ජූනි මාසයේ උපන් ඔබ ගැනයි...

අගෝස්තු 25, 2023

පසුගිය සතියේ ඕනෑම වර්ෂයක මැයි මාසයේ උපන් අයගේ ජිවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර අද අපි ජුනි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු. මැයි මාසයේ 21 න් පසු 26 දක්වා

වෘෂභ රාශියේ බලය කෙමෙන් අඩුවන අතර මිථුන රාශීයේ බලය කෙමෙන් වැඩි වේ.

මැයි මාසයේ 26 සිට බුධගේ ගේ බලය ජුනි 21 දින දක්වා උපරිම බලයෙන් ක්‍රියාත්මක වන අතර ජුනි 21 න් පසු මිථුනයේ බලය අඩුවෙමින් කටකයේ බලය වැඩිවෙමින් ගමන් කරයි. ජුනි මාසය වායු තිවංකයට අයිති වන අතර බුධගේ බලය ක්‍රියාත්මක වේ.

ජුනි මාසයේ උපන් පුද්ගලයන් ඉතාම සිත් ගන්නා පෞරුෂයක් හිමි අයවේ. එම නිසාම ඔවුන් යටතේ සිටින්නන් ඔවුන්ව අනුගමනය කිරිම සිදුකරනු ලැබේ. සමාජයට වඩාත් ප්‍රියමනාපය.මානසික වශයෙන් ඉතාම වේගවත් පුද්ගලයන් මොවුන්ය. එම වේගවත් බව නිසා මනසින් කරන සියලු කාර්යන්හිදි ඔවුන් අනිත් සියල්ලන්ම පැරදවීමට තරම් දක්ෂය. ජුනි මාසයේ කණ්ඩායම් දෙකක් සිටිති. එක කණ්ඩායමක් මුදල් ඉපයීම සඳහා ඉතාම දක්ෂ පුද්ගලයන් වන අතර ඔවුන් සූදුව කොටස් වෙළෙදපොළ වැනි ස්ථානවල ඉතා දක්ෂ පුද්ගලයන් වේ. තව පිරිසක් පුද්ගලයන් සමඟ සම්මුඛ පරීක්ෂණ, සාකච්ජා වැනි දෙයින් දෙපාර්ශ්වයේම අදහස් මැන බලමින් තමාගේ මනස ජයග්‍රහණය කරවීමට උත්සහ ගන්නා පුද්ගලයින් වේ.

මේ මාසයේ උපන් පුද්ගලයන්ගේ සැලසුම් හෝ අදහස් වල එක දිගට ස්ථාවර පවතින්නේ නැත. එසේ ස්ථාවරව පවතින්නේ නම් ඒ සඳහා වෙන යම් අරමුණක් එකට ගැට ගැසී තිබිය යුතුය. නොඑසේ නම් ඉතා ඉක්මනින් සැලසුම් සහ අදහස් වෙනස් වේ. එහෙත් ඔවුන් ට ඔවුන් පෙනෙන්නේ ස්ථාවර හා විශ්වාසී පුද්ගලයන් ලෙසිනි. එසේම ඕනෑම ගැටලුවක් කැබලිවලට බිඳ දමා කරුණු විශ්ලේෂණය කොට අනිත් අයට පෙන්වීමට දක්ෂය. නොඑසේ නම් එතැන ගැටලුවක් නොමැති බව හෝ පෙන්වීමට තරම් සූක්ෂ්ම වේ.

ජුනි මාසයේ පුද්ගලයන්ට ඉතා හොඳින් ආදරය කළ හැකි අතර ඒ වගේම ක්ෂණිකව ඔහුට හෝ ඇයට ද්‍රෝහි වීමටද පුළුවන. එහි දි පූර්ණව ඇය හෝ ඔහු පූර්ණව අමතක කිරීමේ හැකියාවක් මොවුන් සතුය. ඔවුන්ගේ මනසෙහි පවතින ද්විත්ව ස්වභාවය නිසා නිරතුරුවම නිවාස දෙකක් තබාගන්නා අතර එක් නිවසක් වසන් කර තබා ගැනීමටද හැකියාව ඇත. මොවුන්ට යහළුවන් බොහෝ ඇති අතර තමා සිටින ඉදිරියේ පුද්ගලයා හොඳම යහළුවා පරිදි හැඟවෙන ආකාරයට කතා කිරීමට ක්‍රියා කිරීමටද දක්ෂය. එහෙත් එම පුද්ගලයා ඉවත්ව ගිය පසු ඔහුව මනසේ තබා ගන්නේ නැත. සංචාරයට ජුනි මස උපන් පුද්ගලයින් ඉතාම කැමැතිය. ඒ වගේම ඉතාම වේගයෙන් රිය පැදවීමට වගේම වේගවත් වැඩ සඳහාත් ඉතාම ප්‍රිය වේ. ඒ වගේම මොවුන්ගේ දුර්වලතාවයක් වන්නේ ජයග්‍රහණය පෙනි පෙනී සමහර කටයුතු අතහරු දැමීමයි. යම් ජයග්‍රාහී අරමුණක ක්‍රියාත්මක වී සාර්ථකත්වය ඉතා ආසන්නයේ දි එය අතහැර දමන අවස්ථා බොහෝය. එලෙසම තමන්ට හිමි තනතුරු පවා අතහැර යයි. එය මිථුන රාශියේ බුධගේ ස්වභාවය වේ.

ජුනි මාසයේ පුද්ගලයන් ආර්ථිකය ගොඩනඟා ගන්නේ බොහෝ විට මනස මෙහෙයවා කරන කටයුතුවලනි. එය බොහෝ දුරට විද්‍යාව කලාව සාහිත්‍යය සංගීතය හෝ මනස මෙහෙයවා කරන ඕනෑම ශාස්ත්‍රීය කටයුත්තක් විය හැකිය. නමුත් තමන්ගේ අරමුණ මුදල් එකතු කිරීමේ පැත්තට යොමුවන්නේ නම් ඉක්මනින් මුදල් සෙවීම සඳහා සූදුව ඔට්ටු දැමිම වැනි අංශයන් කෙරෙහි වැඩි නැඹුරු තාවයක් පෙන්නුම් කරයි.

ජුනි මාසයේ පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකීමේදි මනස ගැන කතා කිරීම ඉතාම වැදගත් වේ. මනස සතුටින් නම් පුද්ගලයා නීරෝගි වේ. ජුනි මාසයේ උත්පත්තීන් සඳහා ශක්තිමත් ශරීරයක් හිමිවන්නේ නැත. වේගයෙන් වැඩකිරීම හේතුවෙන් ඉක්මනින් ශරිර ශක්තිය ක්ෂයවේ. නැවත ක්‍රියාත්මක වීමට නම් හොඳ නින්දක් වගේම හොඳ විවේකයක් අවශ්‍ය වේ. ස්නායු සම්බන්ධ රෝගාබාධයන් ගොත ගැසීම පෙනහලු දුර්වල වීම්, චර්ම රෝග, රුධිරගත අසනීප සහ නිවුමෝනියා තත්ත්වයන් සැදීමේ වැඩි ඉඩකඩක් පවතී.

මේ මස උපන් පුද්ගලයන්ට විවාහ සහ හවුල් ව්‍යාපාර සාර්ථක වන්නේ ඉතාම කලාතුරකිනි. එම නිසා වායු තිවංකයෙන්ම විවාහය සිදුවිය යුතුය. කරුණු එසේ වෙතත් විවාහයට සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව වායු තිවංකයට අයත් සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 21 අයවලුන් සහ ජනවාරි 21 සිට පෙබරවාරි 19 දක්වාද මැයි 21 සිට ජුනි 21 දක්වා උපන් අයද වේ. තවද සප්තමයෙන් නොවැම්බර් 21 සිට දෙසැම්බර් 21දක්වා අයවලුන්ද සුදුසුය.

හිටපු අගමැතිවරු වන ඩඩ්ලි සේනානායක මහතා, දි. මු. ජයරත්න මහතා සහ හිටපු ජනාධිපතිවරු වන ගෝඨාභය රාජපක්ෂ මහතා, රණසිංහ ප්‍රේමදාස මහතාද ජුනි මාසයේ උත්පත්තිය ලැබීම විශේෂත්වයකි. එසේම ජයලත් මමෝරත්න, ජෝ අබේවික්‍රම, අයිරාංගනි සේරසිංහ, රොබින් ප්‍රනාන්දු වැනි කලාකරුවන් රැසක්ද ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, කසුන් රාජිත වැනි ක්‍රිකට් ක්‍රිඩකයින් රැසක්ද ජුනි මාසයේ උපත් සඳහා හිමිකම් කියයි.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.