ඇස්වහ කටවහ හෝවහ දෝෂ

ජූලි 14, 2023

ඇස්වහ කටවහ හෝවහ දෝෂ ඇතිවන්නේ මනුෂ්‍යයාට පමණක් නොවෙයි. එය සතා සිවුපාවුන්ට වගාවන්ට, යානවාහනවලට, ව්‍යාපාරවලට ඉගෙනීමේ කටයුතුවලට, සුන්දරත්වයට, ගොඩනැඟිලිවලට වගේම සෑම දෙයකටම බලපානවා. යම් යම් රෝගාබාධයන්ට ප්‍රතිකාර ගැනීමට පැමිණි බොහෝ දෙනකු ඇස්වහ කටවහ ගැන මෙලෙස අදහස් දැක්වූ බව වෙද මහතාද ප්‍රකාශ කළේ චූටි පුතාගෙ ඇඟ පුරා බිබිළි දැමීම නිසා බෙහෙත් ගැනීමට ගිය අවස්ථාවේදීයැ.

ගයා අක්කෙ, වෙද මහත්තයා මොනවද කීවේ, නයනා ඇසුවෙ මහත් විමතියෙනි. ඒව ඇහුවමත් පුදුම හිතෙනවා. දරුවෙක් ලස්සනට අකුරු ලියමින් ඉඳල තියෙනව ඒ වෙලාවෙ එතනට ආපු ඥාතිවෙන නැන්ද කෙනෙක් ඒ දිහාම බලාගෙන ඉඳල කිවුවලු ලස්සනට අකුරු ලියනව නේද, පුතා දැන් තුන්වන වසරේ නේද කියල. ඊට පස්සෙ දරුවට ලස්සනට අකුරු ලියන්න බැරි වෙලා ආසාවෙන් ගිය ඉස්කෝලෙ ගමනටත් කම්මැළි වෙලා.

දුවගෙ කොණ්ඩෙ හරි දිගට තියෙනවා නේද දැන් වෙනදා වගේ නෙවි කෙල්ල ලස්සන වෙලා බලන්න ඕනෙ. මූණෙ සිනහව එහෙම කියල තියෙන්නෙ අසල්වැසි කාන්තාවක්. ඊට පස්සෙ කෙස් ගැළවෙන්න පටන් අරන් ලස්සන මුහුණේ කුරුලෑ ඇවිල්ල බෙහෙතුත් අරගෙන. කුසුම්ලයි ගෙදරට ශාස්ත්‍ර කියන ගැහැනියක් ඇවිල්ල ගේ ඉස්සරහ බේසමක වවල තිබුණු ගොටුකොළ දැකලා නෝනා ගොටුකොළ මල් පඳුරක් වගේ ලස්සනට වැවිල මිටි දෙක තුන ගොටුකොළ තියෙනවා. එහෙම කියලා ගිහිල්ල පසුවදා වනවිට ගොටුකොළ ඔක්කොම මැළවිලා. අර කඩේ ඕපන් කරල දවස් කීයද? හොඳට බිස්නස් කෙරෙනව තට්ටු ගහයි. මාසයක් ගියෙත් නැතිලු කඩේ වහල ගිහිල්ල.

හන්දියෙ ගෙදර ඉස්සහර අඹ ගහේ ගෙඩි පිරිල අඹ ගෙඩියක් ඉල්ලන්න ඕනෙ කීවාලු. ඒ අඹ ගහේ ගෙඩි කුණුවෙන්න පටන් අරගෙන. අරගොල්ල ගෙයක් නෙවි හදන්නෙ මාළිගාවක් කොහෙන්ද දන්නෙ නැහැ. ඔච්චර සල්ලි ගේ හැදිලත් නැවතිලා. මේ ඇස්වහ කටවහ පලදීම හැම දෙනාටම බලපාන්නේ නැතිලු. වෙද මහත්තයා කියන විදියට සියලු දෙනාටම එක ලෙසින් ඇස්වහ,කටවහ දෝෂ ඇති කිරීමේ බලයක් නැත. එය තම තමන් තුළම ඇතිවන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මතුකරමින් සිදුවන්නකි

වෙද මහත්තයා කියූ සැණින් වදින ඇස්වහ කටවහ දෝෂ පිටකරන අය හඳුනා ගන්න විදියක් නැද්ද? එහෙම සොයන්න බැහැයි කී වෙද මහතා ඇස්වහ, කටවහ දොස් පවතින ගැහැනු පිරිමි විශේෂයෙන් ගැහැනු නගරබද කෙසේ වෙතත් ගම්බදව නම් සිටිනවා ප්‍රසිද්ධියක් ලබමින් ඒ නිසා ඔවුන් යන එන විට ප්‍රවේසම් වීමට ඔවුන් උත්සාහ දරනවා. මෙසේ වස් දොස් තමන් හට පවතින්නේ පාප ග්‍රහ අපල ලබා නරක කල දසාවන්ට ලක්ව සිටින අයයි. බෙහෙවින්ම මෙම පාපතර ක්‍රියාවන්ට යොමු වන්නේ පින්දහම් නොකොට පාපතර ක්‍රියාවන්ට යොමුවී සිට ඇති අයයි.

එවිට නයනා ඇසුවේ අක්කෙ වෙද මහත්තයා කීවේ ඇස්වහ කටවහ ගණන් නොගෙන හිටියොත් මොකක් වෙයි ද කියලද? මොකද නැත්තේ කිරිගහට ඇන්න වගේ සමහර කාන්තාවන්ගෙ කටින් පිටවන වචනවල දෝෂ එමටයි. මේ කෙලීගෙ ලස්සන කීවොත්. එය වැදුණොත් ඇය විරූපී වෙන්න වැඩි කලක් යන්නෙ නැති බවත් කීවා. කටවහ ඇස්වහ දෝෂ ගණන් නොගෙන හිටියොත් ලැබෙන පල විපාක ඉක්මන්. ඊර්ෂ්‍යාවකට, ක්‍රෝධයකට යමෙකුට කොඩිවිනයක් කළොත් එය ක්ෂණිකව විපත් ගෙන දෙන්නේ නැහැ. නමුත් ඇස්වහත්, කටවහක් වැදුණොත් සමහර විට පසුවදාම එහි විපාක ලබා දෙනවා. සමහරුනට ඇස්වහ කටවහත් නොව කොඩිවිනයක් කළත් නොවදින තත්ත්වයක් පවතිනවා. පෙර පින් බලය නිසා කියලා කිව්වා.

වෙද මහත්තය මෙහෙමත් කිව්වා සමේ පැහැය අඩුවීම, මුහුණේ කලු පැල්ලම් මතුවීම, සමේ රෝග හටගැනීම, ඇඟේ විසප්පු හට ගැනීම, ඇස්වල පෙනීම අඩුවීම, කල්පනා ශක්තිය දුර්වල වීම, කකුල්වල වේදනාව, ශක්තිය දුර්වල වීම, කිරි දෙන දරුවකුට කිරි එපාවීම හා කිරි වමනය කිරීම ඇඟ පුරා බිබිලි මතු වීම, එළවළු පලතුරුවල පලදාව අඩුවීම. ගස්වැල් විනාශ වීම ද මේ නිසා වෙනවා. ගෙවල් වෙනත් ගොඩනැඟිලි හදනකොට වටකර වහනව. බාගෙට හදල ඉවර වෙන කොට මේ නිවසට බුදුසරණයි දෙවිපිහිටයි කියල කාටත් පෙනෙන්න ගහනවා. සමහරු වෙස් මුහුණූු එල්ලනවා නැතහොත් හදපු ගොඩනැඟිල්ල ඉදිරියේ තහඩුවක් හෝ ලීයක් එල්ලෙන්න තබනවා.

කුඹුරු වෙල්යාය මැද පඹයකු තබන්නේ ඇයි? සමහරු ලීයක ගැහූ කොඩියක්, ඉන්දලා තියෙනවා. මේවා බොහෝ විට ගොයම කුරුල්ලන්ගෙන් ආරක්ෂා වීමටයි සිදු කරන්නේ. ඒත් කුඹුර දිහා බලන විට පඹයා හෝ වෙනත් යමක් දැකීමේ ගුප්ත රසයකුත් නැතිව නොවේ. ඒ ඇස්වහ කටවහ නොවැදීමේ බලය කියලත් කීවා.

අක්කේ දරුවා ගැන මොකද කීවේ.

දරුවාටත් තියෙන්න ඇස්වහ කටවහ බව කීවා. දරුවටයි ගෙදර අයටයි අත්තගහ මතුරල දෙහි කැපීමත් හොඳයි කීවා. ඒ වගේම පිරිත් ටිකක් කියනව වගේම බෝධි පූජාවක් තියෙන එකත් හොඳයි කිවුවා. අද සමාජයේ බොහෝ දෙනකු ඇස්වහ කටවහ ගැන දැනගෙනයි ඉන්නෙ. සමහර කුඩා දරුවන්ට නළල මැද පොට්ටුවක් තිතත් තියෙන්නේ ඇයි? කවුරු හරි දරුවා දිහා බලන කොට පොට්ටුව පෙනෙන්නයි. ඒ වගේම කොණ්ඩය උස්සලා ලොකුවට රිබන් එකක් බඳින්නේ ඇයි. දරුවාට වඩා රිබන් එක පෙනෙන්නයි. මෙවැනි බොහෝ දේවල් සිදු කරන්නේ ඇස් වහ කටවහ දෝෂවලින් සිදුවන අපල උපද්‍රව මඟහරවා ගැනීමටයි.

ඇස්වහ කටවහ දෝෂ දුරුකර ගැනීමට තවත් අය අඟහරුවාදා හෝ සිකුරාදා දිනයක වේළුණු මිරිස් කරල් කීපයක් අබ හා ලුණු කැට කීපයකුත් අරගෙන ඇස්වහට ලක්වූ අයගේ නියපොතු කැබැල්ලකුත් හිසකෙස් කෑල්ලක් හෝ සුළු ප්‍රමාණයකුත් ගෙන පොල්කටු තුනක් පුළුස්සා (සිදුරු ඇති පොල්කටු) ගිනි අඟුරුවලට ඒවා දමා හිස සිට දෙපතුළ දක්වා දුම් අල්ලමින් සියලුම ඇස්වහ, කටවහ දෝෂ දුරු වේවායි කිය යුතුය. පසුව එම දුම්කබල පිටතට දමා සවස හයෙන් පසු කබල ගෙට ගත යුතුය. එමෙන්ම නැවුම් කලයක් හෝ මුට්ටියක් ගෙන මැටි බඳුනක් පෙරන ලද පිරිසුදු වතුර දමා එයට අමු කහ කැබැල්ලක් ද සෝදාගත් දෙහි අතු කෑල්ලක්ද පැන් කළයට දමන්න. එසේ කළ යුත්තේ අග කොටස අල්ලා ගෙනය. පසුව දකුණතින් දෙහිඅත්ත අල්ලාගෙන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නො සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.

ගාථාවෙන් මතුරා, පැන් දරුවන්ට බීමට හා මුහුණ සේදීමටත් නිවසට හෝ ව්‍යාපාරවලටද නිවසේ සැමටත් ඉසින්න. ජලනන්දන පිරිතෙන් එකසිය අටවරක් පිරිත්කර ඉසීමෙන්ද ව්‍යාපාර දියුණුවට මෙන්ම නිවෙස් ආරක්ෂාවට ද යහපත් බවත් වෙද මහතා පෙන්වා දුන්නා.

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.