ස්ත්‍රී හා පුරුෂ ගෙල පවසන තතු

සැප්තැම්බර් 22, 2023

මිනිස් සිරුරේ ගෙල ද ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවය පෙන්නුම් කරන වැදගත් දේහ ලක්ෂණයකි. සාහිත්‍ය කරුවෝ ස්ත්‍රී රුව වර්ණනයේ දී ගෙල පිළිබඳ වර්ණනා කිරීමට අමතක නොකළහ. අලගියවන්න මුකවෙටි පඬි පවසන රූ සිරි වැනුමේද “තුන් විළිරැදි ගෙලෙ බබලයි හැම දින” යි ලෙස කීහ. ගෙලේ ස්වභාවය සිරුරේ ශෝභමාන තත්ත්වයට හේතුවෙයි.

 

පිරිමි ගෙල

 

පිරිමි පක්ෂයේ ගෙලේ ස්වභාවය ගැන සැකෙවින් බලමු. ඇතැම් පිරිමින්ට මහත් වූ බෙල්ලක් තිබෙනු දැකිය හැකිය. ඔබ ඔහු ගැන විමිසිලිමත් වෙතොත් බොහෝ පොත පත කියවා කිසි විටෙකත් අනුවණයින් ඇසුරු නොකරන, ජන සමාජය පිළිගත් පුද්ගලයන් බව පෙනෙනු ඇත. බොහෝ කරුණු කාරණා දත් බහුශ්‍රැත පුද්ගලයෙකි. පරාර්ථය උතුම් කොට සලකයි. අවශ්‍ය සෑම තන්හිම අන්‍යයන්ට නිසි උපදෙස් දෙයි. අන්‍යයෝද මොහුට අවනත වෙති. අල්පේච්ඡතාවය ඉහළින් සලකන සරල මනුෂ්‍යයෙකි.

කෙටි බෙල්ලක් සහිත පිරිමි ඔබට ඕනෑ තරම් මුණ ගැසී ඇත. මොහු අතන මෙතන ඕපාදූප කේලාම් පවසන කිසිදු ලජ්ජාවකින් තොරව බොරු කීමට පුරුදු කාහටත් අපි‍්‍රය චරිතයකි. ජීවිතය අර්ථවත්ව ගෙනයාමට වුවමනාවක් නැත. නැතහොත් ජීවත් විය යුත්තේ කෙසේද යන්න නොසිතන අයය. කිසිදු තීරණයක් සාර්ථකව ගත හැක්කෙක් නොවේ.

සමහර පිරිමින්ට ඇත්තේ සිහින් ගෙලකි. සෘජු ගතිගුණ ඇති ඔහු ඕනෑම කරුණක් සැලසුම් සහගතව කරගෙන යන්නකි. කළමනාකරණයෙහි දක්ෂ ඔහු නව නිර්මාණයේ දක්ෂයෙකි. උපතින්ම ඔහු තුළ අපූර්ව දක්ෂතා පිහිටියේ ය. බොහෝ පොත පත කියවා මහත් දැනුමක් ලත් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූවෙකි.

වඩා කෙටි නොවූ ද, වඩා මහත් නොවූ ද මධ්‍ය මට්ටමේ බෙල්ලක් ඇති පිරිමි ස්වෝත්සාහය ගැන විශ්වාසය තබත්. ඕනෑම ප්‍රශ්නයකදී අන්‍යයකුගේ පිහිට නොසොයා තමන්ට නිවැරැදිව තීරණ ගනියි. යහපත් භාර්යාවක හා දූ දරුවන් ලැබීමේ වාසනා මහිමය ඇති මොහු තම ශක්තිය මත නිසි ලෙස දිවි මග සරසා ගනියි. ප්‍රබල ආත්ම ශක්තියෙන් යුක්තය. අන්‍යයන්ට ආදර්ශ ගත හැකි අයුරින් ක්‍රියා කරන්නෙකි.

 

ස්ත්‍රිය

 

යම් ස්ත්‍රියකට කෙටි බෙල්ලක් වේ නම් ප්‍රයෝගයෙහි අති දක්ෂ ස්ත්‍රියකි. කේලාම් කියමින් උනුනුන් තරහ මරහ කරමින් සතුටට පත්වන මැය කිසිසේත්, විශ්වාස කළ නොහැකිය. අහිතක් කරන්නට හිතුවොත් තමන්ගේ ළඟම හිතවතියට වුවද ඉතා සූක්ෂ්ම ලෙස කිරීමේ ඇය දක්ෂය. බොරු කාරයෙක්, කේලම් මල්ලක් ලෙස සමාජය විසින් ගර්හාවට ලක්වන ඇය හුදකලා ලෙසින් ජීවත් වෙයි.

යම් ස්ත්‍රියකගේ ගෙල වඩාත් කෙටි නොවූද වඩාත් දික් නොවූද මධ්‍යම ස්වභාවයේ නම් සාර්ථක විවාහ ජීවිතයක ලකුණු පෙන්වන කරුණක චරිතයක් බව කියැවේ. මෙබඳු ස්ත්‍රිය සමාජයේ පිළිගැනුමට ලක්වන අතර, යහපත් දූ දරුවන් ලැබ වාසනාවන්ත ජීවිතයක් ගත කරන චරිත ස්වභාවයක් පෙන්නුම් කරයි.

යම් ස්ත්‍රියකට පිරුණු රවුම් හැඩයෙන් යුත් ගෙලක් වේ නම් එම ස්ත්‍රියට ලැබෙනුයේ ඉතා යහපත් ගුණ ගරුක ස්වාමි පුරුෂයෙකි. වාසනාවන්ත ගති ලක්ෂණ පෙන්වන ඇයගේ විවාහ දිවිය සාර්ථකය.

යම් ස්ත්‍රියකගේ බෙල්ල දික් වූයේ නම් ඇය ඕනෑම සුළු දේකට වුනත් තදින් කෝපවන්නියකි. ඉවසීම ගැන නොදන්නා තරම්ය. හොස්ස ළඟින් මැස්ස යන්න බැරි කේන්ති යන චරිතයකි. කෝපය ඉහ වහා ගොස් රණ්ඩු දබර පටලවා ගනියි.

සමහරවිට ස්ත්‍රියකගේ ගෙල පැතලි ස්වරූපයක් ගත හැකිය. ඉතා අවාසනාවන්ත ලක්ෂණයකි. ඒ ඥානවන්ත බව පෙනෙන නමුදු උත්සාහය මඳය. දුකෙන් පිරුණු මේ ස්ත්‍රියගේ විවාහය පවා බොහෝ ප්‍රමාදව සිදුවනු ඇත.

ඇතැම් ස්ත්‍රියකගේ බෙල්ලෙහි සිහින් ලෙස රේඛා තුනක් දක්නට ඇත. මනාව රවුම් වූ බෙල්ලේ එලෙස පිහිටීම වාසනාවන්ත ස්ත්‍රියක බව පෙන්නුම් කරයි. ඇයට හිමිවන්නේ ඇයට ගැළපෙන යහපත් සැමියෙකි. ජන සමාජයට ඵලදායී දූ දරුවන් ඇයට ලැබේ. කාරුණික, මුදු මොළොක් ගතිගුණවලින් හෙබි මෙම කාන්තාව පවුල් ජීවිතයේ සාර්ථකත්වයට මෙන්ම ඇසුරු කරන්නන්ගේ දිවි මඟ උදෙසා උපදේශිකාවකි. සමාජයේ කාගේත් ගරු සැලකිල්ල මෙවන් දේහ ලක්ෂණ ඇති කාන්තාව ලබයි. යම් ස්ත්‍රියකට උගුරු දණ්ඩ පෙනෙන සිහින් ගෙලක් වේ නම් ඇය අභාග්‍යසම්පන්න අවාසනාවන්ත දිළිඳු බව රජයන ස්ත්‍රියකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.