වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අවතාර හෙවත් හොල්මන් දැක තිබේද?
විශේෂයෙන් මෙවැනි විස්තර ප්‍රසිද්ධියේ ලියන කොට කිසියම් හෝ අත්දැකීමක් සිදු වී තිබෙන්න ඕනෑ බව විශ්වාස කරනවා. මොකද කියනවා නම් මේ වගේ සිදුවීම් අහල තිබිල විතරක් මදි. සාමාන්‍යයෙන් අදෘශ්‍යමාන දේවල් ගැන පරීක්ෂණ කිරීම ඡ්‍යොතිෂවේදියකුගේ ගුප්තවේදියකුගේ යුතුකමක් වුණාට වගකීමක් කියලා කියන්නෙ නැහැ. අනික තමයි මේවා ගැන පරීක්ෂණ කරන්නත් ඕනෑ අපි විතරයි. මොකද අපේ විෂයය නිසා.
හොල්මන් ගැන අවතාර ගැන අපි අහන්න ආසයි. ඒත් දකින්න කැමති නැහැ. ඒ ඔබේ අනවබෝධය නිසා. කිසිම හොල්මනකට ඔබව අනතුරේ දමන්න බැහැ. ඒත් ඔබේ හිතේ ඇතිවන භීතිය නැත්නම් භය නිසා, ඒවා දකින්න කැමැති නැහැ. හොල්මන් දකින්න ඔබ කැමැති නැත්තේ තනිවම. දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු සමඟ නම් බලන්න ආසයි. එතකොට අවතාරය හොල්මන් පෙනෙන්නෙ නැහැ. ඒක ඉස්සෙල්ලම කියන්නම ඕනෑ.
දෘශ්‍යාබාධිත අයට නොපෙනුණත් ඔබට වඩා දේවල් ලෝකය ගැන පෙනෙනවා. මේ ලෝකේ දෘශ්‍යමාන දේවලට වඩා අදෘශ්‍යමාන දේවල් වැඩියි. ඒවා එයාට පෙනෙනවා. දැන් බලන්න සත්තු. ඔබට වඩා කොච්චර දේවල් ඒ අයට තිබෙනවද? මනුෂ්‍යයාට තිබෙන්නෙ මොළය විතරයි. දියුණුව. ඒකත් අපි දියුණු කරගන්ට ඕනෑ. ප්‍රයෝජනය ගන්න නම් යහපත් වැඩ කරන්ට ඕනෑ.
අනවශ්‍ය ශබ්ද නෑසුණා නොවේ. එහෙත් ඒ හොල්මන් හෝ අවතාර නොවෙයි. ඒ ප්‍රේතයා. හොල්මන්වලයි ප්‍රේතයායි සියුම් වෙනස්කම් තිබෙනවා. ප්‍රේතයා අහිංසකයි තමා. ඒත් හොල්මන් ප්‍රේතයාටත් වඩා අහිංසකයි. ප්‍රේතයාව වැඩිපුරම දැකගන්න හැකි වන්නෙ ප්‍රේත තටු දෙනකොටයි. මේ දෙකොට්ඨාසයම ගැන පරීක්ෂණ පවත්වන්න ලංකාවේ අය වැඩිපුරම බයයි. මොකද මේවා පෙනෙන්නෙ තනි තනිව ගියාම විතරයි. මේ එකකින්වත් මනුෂ්‍යයාට හිරිහැර කරන්න බැහැ කිවුවට හිතේ ඇතිවන බය නිසා කවුරුත් යන්නෙ නැහැ. මේවා වැඩිපුරම දර්ශන විතරයි.
හොල්මන් අවතාර ගැන ලංකාවේ පරීක්ෂණ නොකළාට පිටරටවල මේක හොඳ විෂයයක්. 1998- 99 වර්ෂවල ජර්මනියේ කොලොන්ස් කියන ග්‍රාමයේ මේ විෂය වැඩිපුරම පරීක්ෂණයට භාජනය වනවා. මමද මේකට සහභාගි වූ නිසා මෙහි සත්‍යතාවය දන්නවා. බයවෙන්න හොඳ නැහැ. මම දැක්කා මේ ළඟදී මුහුණුපොතේ එක්තරා යුවළක් ඌරුමස් කකා බොරැල්ලෙ කනත්තෙ කළ වැඩක්. ඒක ප්‍රසිද්ධියට මිස මූලික අනවබෝධයෙන් කළ එකක්.
මේ සිද්ධිය වුණේ 1973 වර්ෂයේ කියලයි මට මතක. දකුණු කළුතර උසාවිය ඉදිරිපිට ලොකු ඔරලෝසු කණුව ඉදිරියෙන් පාරක් තිබෙනවා “නෑබඩ” ට යන්න. මේ පාරේ කැඩුණු තැන් හරියට. ඒ දවස්වල ඉතාම පාළුයි. මේ පාරේ එක බස් එකයි වැඩ කළේ. මේ බස්එක නාගොඩ මහ රෝහල ළඟට විතරයි වැඩිපුරම. මොකද එතැනින් එහාට මිනිසුන් නැහැ. රෝහලේ දකුණු පැත්තේ මිනී කාමරය තිබුණු නිසා සවස 6ට පසු මිනිස් ගැවසීමක් නැහැ. නාගොඩ රෝහලට යන්ට තුන්මන් හන්දියෙන් දකුණට බස් එක හැරෙවුවම පාළු වෙල්යාය ඊළඟට හිමිදිරියාමේ සොහොන් කනත්ත, ඊළඟට ජිනානන්ද හාමුදුරුවන්ගේ පන්සල ඊට ඉදිරියෙන් වෙඩි තලාව. මේ වෙඩිතලාව අයිති පොලිස් අභ්‍යාස විද්‍යාලයට. අක්කර සිය ගණනක භූමිය වුණාට ගොඩනැඟිලි තිබුණේ ඉතාම ටිකයි. ඒ දිනවල ඒ නිලධාරීන් රජයේ වාහනයක් පාවිච්චි කළා මිස පයින් ගමන් ගියේ නැහැ. විශේෂයෙන් රාත්‍රී කාලයට.
මේ විද්‍යාලයට ඇතුළු වන හන්දියේ පුංචි කඩ කීපයක් තිබුණා. ඒවත් හවස 6 වන කොට වහනවා. වැඩියේ බඩු නැහැ. බුලත් විට, කමල බීඩි, සෙයියදු බීඩි, සව්බොරො, වගේ දේවල් තමයි තිබුණේ. හැම ගෙදරකම වගේ වී, කුරහන් නම් තිබුණා. ඒ පළාතේ වී ගොවිතැන ජයට කළා. ඉඳලා හිටලා අහුවෙන පොල් හොරෙක්, හරක් හොරෙක් හැරෙන්න වෙන අපරාධ නැහැ. එහෙම වුණොත් නඩුව ඇහැවුවේ ජිනානන්ද හාමුදුරුවෝ. මේ හාමුදුරුවො හරි
ගුරුකම් දන්නවා. දේහ ලක්ෂණවලිනුත් ඒක වැටහෙනවා. උන්වහන්සේ මගේ එක ගුරුවරයෙක්. මට සමහර ගුරුකම් ශාස්ත්‍රය දුන්නෙ මුදලට නොවේ. මම වැඩිපුරම පන්සලේ හිටිය නිසා පන්සලේ ඇබිත්තියා වැඩත් කළා. අපේ අම්මාගේ ගම දකුණු කළුතර නිසා ගම්ගොඩින් මේ පන්සලට ළඟයි. අලුවිහාරේ වෙඩිතලාවෙ වෙඩි පුහුණු දවසට හැම පැත්තටම රතු කොඩි දමනවා. එදාට ළඟ තිබෙන වී වැපිරීම් උදේ වරුව නතර කරනවා.
මේ දවස්වල කිසියම් පුහුණුවක් සඳහා මට මේ විද්‍යාලයට යන්ට වුණා. මමත් සමඟ තව කීපදෙනෙක් හිටියා. මිලිටරි පුහුණුවක්. අපි උදෙන්ම අලුයම 4ට උදේ ආහාරය ගන්නවා. පාන්, පරිප්පු, මස් හෝ මාළු කුට්ටියක්. ඒ දවස්වල පරිප්පු පීරිසියේ පරිප්පු ඇට තිබුණා. මොකද දැන් පරිප්පු පීරිසිවල පරිප්පු ඇට පෙනෙන්නවත් නැහැනේ. කෑමෙන් නම් එදා අඩුවක් තිබුණේ නැහැ. හවස 4 වෙනකං, ඉගෙනීමේ කටයුතු පිහිනීම් වෙඩි තැබීම්, සරඹ වැනි දේ කළා. ඔය අතර තුර තමුන්ගේ නිවාසය මුරකර ගැනීමත්, ඉඳ හිටල වෙනත් ස්ථානයක් මුරකරන්නත් සිදු වුණා. ඒ රාත්‍රී 9 සිට අලුයම වනකං. දවසක් මඟුල් මඩුව ස්ථානයේ රාත්‍රී මුරය මට කරන්න සිදු වුණා. වෙලාව රාත්‍රී 12.10 යි. ඒ අතර එක්තරා මාවතක කාකි ඇඳුමෙන් සැරසී එක් නිලධාරියෙක් 303 රයිපල් වර්ගයේ තුවක්කුවක් කර තියාගෙන සරඹ කරනවා. විශේෂය තමයි මේ නිලධාරියාගේ බෙල්ලෙන් උඩ හිස කොටස නැහැ. බෙල්ල නැති හොල්මනක් මේ රාත්‍රියේ සරඹ කරනවා. කාටද බය නොසිතෙන්නේ. ටිකක් බය වුණා තමයි. ඒත් ඒක පෙන්නුවොත් දඬුවමක් නියමයි. මගේ ඇඟේ හීන් දාඩිය දමනවා වගේ දැනුණා. කතා කරන්න කට වේළිලා. ඒත් මේ රෑ කාට කතා කරන්නද? කොහොම හරි දෙවරක් සරඹ කරල මේකා කැලේ පැත්තට නොපෙනී ගියා.
පසුවදා මේ දර්ශනය උසස් නිලධාරියකුට සැලකළා. කිසියම් විස්තරයක් දැනගැනීමේ ආශාවෙන්. නමුත් ඔහුගේ පිළිතුර වූයේ ‘හූම්’ කියන එක විතරයි. පසුවදා මම මේ සිද්ධිය පන්සලට ගිය වෙලාවට හාමුදුරුවන්ට කිවුවා. සිදු වූ දුටු හැම විස්තරයක්ම නායක හාමුදුරුවන්ට කිවුවා. එවිට උන්වහන්සේ තමයි මට කිවුවේ, ඒක එක්තරා අවතාරයක් බවත් සමහර දිනවලට සමහරුන්ට පෙනෙන්න එන බවත්. නමුත් එදා වනතුරු කාටවත් කිසිම හිරිහැරයක් වෙලා නැති බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා. බලාගෙන යන කොට මට ප්‍රථම කීප දෙනෙක් මේක දැකල තිබුණත් ප්‍රතිඵලය වුණේ නිහඬතාවය බව දැනගත්තා.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී, ගුප්තවේදී,
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න