වයස ගියද උගත මනා

ජූලි 21, 2023

පඬි වදන්

අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියනට අත් නෑර ම අපහසු සිරිතක් වූයේ පොත්පත් කියවීම යි. වයස අවුරුදු 101 දී උන්වහන්සේ පරිගණකය හදාරන විට ‘මෙතරම් වයස්ගත ඔබ වහන්සේ මොනවටද ඔය තරම් වෙහෙසෙන්නේ’යි කෙනෙක් ඇසූ බවත් වයසට ගියත් මට මෙය ප්‍රයෝජන බවත්, මේ ජීවිතයේ දී ප්‍රයෝජනයක් ගැනීමට අපහසුවක් වුව ද එය ප්‍රශ්නයක් නොවන බවත්, මේ පුරුද්ද මතු භවයෙහි ඉගෙනීම පහසු කරනු ඇති බවත් යනා දී දිගු විස්තරයක් කළ බව සඳහන් වේ. කෙතරම් වයසට ගිය ද ඉගෙනීම කළ යුතු ය. මේ ජීවිතයේ ඵල නෙළා ගත නොහැකි වුවත් ඉදිරි ජීවිතයට මහත් ඵල දෙයි. පසුගිය ජීවිතයේ දක්ෂ ලෙස ඉගෙනීම පුරුදු පුහුණු කළවුන් මේ ජීවිතයේ කුඩා කල සිට ම ඉගෙනීමේ දක්ෂතා පෙන්වන අයුරු පෙනේ. උපන් දා සිට මිය යන තෙක් ම මනුෂ්‍යයා ඉගෙන ගනියි. ඔබ සැමදාම ශිෂ්‍යයෙකි යි කීයේ එහෙයිනි. තොටිල්ලේ සිට මිනීවළ දක්වා ම දැනුම සොයන්නැ යි මහමත් තුමා පැවැසී ය.

හතෙපි වයසි ග්‍රාභ්‍යා

විද්‍යා සර්වාත්මනා බුධෛඞ

යද්‍යපිස්‍යාන්ත ඵලදා

සුලභා සාන්‍ය ජන්මනි

යනුවෙන් දක්වාලූයේ වයස කෙතරම් ගිය ද උත්සාහයෙන් ශිල්ප ශාස්ත්‍ර උගත යුතු ය. යම් හෙයකින් එය මෙලොව ඵලදායීතාවයකට තුඩු නොදුන්නත්, මතු භවයෙහි ඉගෙනීම පහසු කරවන වාසනාවක් වේ යනුවෙනි. ඉගෙන ගැනීම කිසිම ලෙසකින් අපතේ යන්නක් නොවේ.

අපගේ ජීවිත කාලය ගැන සියුම් ලෙස බලන විට නිදා ගැනීමට, ආහාර ගැනීමට ආදී ලෙස කොටස් කරගෙන යන කල්හි ඊට වැයවන කාලයට වඩා අඩු කාලයක් පමණක් අප අවදියෙන් සිටින බව පෙනේ. අවදිව සිටින කෙටි කාලය ඉතා වැදගත් ය. සෑම වෙලේම ඉගෙනීමේ යෙදීම අතිශයින් ඵලදායී වන්නේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.