චීන ජ්‍යොතිෂයෙන් කරුණාවන්ත ඌරු රාශි හිමියෝ..

අගෝස්තු 4, 2023

මෙතුවක් අප ඔබට ගෙනා චීන ඡ්‍යොතිෂයේ රාශි චක්‍රය අනුව මේ වසර ඔබට කුමනාකාරදැයි පැවසුණු ලිපි පෙළේ අවසන් ලිපියයි මේ. එසේ පවසන්නේ අද අප ඔබට ඉදිරිපත් කරන්නේ චීන ඡ්‍යොතිෂයට අනුව අවසන් රාශිය වන ඌරාගේ රාශිය පිළිබඳ තොරතුරු වන බැවිනි.

ඌරාගේ රාශිය නැතිනම් චීන රාශි චක්‍රයේ අවසන් රාශිය හිමි පුද්ගලයන්ගේ ජීවිතය හා ගතිගුණ ආදිය පිළිබඳ තොරතුරු පළමුවෙන් ම අපි දැනගනිමු. ඌරාගේ රාශියට අයත් වන්නේ 1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019 යන වසරවල උපන් පුද්ගලයන් ය. මොවුහු ත්‍යාගශීලී පුද්ගලයන් වන අතර කිසිවිටෙකත් යමෙකුට උදවු කිරීම හෝ උපකාර කිරීම ප්‍රතික්ෂේප නොකරති. එමෙන්ම කලාතුරකින් ඔවුන් උදවු සොයන අය ද විය හැකිය. මෙම පුද්ගලයන් ඉතා කරුණාවන්ත අය වන අතර ඕනෑම අයකුට පහසුවෙන් රැවටීමට ද හැකි වේ. මොවුනට අවධානය යොමු කිරීමේ විසල් බලයක් ඇති හෙයින් ඉලක්ක කරා පහසුවෙන් යාමට හැකියාව ලැබේ. එමෙන්ම තම ඉලක්කය සපුරා ගැනීම සඳහා තමාගේ මුළු ශක්තියම වුවද කැප කිරීමට ඔවුහු ඉදිරිපත් වෙති. තම ජීවිතයේ ගැටලුවලට මුහුණදෙන විට පවා සන්සුන්ව හා ඉවසිලිවන්තව සිටින අතර ප්‍රවේශමෙන් කටයුතු කරන පිරිසකි. ඔවුනට පවරා ඇති කාර්යය අවසන් කරන තුරු සියලු වගකීම් ඔවුහු භාරගනිති.

ඌරා රාශියේ පුද්ගලයා මිත්‍රත්වයට ඉහළ වැදගත්කමක් ලබා දෙන බැවින් ඔවුන් වටා බොහෝ මිතුරු පිරිසක් එක්රොක් වේ. උණුසුම්, අවංක සහ නිහතමානී පුද්ගලයන් වන අතර රණ්ඩු සරුවල්වලට අකැමැති ය. දේවල් අතහැරීමට හැකි බැවින් ත්‍යාගශීලී වේ. මසුරු නොවන ඌරා රාශියේ පුද්ගලයන් තමා සතු ඕනෑම දෙයක් බෙදා ගැනීමට කැමැත්තක් දක්වයි. එමෙන්ම මොවුන් සෑම විටම තමන් නායකයන් ලෙස පෙන්වීමට සහ සෙසු අයට නායකත්වය දීමට කැමැති ය. අන් අයගේ අතීත වැරැදි ඔවුන්ගේ හිසෙහි එකතුකර ගන්නේ නැත.

පහසුවෙන් සමාව දී ඉදිරියටයයි. දිගු කලක් අතීතයට ඇලී සිටීමට අකැමැති අතර සෑම විටෙකම වර්තමානයේ සිටීමට උත්සාහ දරයි.

ඌරාගේ රාශියේ පුද්ගලයන්ගේ මේ ලක්ෂණය අන් අය විසින් අගය කරන අතර මේ නිසා ම ඔවුන් ගෞරවයට ද පාත්‍ර වේ. යමකු ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ පසු කිසි විටෙකත් එම පුද්ගලයන් පහත් කොට සලකන්නේ නැත. සෑම දෙයක්ම නිවැරැදි ආකාරයෙන් තැබීමට පුරුදු වුණ පිරිසක් බැවින් ඔවුන් දියුණු වීමට මේ කරුණ ද අඩු වැඩි ලෙසින් බලපානු ලබයි. මේ රාශියේ පුද්ගලයන් තෘප්තිමත් සහ සුබවාදී පුද්ගලයන් වේ. අන් අය සමඟ තරග කිරීමට කැමැත්තක් නොදක්වයි. සරලව ම පවසන්නේ නම් මොවුන් අහිංසක, ආදරණීය පුද්ගලයන්ය.

නමුත් ඔවුන් මුරණ්ඩු, පහසුවෙන් කෝප වන බොළඳ පුද්ගලයන් ය. විටෙක අන් අය මත යැපෙන අතර දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට නැවත හැරීමට වෑයම් කරයි. දුර්වල මෙහෙයුම් හැකියාවෙන් යුතුය. තමාට අවශ්‍ය පරිදි යමක් සිදු නොවේ නම් සියල්ල දෙවියන්ට බාරදීමට කැමැතිය. සන්නිවේදන හැකියාව අතින් දුර්වලතා දක්වයි. චිත්තවේගී බව අතින් දුර්වල, තියුණු ඇසකින් දේවල් දෙස නොබලන ලක්ෂණය නිසා පහසුවෙන් රැවටෙයි.

ඌරාගේ රාශියේ පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලැබේ. නමුත් එසේ වන්නේ සෞඛ්‍ය පවත්වා ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂාවන් සපුරා ගතහොත් පමණි. මොවුහු සාදවලට, සමාජයේ පවතින රැස්වීම්වලට සහභාගී වීමට ප්‍රිය කරති. මේ ස්ථානවලදී තමාගේ සෞඛ්‍ය ගැන සිතා ආහාර පාන පරිභෝජනය සීමා නොකළහොත් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය. කරදරවලට මුහුණ දෙන විට පවා ආතතියෙන් තොරව හැකි තරම් සැහැල්ලුවෙන් ඒවාට මුහුණ දීමට මේ රාශියේ පුද්ගලයන් සමතුන් ය. සමබල ආහාර නිසි ප්‍රමාණවලින් ගෙන ව්‍යායාම ආදිය සිදු කිරීමට පුරුදු වීමෙන් නිරෝගී බව පවත්වාගෙන යාමට හැකිය.

ඌරාගේ රාශියේ පුද්ගලයන් නිර්මාණශීලී සහ පරිකල්පනීය ශක්තියෙන් යුතුය. අන්තර් පුද්ගල කුසලතා ගොඩනංවා ගැනීමට උනන්දු වීමෙන් එය වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය උදෙසා යොදා ගත හැකිය.

විනෝදාස්වාදය, ආගන්තුක සත්කාරය, සිල්ලර වෙළෙඳාම සහ ප්‍රවාහනය, වෛද්‍ය, පශු වෛද්‍ය යන ක්ෂේත්‍රයන්හි රැකියා ඔවුනට වඩාත් සුදුසුය. එමෙන්ම අන් අය ආරෝපණය කර නායකත්වය ලබා දිය හැකි තනතුරුවල හොඳීන් කටයුතු කළ හැකිය. අන් අය කියන දේ අසා හොඳීන් අවබෝධ කරගත හැකි බැවින් කර්මාන්ත අංශයේ රැකියා ද සුදුසුය.

මොවුන් සමාජගත වීමට දක්ෂ මිනිසුන් ය. එබැවින් අන් අය මොවුන් සමඟ සම්බන්ධ වීමට දැඩි වෙහෙසක් දැරීමට අවශ්‍ය නොවේ.චීන රාශි චක්‍රයේ ඌරාගේ රාශිය හිමි පිරිමින්ට වඩා ආදරණීය සත්ත්වයකු නොමැති තරම්ය. කරුණාවන්ත, ත්‍යාගශීලී, මිත්‍රශීලී, පක්ෂපාතී, ආදරණීය, අවංක, මුදු මොළොක්, නිහතමානී, ඉවසිලිවන්ත සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම යන සෑම ලක්ෂණයක්ම ඔහු සතුය. ඕනෑම අයකු ආයාසයකින් තොරව සතුටු කිරීමේ ගුණය ඔවුන් සතුය. එමෙන්ම මොවුනගේ හොඳහිත නිසාම වයස වැඩි වුවද සැමදා තරුණ බවින් යුතු පුද්ගලයන් වේ. එමෙන්ම මේ රාශියේ පිරිමින් කාන්තාවන්ගේ ප්‍රතික්‍රියාවන් පුරෝකථනය කිරීමටත්, ඔවුන්ගේ ආශාවන් හා අවශ්‍යතා වටහා ගැනීමටත් හැකි අයයි. මේ ගුණාංග ඔහුව වඩාත් ආකර්ෂණීය කරයි. ඔවුන් තම මව සමඟ දැඩි සබඳතාවකින් යුතු පුද්ගලයන්ද වේ.

ඌරාගේ රාශිය හිමි කාන්තාවන් යනු ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය

කාන්තාවන් ය. ඔබ ඇයව මුණගැසෙන සෑම අවස්ථාවකම ඇගේ මුහුණේ තරුණ, ප්‍රීතිමත් සිනහවක් පවතී. ඇයගේ ආකර්ෂණීය, මිහිරි සහ අහිංසක ස්වභාවයෙන් ඕනෑම අයකු සතුටු කළ හැකිය. මෙවැනි ළමා ගති ලක්ෂණ ඇයට ඇති බැවින් වයසට යාමේ සලකුණු ඇති වීම ඉතාමත් ප්‍රමාද වේ. නමුත් මොවුනගේ පෞරුෂයේ උච්චාවචනයන් ඇති විය හැකිය. යමකු මේ ලග්නයේ කාන්තාවන් ඉදිරියේ මුසාවන් පැවසීම නොකළ යුත්තේ එය ඔවුනට එළි කරගත හැකි බැවිනි. මොවුහු කිසිදා ආදරය සොයා නොයන අය වන අතර තමාගේ කාලය පැමිණෙන තෙක් බලා සිටීමට කැමැත්තක් දක්වයි.

නමුත් මොවුනගේ ප්‍රධාන අවශ්‍යතාව වන්නේ ද ආදරයයි. ඌරාගේ රාශියේ පුද්ගලයන්ට ඇසුරු කිරීමට සුදුසු පුද්ගලයන් වන්නේ හාවා, කොටියා, එළුවා රාශින් හිමි අයයි. ඌරාගේ රාශියේ ඔබට ජය ගෙනෙන වර්ණ වන්නේ: දුඹුරු, කහ, අළු සහ රන්වන් පැහැයයි. ජය අංක වන්නේ: 2,5,8 යන අංකයන් ය.

අවාසනාව ගෙනෙන වර්ණ ලෙස රතු, නිල්, කොළ වර්ණයන් දැක්විය හැකියි. අවාසනාව ගෙනෙන අංක වන්නේ 1,3,7,9 යන අංකයන් ය.

ඌරාගේ රාශියේ පුද්ගලයන්ට මේ වසර සතුට පිරුණු වසරක් බව කිව යුතුය. ඔබ බලා සිටි සෑම දෙයක්ම මේ වසරේ දී ඔබට හිමි වේ. ඔබේ ඉලක්කය දෙසට දෙනෙත් යොමු කරගෙන ඉදිරියට පිය මැනිය යුතුය. එවිට ජය ඔබ සතු වනු ඇත. එමෙන්ම ඔබ වැටුණහොත් බලාපොරොත්තු අතහැර ගැනීමෙන් වළකින්න. බලාපොරොත්තු තබාගෙන කටයුතු කිරීමෙන් ඔබට නිසි තැනට පැමිණීමට හැකි වේ.

ඔබේ ජීවිතයේ ධනාත්මක වෙනස්කම් කිරීමට ඔබ ප්‍රමාද වැඩි නොවන බවද පැවසිය යුතුය. මේ වසරේ දී ඔබ තම සහකරු පිළිබඳ ධනාත්මක හැඟීමක් ඇති කළ යුතු බවත් එසේ වූ විට ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යාමටත් හැකියාව ඇත. ප්‍රේමණීය අභිනයන් ඔබේ සහකරු සතුටු කරන අතර එය ඔබේ සබඳතාව ශක්තිමත් කිරීමට සමත් වනු ඇත. අවිවාහක අයට තමා සෙවූ සහකරු හමු විය හැකිය. මෙය ඔවුන් සඳහා සොඳුරු සුරංගනා කතාවක ආරම්භය සනිටුහන් කරනු ඇත.

කිසිදෙයකට ඉක්මන් නොවී ඔබේ සහකරු හොඳීන් හඳුනා ගැනීමට කාලය ගන්න. ඔබට වාසනාවන්ත වෘත්තීය ජීවිතයක් මේ වසරේ දී හිමි වේ. ඔබේ ජ්‍යෙෂ්ඨයන් සහ වෘත්තීය සගයන් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගෙන යාමට හැකිය. ඔබට අවශ්‍ය විටෙක ඔවුන් ඔබට සහාය වනු ඇත. ඔබේ වෘත්තියෙහි ප්‍රගතිය වෙනුවෙන් ඔබට මූල්‍ය වර්ධනයක් අත්විඳීය හැකිය. මුදල් ආයෝජනය කිරීමට ද හැකි වනු ඇති වුවද එලෙසින් ආයෝජනය කිරීමට ප්‍රථම මූල්‍ය උපදේශකයකුගෙන් උපදෙස් ලබා ගන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.