ඡ්‍යොතිෂයෙන් ගෞරවණීය සේවයක් සමාජයට ඉටු කරන ශාස්ත්‍රඥයා මහතුං ජාතුංග

දෙසැම්බර් 22, 2023

පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත්, ලේඛනයත් ඔහුගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. තම දිවියෙන් වැඩි කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සමඟ ගත කිරීමට ඔහු සැබෑම වාසනාවන්තයකු වූයේය. දැනුදු ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය කටයුතුවල නියැළී සිටින්නේ සැබෑ සතුටකිනි. සැබෑ ශාස්ත්‍රීය ගවේෂණයකිනි.

සුබසෙත ඇතුළු ඡ්‍යොතිෂය පුවත්පත් රැසකට විවිධ ඡ්‍යොතිෂ්‍ය ලිපි සපයමින් ඔහු හැකි සෑම විටම සමාජයේ සුබසිද්ධිය උදෙසා ඡ්‍යොතිෂවේදය මෙහෙයවන්නේ අපූර්වත්වයෙන් යුතුවය. මහතුන් ජාතුංග ලෙස රටපුරා ප්‍රසිද්ධියට පත් මේ ඡ්‍යොතිෂවේදියා ඡ්‍යොතිෂවේදියකු, ඡ්‍යොතිෂ ගුරුවරයකු ලෙස බොහෝ දෙනකුට මඟ පෙන්වූ චරිතයක් ලෙස හැඳින්විය හැකිය. මේ ලියැවෙන්නේ මහතුන් ජාතුංග නම් ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියා පිළිබඳවය.

 

උපත

ඉඳිකැටිය කිරම ගම්මානයේ උපත ලද මහතුන් ජාතුංග මහතා තම කුඩා අවදිය පිළිබඳ මෙලෙස මතකය අවදි කරන්නේය.

මම උපන්නේ 1946 මාර්තු විසිඑක් වැනිදා ඉඳිකැටිය කිරම දී. මගේ මව මද්දුමගේ රොසලිනා හාමි. පියා ජාතුංගගේ චාර්ලිස්. මගේ මවයි පියයි දෙදෙනාම ගොවිතැන්බත් තමයි කළේ. රැකියාවක් කළේ නැහැ. අපි සැබෑම ගැමියො. මට මතකයි පුංචිකාලෙ ඉඳලම තාත්තා හරියට සිරිතට විරිතට වැඩ කළා. අපිත් එයට හුරු වුණා. මමත් ඇතුළුව මගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනයි. මම තමයි පවුලේ වැඩිමහල් දරුවා. ඉතින් මගේ කුඩා අවදිය අම්මටත් තාත්තටත් ළඟින්ම ඉඳිමින් ගෙවා දමන්නට මට හැකි වුණා. ඒ ළමා කාලය අතිශය සුන්දර අවදියක්.

 

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සිදුකරන්නට මට සැලසුණේ නිවෙසේ සිටිය දීමයි. කිරම ධර්මානන්ද විද්‍යාලයේ ගුරුවරු නිවෙසට පැමිණ මට අධ්‍යාපනය ලබා දුන්නා. මම ඉගෙනගන්න කොච්චර දක්ෂ වුණාද කිව්වොත් වයස අවුරුදු 12,15 වන විට සාමාන්‍යපෙළ ගණිත පොත තනියම හදන්න පුළුවන් තත්ත්වයට මට අධ්‍යාපන කුසලතාවය පිහිටා තිබුණා. ඕන ලිපියක්, රචනයක් ලියන්නට පුළුවන් තත්ත්වයට පත් වුණා. මම හිතන්නේ එය මම සමාජයෙන් උරුම කරගත් දෙයක්.” අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට සමත් වූ මහතුන් ජාතුංග පවසන්නේ එලෙසිනි.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට එක්වීම

වයස අවුරුදු පහළොව, දාසය වගේ වන විට මම නව යොවුන් වියේ. මේ කාලයේ මගේ හඳහන බැලූ මගේ මුත්තණුවන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ මුල් ආසාව මට ඇති කළා. අපේ පවුලේ දරුවන් හත්දෙනාටම මගේ මුත්තණුවන් අනාවැකි කියනවා. ඇත්තටම ඒ අනාවැකි සැබෑ වෙනවා. මම මේ දේ කුඩා කල සිටම අත් දැක්කා. මටත් හිතුණා මේ විදිහට අනාවැකි කියන්න ඇත්නම් කියලා. මගේ ලග්නය ධනු. කේන්දරයේ ග්‍රහ පිහිටීම් සුබයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නට මගේ මුත්තණුවන් මාව තෝරාගත්තා. ඒ අනුව මම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අත් පොත් තබන්නේ, ලිත්හෝඩිය කියවීමත් සමඟයි.” ජාතුංග මහතා පවසන්නේ, හැඟීම්බර හඬිනි.

ඒ අනුව මගේ මුත්තණුවන් වූ මද්දුමගේ සියදෝරිස් මහතාගේ මඟපෙන්වීම අනුව ‘අ’ යන්නේ සිටම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ක්‍රමානුකූලව හදාරන්නට මම භාග්‍යවත් වූවා. ඒ අනුව ලිත් හෝඩිය, මුහුර්ත චින්තාමනිය, ජාතක රත්නාකාරය, ඡ්‍යොතිෂ අධ්‍යයනය හෙවත් නක්ෂත්‍ර ගුරුවරයා, වරහමිහිරය, ග්‍රහඵල සිද්ධාන්තය, මාරක නියමය, විවාහ විනිශ්චය, පොරොන්දම් විනිශ්චය යනාදි ඡ්‍යොතිෂ ග්‍රන්ථ මම ඉතා ඉක්මණින් කියවා අවබෝධකර ගත්තා. ඒවා ඉතාම තදින් මතක හිටියා. පාඩම් හිටියා. මගේ මුත්තණුවන් ඒ හැකියාව අගය කළා. ඇත්තට මට ඕනෑ වුණේ මේ ශාස්ත්‍රය ප්‍රගුණ කර මුදල් ඉපැයීමට නොවෙයි. මේ ශාස්ත්‍රයේ පලාපල යමකුට කියා ඔවුන්ගේ පැසසුම් මට ලැබෙනවා දකින්න මම හුඟක් සතුටු වුණා. කොහොම හරි අවුරුදු 19 පටන් මම ගමේ ඡ්‍යොතිෂ කටයුතුවල නිරත වූවා. දැන් අවුරුදු හැට ගණනක සිට මම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සමාජයට සේවය කරනවා.

ඒ වගේම සුබසෙත ඇතුළු ඡ්‍යොතිෂ පුවත්පත්, සඟරා රැසකටම ඡ්‍යොතිෂ ලිපි සපයමින් සමාජය දැනුම්වත් කරනවා. එය මම ලද භාග්‍යයක් කියලා කියන්න පුළුවන්.”

1987 වසරේදි එච්. ජයවර්ධන මෙනවිය සමඟ විවාහ දිවියට ඇතුළත් වන මහතුන් ජාතුංග මහතා දයාබර දරුවන් සිව් දෙනකුගේ පියෙකි. තම පියාගේ අඩිපාරේ යමින් ජාතුංග මහතාගේ වැඩිමහල් දියණිය මේ වන විට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට පිය මැන තිබේ. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සෑම ශාස්ත්‍රයකටම වඩා උතුම් බව පවසන ජාතුංග මහතා මේ ශාස්ත්‍රයට පිවිසෙන ආධුනික ඡ්‍යොතිෂවේදීන් වෙත අගනා උපදෙස් ලබා දෙන්නේ මෙලෙසිනි.

“ඇත්තටම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ දෙවියන් දුන් තිළිණයක්. මේ ශාස්ත්‍රය ඔස්සේ අද නොයෙක් අකටයුතුකම් කරන පිරිස් මේ සමාජයේ සිටිනවා. මේ ශාස්ත්‍රය නිවැරැදිව භාවිත කිරීම ආධුනික ඡ්‍යොතිෂවේදින්ගේ යුතුකමක් වගේම වගකීමක්. නැකතක් බලන විට එය නිවැරැදිව සිදු කළ යුතුයි. පලාපල කථනයේදිත් ග්‍රහබලය අනුව එය සිදු කළ යුතුයි. අපෙන් පිහිටක් ලබන්නට එන ජනතාවට අපි සැබෑ ලෙසට පිහිට විය යුතුයි. එසේ වුවහොත් පමණයි මේ ශාස්ත්‍රයේ බලය ඡ්‍යොතිෂවේදියාට පිහිටන්නේ. මේ ගැඹුරු, පින්වත් ශාස්ත්‍රය නිවැරැදිව භාවිත කරන්න කියා මම ඡ්‍යොතිෂවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. එවිට තමයි මේ දියුණු ශාස්ත්‍රය තව තවත් දියුණූු වන්නේ” ජාතුංග මහතා පවසන්නේ මේ ශාස්ත්‍රය තවත් සියවස් දහස් ගණනක් දක්වා දියුණුවෙන් දියුණුවට පත්විය යුතු බවයි.

අද ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට යොමුවී දවස් කීපයකින්ම ඡ්‍යොතිෂ කාර්යාල විවෘත කරන්නට සමහරුන් කටයුතු කරනවා. මේ ශාස්ත්‍රය ගැන ගැඹුරු අවබෝධයක් නොමැතිවම. අපේ කාලයේ එහෙම වුණේ නැහැ. අපි ඡ්‍යොතිෂයට පිවිසෙන විට ලිත් හෝඩියෙන් තමයි පටන් ගත්තේ. ගුරුවයා අපේ හඳහන පරික්ෂා කරලා ඡ්‍යොතිෂය ඉගෙනගන්න පුළුවන්ද බැරිද කියන කාරණය වගේම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට මොහුගෙන් සේවයක් වෙනවාද කියන එක හොයා බැලුවා. ඒ අනුවයි අපි මේ ශාස්ත්‍රය හදාරන්න කටයුතු කළේ. අද එහෙම නැහැ. යෝග්‍යතාවය කෙසේ වෙතත් මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් මේ ක්ෂේත්‍රයට යොමුවන පිරිස වැඩියි. මම කියන්නේ එහෙම මුදල තමාගේ පරමාර්ථය කරගන්න එපා කියලයි. මේ ක්ෂේත්‍රයට පිවිසිලා ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ තිබෙන සැබෑ වටිනාකම සමාජයට ගෙන යන්න කියන දේ මම හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

වසර 77 ක් ජීවන අත්දැකීම් මෙන්ම වසර හැටකට අධික කාලයක් මුළුල්ලේ ඡ්‍යොතිෂ අඹරේ දිදුළන මේ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියාණන්ට අපි දීර්ඝායුෂ පතමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.