ඉතිරි කිරීමට යහපත්වා සනාවන්ත ඌරාගේ වසර

ජනවාරි 18, 2019

උපන් වසරින් උදා වූ වසරේ දෛවය පවසන චීන කැලන්ඩරය 4716 වැනි වසරට ද එළඹ තිබේ. ඒ ධනය ඉපයීමට හා රැස් කිරිමට යහපත් ඌරාගේ වසර උදා කරමිනි. අපි පසුගිය සතියේ උපන් වසරට මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා යන සතුන් හිමි අයගේ 2019 වසරේ කල දසාව ගැන හෙළි කෙරුවෙමු. මෙවර ඉතිරි වසරවලට සතුන්ට හිමි අයගේ වසරේ සුබාසුබ පල ගෙන එන්නෙමු.

* අශ්වයා

පෙබරවාරි 4 ට පසු 1930, 1942, 1954, 1966 1978, 1990, 2002, 2014 වසරවල උපන් අයට අයත් වන්නේ අශ්වයාය. 2026 උපදින අයට උරුම සත්වයා ද අශ්වයා වේ.

මේ වසරේදී අශ්වයා හිමි අයට රැකියා අවස්ථා ගණනාවක් උදා වෙයි. මොවුන් රැකියාවේ දියුණුව ගැන අවධානය යොමු කළ යුතුය. රැකියාව නිසා කාර්යබහුල වෙයි. තනතුරේ වගකීම් වැඩිවේ. රැකියාවේ ගැටලුවක් ඇති වූ විට මඟ පෙන්වීමට විසඳුම් සොයා දීමට කවුරුන් හෝ ඉදිරිපත් වනු ඇත. රැකියාවේ පීඩනය වැඩිවත්ම ඊට මුහුණදීමට වැඩි ශක්තියක් ලැබේ. උදාවන අලුත් රැකියා අවස්ථාවන් ද අයහපත් නැත. කවුරුන් හෝ නව රැකියා අවස්ථාවක් උදාකර දුන් විට ඊට හොඳින් සූදානම් වන්න. රැකියා ස්ථානයේ සාමාජිකයන් සමඟ යහපත් සබඳතාවක් පැවැත් විය නොහැකි නම් එවැනි අවස්ථා මඟ හැරීම නුවණට හුරුය.

ස්ථාවර රැකියාවක් සමඟ ස්ථාවර ආදායමක් ද හිමිය. ඉලක්ක සපුරමින් ක්‍රියාකරන විට අතමිට ද සරුසාර වෙයි.

රන් රස සේ පෑහෙන සෙනෙහසකට ඌරාගේ වසරේදී අශ්වයා හිමි අයට භුක්ති විඳීමට පුළුවන. සැබෑ සහකරු / සහකාරිය සොයා ගැනීමට යහපත් කාලයක් එළඹ තිබේ. දැනටමත් පෙම්වතකු / පෙම්වතියක සිටිනවා නම් විවාහවීම සුදුසුය. විවාහක නම් පවුලේ සමගිය, සතුට උතුරා යයි.

මේ වසරේදී සමාජ සබඳතා ද යහපත්ය. අශ්වයා හිමි පුද්ගලයන් ප්‍රසිද්ධිය, සාර්ථකත්වය, ජයග්‍රහණය, බලය හඹා යයි. එය එසේ නමුත් ඔවුුන් කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ගරු කිරීමට අවශ්‍යය. එවිට ඔවුන් අශ්වයා හිමි පුද්ගලයාගේ නායකත්වය වගේම මිත්‍රත්වය ද පිළිගනී. අනවශ්‍ය වාද විවාද දබරවලට පැටලීමෙන් අවාසි වන්නේ තමන්ටමය.

මේ වසරේදී අශ්වයා හිමි අයගේ සෞඛ්‍ය තත්ත්වය විශිෂ්ටය. එහෙත් හොඳින් ජලය පානය කර ව්‍යායාම කර යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීම වැදගත්ය. වකුගඩු , හදවත, රුධිරය සම්බන්ධ සුවසෙත ගැන සැලකිලිමත් වන්න.

* බැටළුවා /එළුවා 

පෙබරවාරි 4 ට පසු 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015 උපන් අයට ද 2027 උපදින අයට ද බැටළුවා හිමිය.

බැටළුවා හිමි පුද්ගලයන්ට හොඳ රැකියා අවස්ථාවන්, ආදායම් මාර්ග රැසක් උදා කරයි. එහෙත් ධනය පිළිබඳ ගැටලු ඇතිවීමට ඉඩ ඇත. හොඳම ආදරයක් ලබා ගැනීමේ වාසනාව හිමි මේ වසරේදී ඒ අවස්ථාව පැහැර නොහැරීමට වග බලා ගන්න. ආදරයේ මිහිර භුක්ති විඳින්නන්ට නැවත සෙනෙහස අලුත් වූවාක් වැනි හැඟීමක් ඇතිවේ.

මේ බැටළුවාගේ සාර්ථකත්වය, සමාජ සබඳතා දැක ඊර්ෂ්‍යාකාරී විවේචන එල්ල විය හැකි කාලයකි.

තමන්ගේ ජයග්‍රහන ගැන නිහතමානීව සතුටු වී සෙස්සන් ඉදිරියේ පරෙස්සමෙන් හැසිරෙන්න.

බැටළුවා හිමි පුද්ගලයන් අඬ දබරවලට වාද විවාදවලට මැදිවන්නන් නොවන නමුත්, ඌරාගේ වසරේදී වාදවලට පැටලීමට ඉඩ තිබේ. එහෙත් ඉන් කාලයත්, ධනයත් අනවශ්‍ය ලෙස නාස්ති වෙයි.

ශරීර සෞඛ්‍ය සාමාන්‍යයෙන් යහපත් නමුදු මෞත්‍ර පද්ධතියේ සෞඛ්‍ය ගැන විමසිලිමත් වන්න. මුත්‍රා ගල් ඇතිවීමේ ඉඩක් ඇත.

හොඳින් ජලය පානය කරන්න. හිරු එළියේ ව්‍යායාම කරන්න.

* වඳුරා

පෙබරවාරි 40 පසු 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016 උපන් අයද 2028 උපදින අයට ද අයත් වන සත්වයා වඳුරාය.

වඳුරා හිමි අයගේ රැකියාවේ එතරම් වෙනසක් සිදු නොවෙයි. මුදල් උපයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වනු ඇත. මේ වෘත්තීය හැකියාවන් වැඩි දියුණු කර ගැනීමේ කාලයයි. එය අනාගත දියුණුවට උපකාරී වේ. වෘත්තීය දිවියේ වාසනාව උදා නොවන කාලයකි. නව රැකියා අවස්ථා උදා වුව ද ඒවා මඟ හරින්න. අලස වුවහොත් මුදල් වාසනාවට දොරගුළු වැසෙයි.

 චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.