන බවත් ජනසමාජයේ විශ්වාසය පවතී.

සිරිපා වැඳුම සඳහා සමන්දෙවි පිහිට අවශ්‍ය වන බව ජන විශ්වාසයයි.

‘කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි.’

‘සමන් දෙවිඳුනේ අප රැක දෙන්නේ’

 

‘සමන් දෙවි බලෙන් සිරිපතුල වැද වරෙන්’

 

‘ඉහළ නගින මේ අයියට සුමන සමන් දෙවි පිහිටයි’

‘පහළ බසින මේ නංගිට සුමන සමන් දෙවි පිහිටයි’

කළුගඟේ ඔරුපාරු යන්නේද සමන් දෙවිඳුන්ට පුද පඬුරු දී වැද පුදාගෙන ආරක්ෂාව මතයි.

ගමන් යන්ට නැකතින් පාරු පැද ගෙ න

සමන් දෙවියන්ට පුද පඬු ද ගෙ න

යුද ගිනි නිවා සාමය සමන් දෙවියන්ගෙන් ඉල්ලයි. “සිද්ද සමන්දෙවි යුද්දෙ නිමාකර දුප්පත් සෙනඟගේ ගිනි නිවනා

දරුවන් නැති මව්වරු සමන් දෙවිඳුගෙන් පිහිට ඉල්ලයි.

“පුතෙකු නැතිව මට අඩිය කොහින්ද

පුතෙකු දෙවන් මට සමන් සුරන්ද

 

කරනු ලබන සියලු පින් සමත් දෙවියන්ට අනුමෝදන් කරති.

“සුමන සමන් දෙවියෝ පින් ගන්නයි”

“සමන් දෙවියො පින් ගන්නේ වැඩලා”

 

සමනළ සිරිපා බුදුහිමි පිහිටවනු ලබන්නේ බුදුහිමි කැලණියට වැඩි අවස්ථාවේ සමන් දෙව්දුන් කළ ඇරියුම පරිදි සමනොළ වඩිමිනි.

“ඇවිදින් බැහැ දැක වදිමින් විදිය ර

සුරදුන් ඒ සුමන ඇයදුම් පිළිගැන

“ඉන්දා දින වඩමින්දා සමනොළ

බැන්දා මග තබමින්දා සිරිපද

 

සමන් දෙවියන් පිළිබඳ අතිශය වැදගත්ම සිද්ධිය සිරිපා පිහිටුවීම පිළබඳ කතා පුවතය.

සමන් දෙවොල

සමන්දෙවි ගැන කරන කවරම සඳහනකදී වුවද දෙවිඳුන් වැඩ සිටින ස්ථානය ගැන බිදක් හෝ දැක්වීම වටී.

සමන් දෙවිඳුන් වැඩ සිටිනුයේ රත්නපුර මහ සමන් දේවාලයේය. සබරගමු මහ සමන් දේවාලය නමින් චිර ප්‍රසිද්ධ මේ දේවාලයට ජනතාව තුළ ඇත්තේ මහත් ගෞරවයකි. භක්තියකි. ප්‍රධාන ස්ථානය මේ වුවත් ලක්දිව පුරා නොයෙක් ස්ථානයන්හි සමන් දේවාල වන්නේය.

 

හෙළ මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු මාලිගාව

රෑ දාවල් එළිය ඇතුව රන්කොත් බබළන සුබා ව

බිම්බරකට සෙනඟ ඇවිත් සෑදෙව් උළු මාලිගාව

මුළු රටටම පාරට්ටුයි සබරගමුවෙ මාලිගාව

 

“දුම්බරකින් සෙනග ඇවිත් රුවට කෙරුව මාලිගාව

ලංකාවට තිලකයක්ය සබරගමුවෙ මාලිගාව

සමන්දේවාලයේ අභිමානවත් විශිෂ්ටත්වය පෙන්වයි.

ආර්ය කාමදේව නම් ඇමතිවරයෙක් මැණික් ගැරීමට සමන් දෙවිදුන්ගේ පිහිට ඉල්ලා භාරවූ බවත් ඒ ඉටුවීමෙන් කැකිරි ගෙඩියක තරම් විශාල මැණිකක් ලද බවත් ඒ වෙනුවෙන් භාරය ඔප්පු කිරීම මේ මහ සමන් දේවාලය ඉදි කල බවත් කියැවේ. (පූජා භාණ්ඩ ඇති පෙදෙසින් දේවාලයට පිවිසෙන කළ පවත්නා පුවරුවේ මේ තොරතුරුද සහිතව දේවාලය ගැන තොරතුරු ඔබට දත හැකිය. තෙමහල් මේ දේවාල මන්දිරයේ වැලිමළුව පසුකොට පියගැට පෙළ නැගි කළ පැහැදිලි අහස ඇති කල ශ්‍රීපාදස්තානය දක්නට ලැබෙයි. ප්‍රධාන ශාලාවේ බිත්ති පැරණි බිතුසිතුවමින් යුක්තය. දකුණු පය බුදුමැදුරට වම්පස පත්තිනි දෙවොල හා ඉදිරියෙන් චෛත්‍ය කොටසක් බෝධීන් වහන්සේ වැලිමළුවේ වම්පසට වන්නට වෙයි. දේවාල ශාලාවේ එක් පසෙක ලියලනගලක් වේ. පූජා භාණ්ඩ භාර ගන්නා ස්ථානයට ඇතුළතින් සමන්දෙවි මැදුරය. සැබැවින්ම ලංකාවට සුවිශේෂි සබරගමු මහා සමන් දේවාලය කරා එන බැතිමතුන්ගේ ප්‍රමාණය අති විශාලය.

සමන්දෙවි පිළිබඳ වාර්ෂික මහා පෙරහර පූජෝත්සවය රත්නපුර මහා සමන් දේවාලය ඉහළින්ම පවත්වයි. අති උත්කර්ෂවත් සබරගමු මහා සමන් දේවාල පෙරහැරේ ඇත්රජා ජන කවියාගේ මහත් අභිරුචි වර්ණනාවට ලක්වෙයි.

“සින්දුව කීවට වස් නැත දෙවියනි සබරගමුව දේවාල ඇතා

සබරගමු ප්‍රදේශවාසින් හා පමණක් නොව සමස්ත ශ්‍රී ලංකේය ජන සමාජය හා බැඳී සිටින සෝවාන් සමන් සුරිඳු සම්‍යක් දෘෂ්ටික බෞද්ධ දෙවියෙකු ලෙසින් කාගේත් පුද පූජා බහුමානයට ලක්වෙති.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.