වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඡ්‍යොතිෂයෙන් සෙත් කවියෙන් දැනුම බෙදූ කතුවරයා
‘ඡ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂයය කිසිදු ආගමකට අයත් නැති හේතුඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකිය. ප්‍රකට විද්‍යාඥයන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස්වන සුලුය. එහෙත් ඡ්‍යොතිෂයේ ගැඹුරු සිද්ධාන්ත එදා මෙන් අදත් නොවෙනස්ව පවතී. ‘ඡ්‍යොතිෂය පිළිබඳ ඔහු එදා තම මතය ගෙනහැර පෑවේ එලෙසිනි. ඡ්‍යොතිෂය පිළිබඳ මනා දැනුමක් ඔහු සතු විය.
1942 මැයි 11 වැනිදා වේරහැර ගම් පියසේ ජන්ම ලාභය ලැබූ ඔහුට නම් තැබුණේ පියදාස පෙරේරා ලෙසයි. පසුකලෙක එනම රටේම ජනප්‍රියත්වයට පත්වන්නේ කවුඩානේ පියදාස පෙරේරා ලෙසයි. ගල්කිස්ස ශ්‍රී පුණ්‍යකාමී පාසලේ උගැනුම ලබන සමයේ සිටම කවියට ලේඛනයට දක්ෂතා දැක්වූ ඔහු අධ්‍යාපනයෙන් පසු හමුදා සේවයට එක් වන්නට වාසනාවන්ත විය. ඒ කාල සීමාවේ ද ලේඛනය අත්නොහැර එහි නිරත වූයේ එයට විශේෂ ඇල්මක් දැක්වූ බැවිනි. අගනුවර තරුණ කවි සමාජයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද සාමාජිකයකු වූ ඔහු හමුදා සේවයෙන් පසුව මාධ්‍ය කලාවට ප්‍රවිශ්ට විය. ඒ අනුව පුවත්පත් කලාවට, කවියට සේම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට මහඟු සේවයක් කළ එයට දැඩි සේ ඇල්ම දැක්වූවකු ලෙස කවුඩානේ පියදාස පෙරේරා මහතා හැඳීන්විය හැකිය. ඔහු විසින් රචනා කරන ලද ඡ්‍යොතිෂ පත පොත බොහෝය. ඒ අතරින්ද නිතර දෙවේලේ සුබසෙත, තරුණි වැනි පුවත්පත්වලට රචනා කරන ලද ඡ්‍යොතිෂ ලිපි රැසකි. ‘ජාතික වීරවරයන්ට බලපෑ ග්‍රහ බලය‘, ‘යුග දිවියයි ග්‍රහබලයයි‘, ‘කාන්තා හඳහන‘ නමින් පල වූ ලිපි කා අතරත් එකල සේම අදටත් ජනප්‍රියය. එලෙසම ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අළලා රචිත පොත් පත් පෙළ ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නන්ට අත්වැලක් වී ඇත. ‘පොරොන්දම් බලන හැටි‘, ‘කේන්දරයක් බලනහැටි‘, ‘නැකැත් හදන හැටි‘, ‘සෙත්කවි කලාව‘ ‘කාන්තා කේන්දරය‘, ඔහුගේ වටිනා ඡ්‍යොතිෂ ග්‍රන්ථ අතුරින් කීපයකි.
මාධ්‍ය කලාවට පිවිසීම
ශ්‍රී ලංකා යුද හමුදාවේ ලිපිකරුවකු ලෙස තම වෘත්තීය ජීවිතය අරැඹූ ඔහු පසු කලෙක ලේක්හවුස් ආයතනයේ සේවයට එක්ව දිනමිණ පුවත්පතේ වාර්තාකරුවකු, විශේෂාංග ලේඛකයකු ලෙස පුවත්පත් කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් හි සැරිසරා එක්දහස් නවසිය අනුව දශකයේ මුල් භාගයේ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේය. ඒ කාලය ඇතුළත ඔහු මාධ්‍යකලාව, කවිය, ශබ්ද විද්‍යාවට සේම ඡ්‍යොතිෂය වෙනුවෙන් කළ දේ බොහෝය.
ඡ්‍යොතිෂයට අත්පොත් තැබීම
කොළඹ යුගයේ ජනප්‍රිය කවියකු වූ ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන්ද පොහොසත් වන්නේ කුඩා කල සිටමය. ඔහුට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ ඇල්ම ඇති වන්නේ කුඩා කලදීය. ඒ පිළිබඳ ඔහු මෙලෙස පුවත්පතකට පවසයි.
‘‘මම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය උගැනුමට පටන් ගත්තේ වයස අවුරුදු පහළොවේදී පමණ සිටයි. එවකට චින්තාමණී සඟරාවේ කතුවරයාව සිටි ඒ. පෙරියප්පෙරුම මහතාගෙන් ඡ්‍යොතිෂය පිළිබඳ මූලික දැනුම ලබාගත්තා. ඉන්පසුව ඡ්‍යොතිෂ පොතපත කියවීමෙන් හා විෂය පිළිබඳ දන්නා අය ඇසුරු කිරීමෙන් ඒ පිළිබඳ දැනුම දියුණු කර ගත්තා. මෙම විෂය පොතපත කියැවීමෙන් පමණක් ඉගෙන ගත හැකි විෂයක් නොවේ. ප්‍රායෝගික වශයෙන් යොදා ගැනීමෙන්මයි මේ විෂය පිළිබඳ දැනුම දියුණු කරගත හැකි වන්නේ. ඉතා ගැඹුරු විෂයයක් වුවත් ක්‍රමාණුකූලව හැදෑරීමෙන් ඉතාම පහසු විෂයක් බවට එය පත්කර ගත හැකියි.‘ යනුවෙනි.
සෙත් කවි කලාව
මෙලෙස පුවත්පත් කලාවේ දශක තුනකට වැඩි කාලයක් නියැළෙමින් සිටි කවුඩානේ පියදාස පෙරේරා ශූරීන් තම මාධ්‍ය ජීවිතයෙන් විශ්‍රාම ලැබුමෙන් පසුවද පුවත්පත්වලට විවිධ ක්‍ෂේත්‍ර අළලා ලිපි සැපයීමටත්, ජ්‍යෙතිෂ කටයුතු කෙරෙහි තව තවත් නැඹුරු වී තම දැනුම ඉදිරි පරපුරට බෙදා දීමටත්, සරල බසින් ඡ්‍යොතිෂ පොතපත ලිවීමටත් කටයුතු කළේය. මේ කාලයේදී තමා දැන සිටි සෙත් කවි කලාව ඔස්සේ රටේ නිවැරැදි සෙත් කවි කලාවක් ගොඩනැඟිම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු කර ඒ වෙනුවෙන් කටයුතු කළේය. එහිදී සමාජය වෙලාගෙන පැවැති ගැටලුවලට සේම මිනිස් සිත් සුවපත් කිරීමට ඔහු තම සෙත් කවිය අවියක් කර ගත්තේය.
රැකියා එපා වූ අයට යළි රැකියාවට යාමට සිත් ඇති කිරීමට, ගෙදරින් අතුරුදන් වූ අය යළි ගෙන්වා දීමට, රෝගාතුරව දැඩි සත්කාර ඒකකවල සිහිසුන්ව සිටින අය යළි සුවපත් කිරීමට ඔහුගේ කවියෙන් සෙත් ශාන්තිය ලබා දෙනු ලැබුවේය. එලෙස අනුනට සෙත් කවියෙන් පිහිට ලබාදුන් ඔහු තමන් තමන්ටම ලියා ගන්නා සෙත් කවියෙන් වැඩක් නැති බව නිතර සිහිපත් කළ කාරණයක් විය. සෙත් කවියට සේම කොළඹ යුගයේ දක්ෂ කවියකු වූ නිසාම කවියාගේ වටිනාකම වටහාගත් ඔහු ජ්‍යෙෂ්ඨ කවීන්ට සම්මාන පිදීමට කටයුතු කළ අතර එවකට ජනාධිපති ධුරය දැරූ ආර්. ප්‍රේමදාස ජනපතිතුමා අතින්ම කවීනට සම්මාන ලබාගැනීමට ද සැලැස්වීය.
කතරගම
දරුවන් තිදෙනකුගේ දයාබර පියකු වූ එතුමා ලේක්හවුස් ආයතනයේ සේවයෙන් අනතුරුව කතරගම පදිංචිය සඳහා තෝරා ගත්තේය. කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයෙන් ඈත්ව නිසංසල පරිසරයකට වී පොත් පත් අතර ගැවසීමට බොහෝ සේ ඇලුම් කළේය. කතරගම මැණික් නදියේ සිසිලසටත් කොහොඹ තුරුපත් පිස එන සුළඟටත් දැඩි කැමැත්තක් දැක්වූ හෙතෙම කතරගම පුදබිමට බොහෝ ආදරය කළ බව ඒ පිළිබඳ තතු දන්නෝ පවසති.
කතරගම ගෝතමීගම ග්‍රාමයත් අක්කර විස්ස ප්‍රදේශයත් සෙල්ල කතරගම වෙසෙන ගැමි ජනතාව සහ වෙළෙඳ ජනතාව ඔහුගේ සුහද මිතුරන් වීමට වැඩි කලක් ගියේ නැත. ‘ලේක්හවුස් මහත්මයා‘, “පියදාස මහතා”වැනි ආදරණීය ඇමතුම්වලින් ඔහු හැඳීන්වූයේ ගැමියන්ගේ හදවතින් නැගී ආ ආදරයත් ගෞරවයත් ඔහුට නිබඳවම හිමි වූ බැවිණි. කතරගම ගැමියාගේ හේන්වලට යාම හේන්වල දවස ගත කිරීමට ළමා ළපටින් හා එක්ව ගඟේ බැස දිය නෑම, විහිළු කතා කියමින් ගැමියන් සිනා සයුරේ ගිල්වීමට ඔහු දැඩිසේ ආශා කළේය. ඒ කවදත් ඔහුගේ හැටිය. ඔහු ගෙවූ මාධ්‍ය ජීවිතය ද එලෙසම‘‘ බව ඔහු පිළිබඳ ලියැ වී ඇති ලිපිවල සඳහන් වේ.
කිරි වෙහෙර ආසන්නයේ මහා දේවාලයේ ඝණ්ඨාර නාදය ඇසෙන දුරක් පදිංචියට තෝරා ගත් අවස්ථාවේ ඔහුට හමුවූ එක් භාවනානුයෝගී හිමි නමක් පවසා තිබුණේ “පෙර භවයන්හිදී ද ඔබ කතරගම පුද බිම ආශ්‍රිතව ඉන්න ඇති. ඒ බැඳීමම නැවත නැවතත් ඔබ කතරගමට ගෙන්වනවා වගෙයි” යනුවෙනි.
ග්‍රහ බලපෑම්
ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මැනැවින් දැන සිටි නිසාම තමාට යෙදෙන ග්‍රහ බලපෑම් පිළිබඳ ඔහු නිතර සොයා බැලුවේය. තම හිතවතුන් සමඟ ඒ ගැන කතා බහ කළේය. ඒ අනුව සෙනසුරු ඒරාෂ්ටකයත්, ජන්ම ඒරාෂ්ටකයත් යෙදී ඇති කලෙක තම පාදයකට ආබාධ ඇති විය හැකි බව ඔහු කල් තියා දැන ගත්තේය. ඒ බව පුවත්පත් කීපයකටම ඔහු පවසා තිබිණි. ඒ අනාවැකි යථාර්ථයක් කරමින් පාදයක් ඔහුට අහිමි විය. පාදය ඉවත් කිරීමෙන් පසුව වැඩි කලක් ජීවත් වීමට ඔහුට දෛවය ඉඩදුන්නේ නැත. ඒ බව ඔහු කල් තියාම දැන සිටින්නට ද ඇත. ප්‍රවීණ මාධ්‍යවේදියකු, ඡ්‍යොතිෂවේදියකු සේම කවියකු, ප්‍රකට සෙත් කවි රචකයකු ලෙස ජනතාව අතර තම නම මතකය ඉතිරි කර තබා කවුඩානේ පියදාස පෙරේරා ශූරීන් 2013 වසරේ අප්‍රේල් 21 වැනිදා මෙලොවින් සමු ගත්තේය.