ප්‍රධාන දොරටුවෙන් වාසනාව උදා කරගන්නේ මෙහෙමයි

නොවැම්බර් 29, 2024

ප්‍රධාන දොරටුව කියන්නේ නිවෙසක අතිශයින්ම වැදගත් කොටසක්. ඒ නිසා තමයි බොහෝ දෙනා එය කොස් ලී වැනි කිරි වෘක්ෂයකින් නිමවාගන්න මෙන්ම අනෙක් දොරවලට නැති තරම් උසක්, පළලක්, ගනකමක් ඇතිව තනා කැටයම් යොදා විශේෂ කරන්නට උත්සාහ කරන්නේ.

මෙසේ බොහෝ විට වැඩි වියදමක් පවා කරමින් සවි කරගන්නා ප්‍රධාන දොරටුව පිළිබඳ වාස්තු ශාස්ත්‍රානුකූලව සැලකුවත්, ෆෙන්ෂුයී ක්‍රමය යටතේ ගෙන බැලුවත්, ඒ කිසිවක්ම නොසලකා පොදුවේ දොරක් ලෙස ගෙන බැලුවත් එය නිවෙසේ පළමු අවධානය යොමු වන ස්ථානය බවට පත්වීම වළක්වන්න බෑ. ඒ වගේම ඔබ සුබ ශක්තීන් හා අසුබ ශක්තීන් පිළිබඳ යම් හෝ විශ්වාසයක් ඇති අයකු නම් නිවෙසකට සුබ ශක්තිය ඇතුළු වීම සහ ඒවා රඳා පැවැත්ම සම්බන්ධව වැඩි වගකීමක් දරන ස්ථානය වන්නේත් ප්‍රධාන දොරටුවයි. ඒ නිසා ප්‍රධාන දොර සහ ඒ අවට පිරිසුදුව, පිළිවෙළකට තබා ගැනීමත් අනවශ්‍ය බඩු බාහිරාදිය ඒ අසල රඳවා නොගැනීමත් නිවෙසට සිරිකත කැඳවීමට හේතුවක් වනවා.

මෙහිදී සුබ ශක්තිය යන්න වාස්තු විද්‍යානුකූලව අන්තරීක්ෂ ශක්තිය ලෙස හඳුන්වන බව අප දන්නවා. වාස්තු පිළිබඳ විශ්වාස නොකරන අයකු නම් මෙය වෙනත් විදියකින් අර්ථකථනය කළොත් පිරිසුදු වාතාශ්‍රය සහ විකෘති නොවූ තරංග සහ අයන වර්ග ලෙස සරලව හඳුනා ගත්තත් වැඩි වරදක් නෑ. අප පිළිගත්තත් නැතත්, කැමැති වුවත් නැතත් උතුරු දකුරු දිශානුගතව එන චුම්භක ශක්තිය වගේම අවකාශය පුරා පැතිර යන විවිධ තරංග අප අවට සැරිසැරීම වළක්වන්න බෑ. යම් ඝෝෂාකාරී ශබ්දයක් නිවෙස පුරා පැතිරීමෙන් අප අසහනකාරී තත්ත්වයකට පත් වනවා සේම සෞම්‍ය මියුරු සංගීතයකින් අපට රසවත් වන බවත් පැහැදිලි කරුණක්. එසේම දැඩි තාපයක් නිවෙසට පැමිණි විට අපට අපහසු වනවා සේම සමසීතෝෂ්ණ පරිසරයක් නිවෙසේ පැවතීම සතුටට හේතුවන බව පැහැදිලියි. ඒවාට බලපාන්නේ ද ශක්තිය සහ තරංග බැවින් සුබ ශක්තීන් සහ අසුබ ශක්තීන් ලෙස හඳුන්වන දෑ ද නිවැසියන් හට යම් බලපෑමක් කරන බව හඳුනා ගැනීම අපහසු වන්නේ නෑ.

සුබ ශක්තීන් නිවෙස තුළ සංසරණය වීම නිවැසියන්ට සතුට, නීරෝගීබව, සමෘද්ධිය ගෙන ඒමට බලපාන අතර අසුබ ශක්තිය එහි විරුද්ධ දෑ ගෙන එන බව විද්‍යාත්මකව වුව පැහැදිලි කළ හැකියි. අපිරිසුදු වාතය, තාපය, ඝෝෂාව ඇති තැන්වල මානසික සුවය අවම වීමෙන් සෞඛ්‍යය පිරිහීම, සතුට අහිමිවීම මෙන්ම ඒ නිසාම ක්‍රමයෙන් මුදල් අගහිඟතා මතුවී, අඬදබර ඇති වී පිරිහුණු ලක්ෂණ පහළ වන බව ඔබ අවට නිවෙස්වලත් ඕනෑතරම් දැක ඇති.

ඉතින් අපි බලමු කෙසේද මෙයට ප්‍රධාන දොරටුව දායක වන්නේ කියා.

පළමුවෙන්ම ප්‍රධාන දොර අසල ඉතා පිරිසුදුව ප්‍රිය මනාපව තබා ගැනීම වාසනාව කැන්දන්නටත්, ලක්ෂ්මියගේ බැල්ම ඇති කර ධනය, සෞභාග්‍යය උදා කිරීමටත් හේතු වනු ඇති. දොරකඩ ඉදිරිපිට දොරේ උස මෙන් දෙගුණයකට වඩා අඩු දුරකින් විශාල ගස්, කණු වැනි බාධක තිබීමත්, දොරකඩ සිට බලන විට වතුර වළක්, මඩවළක්, කුණු කසළගොඩක්, මිදුල අතුගා එකතු කළ කොළ රොඩු, වැසිකිළි ආදිය තැබීම නුසුදුසු බව සුබ අසුබ ශක්ති පිළිබඳ නොසැලකුව ද සාමාන්‍ය වශයෙන් පවා අවබෝධ වන කරුණක්. එසේම ප්‍රධාන දොර ඉදිරිපිට නිවැසියන්ගේ මෙන්ම අමුත්තන්ගේ පාවහන් තැබීම නිවෙසට එන සුබ ශක්තීන් වළක්වන පුරුද්දක් ලෙස සැලකෙනවා. එහි විද්‍යාත්මක පදනම වන්නේ සපත්තු සෙරෙප්පුවලට පෑගුණු විවිධ දෑවලින් එන විසබීජ ආදිය නිවෙසට ඇතුළු වීමට එයින් මඟ පෑදීමයි.

වාස්තු නියමයන් අනුව සැලකුවත් ප්‍රධාන දොරටුව නිවෙසේ අනෙක් දොරවල්වලට වඩා උසින් මෙන්ම පළලින් ද ගනකමින් ද වැඩි විය යුතුයි. ඒ වැඩිපුර සුබ ශක්තිය නිවෙසට ඇතුළු කරදීමට එමඟින් අවස්ථාව සැලසෙන නිසා. එසේ වූ පමණින් එය අනවශ්‍ය තරම් උස් වීමද ප්‍රතිපලය කනපිට හැරවීමට හේතු වන පිහිටීමක් විය හැකියි. මෙය තුලනය කර ගැනීමට බොහෝ දෙනා යොදන උපක්‍රමය වන්නේ පියන් දෙකකින් යුතු දොරක් ප්‍රධාන දොරටුව ලෙස භාවිත කිරීමයි.

ප්‍රධාන දොරට දක්වන වැඩි සැලකිල්ල නිසා සමහරු ඉතා සංකීර්ණ මෝස්තර එහි යෙදීමට උත්සාහ කරනවා. එය සුබ ශක්තීන් පරාවර්තනය කර හැරීමට හේතු විය හැකියි. එනිසා මෝස්තරයක් යෙදීම අත්‍යවශ්‍ය නම් හැකිතාක් චාම් අන්දමින් එය නිර්මාණය කර ගැනීම හෝ කිසිදු මෝස්තරයක් නැති දොරක් යෙදීමට හැකි නම් වඩාත් උචිතයි.

එසේම එය අංශක අනූවක්වත් කිසිදු බාධකයකින් තොරව විවෘත කළ හැකි විය යුතුයි. අංශක 180ටම විවෘත කිරීමට හැකි නම් වඩාත් යෝග්‍යයි. ඒ නිසා මල් පෝච්චි, මේස, පුටු ආදිය දොර ඇරීමට බාධා වන පරිදි තැබීමෙන් වැළකීමට වගබලා ගන්න.

ප්‍රධාන දොරේ උළුවස්සේ කිසිදු පලුද්දක් ඇති වන්න ඉඩ තබන්න එපා. එය පැල්මක් හෝ පතුරු යෑමක් හෝ සිදුරක් විය හැකියි. එවැන්නක් ඇත්නම් වහාම එයට පිළියම් යොදන්න.

ඊළඟ කාරණය ප්‍රධාන දොර ඉදිරිපිට සිටගෙන ගෙතුළ බලන විට මිදුල නැත්නම් පිටත පෙනෙන පරිදි ජනේල සහ දොරවල් එක එල්ලේ තැබීම ඉතා නුසුදුසුයි. එයින් සිදු වන්නේ ගෙතුළට එන සුබ ශක්තීන් වහාම එයින් පිට වී යෑමයි. එවිට එයින් ලැබෙන සුබදායී ප්‍රතිපල නැතිව යනවා. උදාහරණයක් ලෙස මල් හෝ හඳුන්කූරු සුවඳක් යැයි සිතමු. එ ඒ දොරෙන් ඇතුළුව මේ දොරෙන් පිටව ගියොත් නිවෙසට කිසිදු පලයක් නැතිවා හා සමානයි. එය ක්‍රමයෙන් ගේ තුළ සංසරණය වී ඉන්පසු සෙමෙන් ඉවත්ව යන විට ගෙතුළ සිටින අයටද සුවඳ ආග්‍රහණය කළ හැකි සේම සුබ ශක්තීන්වල බලපෑම ද නිවැසියන්ට ලැබෙන්නේ ක්‍රමයෙන් ශක්ති සංසරණය වන විටයි. එවැනි පිහිටීමක් තිබෙනවා නම් ඒ ජනේලය හෝ දොර තිර රෙද්දකින් වැසීමට හෝ කබඩයකින් ආවරණය කිරීම මඟින් අසුබ බලපෑම මඟහරවා ගන්න පුළුවන්.

ප්‍රධාන දොරට නාන කාමර හෝ වැසිකිළියක් පෙනෙන ලෙස තැබීම අසුබදායකයි. එයින් නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන බව පැවසීමේ විද්‍යාත්මක හේතුවකුත් තිබෙනවා. නාන කාමර හා වැසිකිළි යනු නිවෙසක විසබීජ සහ දුර්ගන්ධය වැඩිපුරම ඇති ස්ථාන. ප්‍රධාන දොර ඇති සාලය දෙසට එයින් වහනය වන වාතයේ මේ විෂබීජ ආදිය වැඩිපුර අඩංගු වීම එයට හේතුවයි. නිවෙසක් තනන විටම ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වන අතර තනා අවසන් නිවෙසක මේ තත්ත්වය පවතී නම් ප්‍රධාන දොරට පේන ලෙස වැසිකිළිය අසල පැළෑටි පෝච්චි කීපයක් තැබීම විසබීජ වැළැක්වීමටත්, දොර අසල සිට බැලීමේදී වඩා ප්‍රසන්න පෙනුමක් ලබා ගැනීමටත් හේතු වනවා. එසේම එම පැළැටි අසුබ ශක්තීන් වළක්වනවා.

මුළුතැන්ගෙය තුළ ඇති සේදුම් බඳුන (සින්ක්) හෝ උඳුන ප්‍රධාන දොරටුවට පෙනෙන ලෙස තැබීම ද ධන හානිවන ආකාරයේ අසුබ ශක්තිය ආකර්ෂණය කිරීමට හේතු වන්නක්. එහෙත් අලුත් නිවාස සැලසුම්වලට අනුව පෑන්ට්‍රිය සාලයටම පෙනෙන ලෙස සැකසීම මෝස්තරයක්. එවැනි අවස්ථාවක ළිප හෝ සින්ක් එක ආවරණය වන පරිදි කොට තාප්පයක් යෙදීම, පෑන්ට්‍රි කබඩයකින් එය ආවරණය කිරීම හෝ යම් තිර රෙද්දක් යොදා ගැනීම හොඳ උපක්‍රමයක්.

ඡ්‍යොතිෂය යනු හෙළා දැකිය යුතු ශාස්ත්‍රයක් නොවන්නේ එමඟින් ඇතැම්විට අපට නොපෙනෙන බලවේග ගැන කතා කරනවා සේම විද්‍යාත්මක වශයෙන් සරල පරීක්ෂණ, ඔස්සේ නිරීක්ෂණය කර නිගමනවලට එළැඹිය හැකි කරුණු ද ජනතාවගේ සුබසිද්ධිය සැලසීමට විවිධ ගුප්ත රස යොදා ඉදිරිපත් කර ඇති බැවිනි. කුමන හෝ විෂයයකින් අපට යහපතක් සිදු වන්නේ නම් එයින් ප්‍රයෝජන ලබාගෙන සාර්ථක දිවි පෙවෙතක් ගත කිරීම බුද්ධි ගෝචර වනු ඇත.

 

අරුණලු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.