අලුත් අවුරුදු සිරිත් විරිත්

අප්‍රේල් 8, 2022

 

අපගේ සංස්කෘතියේ වැදගත්ම අවස්ථාව සිංහල හින්දු අවුරුද්දයි. එය අපගේ රටේ මහා මංගල්‍යයයි. මෙම අවුරුදු උත්සවය ගැන විවිධ මත රාශියකි. නක්ෂාත්‍රානුකූලවද හිරුවටා පෘථිවිය එක්වරක් ගමන්කර අවසන් දිනය වන්නේ අප්‍රේල් 13 යි. මේ ගමන රාශි 12 ට බෙදා ඇති අතර, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණ ගමන සම්පූර්ණ කිරීම නව වසර ලෙස සැලකේ. එය අවුරුදු උදාවයි. මෙය බක් මාසයේ සිදුවන නිසා බක්මහ සැණකෙළිය ලෙසද සැලකේ. සූර්යයා කිසි විටෙක ගමන් නොකරන අතර පෘථිවිය ඒ වටා ගමන් කිරීම සිදුවේ. හින්දුන්ගේ සූර්යවන්දනය ලාංකික ජනතාවටද හුරු වී එම චාරිත්‍රය අවුරුදු උත්සවය වූ බවද මතයකි.

 

සූර්යයා ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන අතර, තාපය, උෂ්ණත්වය, ආලෝකය පමණක් නොව මිනිසාට ජීවබලය ලබා දෙනුයේ ද සූර්යා ය. එම සූර්යාට කෘතගුණ සැලකීමක් ලෙසද වාර්ෂිකව සූර්ය මංගල්‍ය පැවැත්වේ.

මහා සම්මත පරපුරේ චන්ද්‍රරජ ඔටුනු පැලඳවීමේ උත්සවය සිහිවීම පිණිස අවුරුදු උත්සවය පවත්වන බවද මතයකි. මේ මත කෙසේ වෙතත්, සිංහල, හින්දු ජනයාගේ එකමුතුව කරනා උත්සවයක් ලෙස අවුරුදු උත්සවය අදටත් විරාජමානව පවතී. අවුරුදු උත්සවය ප්‍රධාන කොටස් තුනකින් යුක්තය. ඒ කොටස් එම යෙදෙන විවිධ චාරිත්‍රවලින් සමන්විත වේ. පරණ අවුරුද්ද, නොනගතය, අලුත් අවුරුද්ද. අලුත් අවුරුද්ද පැමිණීමට පෙර සූදානම් කාලය පරණ අවුරුද්දයි. මේ කාලය තුළ නිවාස පවිත්‍ර කිරීම, සායම් ආලේප කිරීම, ආහාර රස කැවිලි සෑදීම, අලුත් ඇඳුම් පිළියෙල කිරීම සහ මිලදී ගැනීම, ණය ඇත්නම් ඒවා ගෙවා දැමීම පරණ අවුරුද්ද තුළ සිදුවේ. පැරණි සිංහලයන් අවුරුදු උදාවට පෙර කිරි අම්මාවරුන්ගේ දානය දෙන ලදි. මේ දානය නිසා නව වසර තුළ බෝවන රෝග (දෙයියන්ගේ ලෙඩ) වලින් ආරක්ෂා වීම සඳහා අම්මාවරුන්ගේ දානය දෙනු ලබයි.

නව වසර ලැබීමට පෙර ණය ඇත්නම් ඒවා නිදහස් කිරීම ඔවුන්ගේ වගකීමකි. නව වසර තුළ ණයකාරයෙක් නොවීම ඔවුන්ගේ අපේක්ෂාව වනු ඇත.

පරණ අවුරුද්ද තුළ විවිධ කැවිලිවර්ග සෑදීම සෑම නිවසකම ප්‍රධාන කාර්යයි. තම කුඩා ළමුන්ට වැඩිහිටියන්ට කෑමට පමණක් නොව නිවාසවලට බෙදාදීම සඳහාත් කැවිලිවර්ග සාදයි. කැවුම්, කොකිස්, අතිරස, මුං අළුවා, පැණි වළලු මේ අතරින් ප්‍රධානය. අද කාලයේ ගෙදරක රස කැවිලි සෑදෙන්නේ නැත. ඒ සඳහා මුදල ද අධිකය. කාලයක් ද නැත. කඩෙන් ගෙනෙන කැවිලි මේසයට තැබීම සිදු කෙරේ.

පරණ අවුරුද්දට සඳ බැලීම අවුරුදු චාරිත්‍රයකි. පන්සලේ බෝධිය නාවා එදින රාත්‍රියේ සඳ බැලීම සිදුවිය. අද එම චාරිත්‍රය සිදු නොවේ. සඳට නමස්කාර කිරීමෙන් ලබන වසර සුබඵල ගෙනදෙන බවයි විශ්වාසය.

පැරණි අය නව වසර ලැබීමට පෙර ස්නානය කරති.. ඒ සමගම නෑ හිතවතුන්ගෙ නිවාසවලට යාමද සිරිතකි. පසු වසරේ සිදුවූ අතපසුවීම් සඳහාත් වැරදිවලට සමාව ඉල්ලීමත් සිදුවේ. මේ නිසා පැරණි තරහ කෝන්තර නැතිවී සමගිය සමාදානයට හේතු වනු ඇත.

අවුරුදු උත්සවයේ වැදගත් තැනක් ගන්නේ නොනගත කාලය තුළයි. මෙය සූර්ය සංක්‍රාන්ති කාලය ලෙසද පුණ්‍ය කාලය ලෙසද හැඳින්වේ. නොනගත කාලයේ සුබඵල නැත. අතර මැදි කාලය ලෙස සැලකේ. මේ නොනගත කාලයට මිනිසා බියක් දැක්විය. පන්සලට, කෝවිලට යාමට පුරුදු වූයේ මේ හේතුව නිසා ය. සමස්ත ජාතියේම වැඩ නවත්වන කාලයයි.

පුණ්‍යකාලයෙන් පසු ළිප් බැඳ ගිනි මෙළවීම නැකැතට සිදුවේ. එදා අවුරුදු නැකැත් සීට්ටුව වේලාව කියයි. පන්සලේ ඝණ්ටාර නාදය එම දැනුම ලබාදේ. අද ගුවන්විදුලිය, රූපවාහිනිය එම කාර්ය කරනු ලැබේ.

අද ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම වැදගත් චාරිත්‍රයකි. වත් පොහොසත් වැඩිහිටි අයගෙන් ගනුදෙනු කිරීම ලබන්නාවූ වසර අය පක්ෂය වැඩිවන බව විශ්වාසයයි. පුරාණයේ සහල්, කහ කැබැල්ලක්, බුලත් කොළයක දවටා කාසියක් දීම සිරිතකි. වැඩ අල්ලන ගැමියා තම උදැල්ලෙන් පැළයක් සිටුවීම කරනු ඇත. පාසල් ළමයින් නම් පොත් පත් කියවනු ලැබේ.

වැඩ ඇල්ලීමෙන් ළිඳ සමඟ ගනුදෙනු කිරීම සිදුවේ. බෙහෙත් බඩු, වී, සහල්, සමන්මල්, කාසියක් පොට්ටනි බැඳ ළිඳට දැමීම සිදුවේ. අද නාගරික ජනයා නල ජලය පාවිච්චි කරන නිසා මේ චාරිත්‍රය නැති වී ඇත.

අලුත් අවුරුද්දේ වැදගත්ම අවස්ථාව ආහාර අනුභව කරනා වේලාවයි. පොල්තෙල් පහනක් දල්වා කිරිබත්, කැවිලි මිශ්‍ර මේසය වට නිවැසියන් එක් වී ආහාර අනුභව කරන අවස්ථාව ඉතා වැදගත් චාරිත්‍රයයි. ආහාර බෙදාදීම ගෘහ මූලිකයා විසින් සිදු කෙරේ. පවුලේ වගකීම ඔහු සතු වන නිසා ය.

සියලු දෙනා ඉතා සතුටින් ආහාර අනුභව කරති. ආහාර අනුභවයෙන් පසු ආහාර නිවෙස්වලට යැවීම හිත මිත්‍රාදීන්ගේ නිවාසවලට යෑම සිදු කෙරේ. මේ කාලය තුළ වැඩිහිටි අයට බුලත් දී වැඳීම සිදු කෙරේ. මේ නිසා පවුලේ බැඳීම්, සමඟිය, ඇතිවීම විශේෂත්වයකි.

නව වසර ලැබූ පසු හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදුවේ. ඖෂධ මඟින් සකස්කර ගත් නානු ගෑම නැකැතට සිදුකෙරේ. මෙයට රජයේ අනුග්‍රහය ද ලැබී ඇත්තේ වටිනා චාරිත්‍රයක් නිසාමය. අට අනූවක් රෝගවලින් වැළකී සිටීමට මේ චාරිත්‍රය සිදු කෙරේ. නානු ගෑමෙන් පසු ස්නානය කිරීම සිදු කෙරේ. ස්නානය නිසා ශරීරය පිරිසුදු වේ. රෝග පහවේ. රැකී රක්ෂාවලට පිටත්වීම නව වසරේ සිරිතකි. හේනට කුඹුරට යාම සඳහා නැකැතට අනුව සිදුවිය. අද රජයේ රැකියාවල නියුතු අයට මේ චරිත්‍රය කළ නොහැකිය. නිවාඩු අවසන්ය. රාජකාරිය කළ යුතුම නිසාවෙනි. නව වසරේ සිරිත් විරිත්වලට අමතරව අවුරුදු ක්‍රීඩා මුල් තැනක් ගනී. ඔන්චිල්ලා පැදීම, ඔළිඳ කෙළිය,පංචා දැමීම, රබන් ගැසීම, ලේන්සු හැංගීම, කඹ ඇදීම ආදිය අවුරුදු කාලයට ආවේණික වූ ක්‍රීඩා ය. බාල මහලු විශේෂත්වයක් නොමැතිව ක්‍රීඩා කිරීමෙන් ලබනුයේ අසීමිත ප්‍රීතියකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.