වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
වාස්තු දොස් නැති වහලයක් තනා ගනිමු
නිවෙසක් ඉදිකිරීමේ දී බොහෝ දෙනා වැඩි වැඩියෙන් අවධානය යොමු කරන අංගයක් බවට එහි වහලය පත්ව තිබේ. බොහෝ වාස්තු ශිල්පීන් නිවෙසේ වහලය පිළිබඳ තීරණාත්මක අධ්‍යයනයන් සිදු කරන වාර අප දැක ඇත. එහිදී බාල්ක, යට ලී, පරාල, රීප්ප ආදිය මෙන්ම සෙවිලි වර්ග පිළිබඳවද තියුණු විග්‍රහයන් සිදු කරන බව පෙනේ. එබැවින් වහලය පිළිබඳව කිසියම් තුලනාත්මක විග්‍රහයක් සිදු කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැඟී තිබේ.
මනුෂ්‍ය දේහයේ උත්තමාංගය ලෙස වෛද්‍ය ක්ෂේත්‍රවල ශීර්ෂය (හිස) දක්වා තිබේ. ප්‍රතිකර්මයන් සිදු කරන අවස්ථාවන්හිදීත් හිස පිළිබඳව නිරන්තර අවධානයක් පවත්නා බව පෙනෙන්නට තිබේ. එයට ජෛවීය හේතු ගණනාවක් ඇති අතර අපගේ අධ්‍යයනයට යොමුවන ක්ෂේත්‍ර අනුව සැලකීමේ දී ශක්තිමය හේතුවක්ද පවත්නා බව කිව යුතුයි. එය නම් අන්තරීක්ෂ ශක්තිය වඩාත් බලවත් ලෙස මනුෂ්‍ය දේහයට ලැබෙනුයේ හිස ප්‍රධාන කරගත් ශරීරයේ ඉහළ කොටස් හරහා බව වටහා දීම අපහසු නැත.
මෙවැනිම උත්තමාංග ස්වභාවයක් ඒ අනුව ගෘහයක වහලයට හිමිවන බව වටහා ගැනීම අපගේ වාස්තු විෂයයටද අදාළ කොට දැක්විය හැකියි. නිවෙසකට අන්තරීක්ෂ ශක්තිය ලැබීමේ ස්වභාවය මෙන්ම එහි ශක්තිය රඳවා ගැනීම පිළිබඳව සැලකීමේ දී වහලයට හිමිවන ස්වාභාවික ප්‍රමුඛත්වය මේ අනුව තේරුම් ගත හැකියි. එවිට වහලයේ පල හෙවත් පැතිවල ස්වභාවයද අතිශයින් වැදගත් වන බව පැහැදිලියි. එසේ වුවත් මෙකී පැති ගණන සැලකීමේදී දිශාවනට ඇති වටිනාකම නොසලකා විවිධ ප්‍රකාශ කිරීමෙන් මෙකී වටිනා වාස්තුමය සාධකයේ වැදගත්කම මඳක් හෑල්ලු වන බව අප විසින් වටහාගත යුතුව තිබේ.
වහලයක බෑවුම උතුර, නැඟෙනහිර, ඊශාන යන දිශාවනට තිබීමෙන් වැඩි අන්තරීක්ෂ ශක්තියකින් ඒ වහලය බලගැන්වෙන බව ස්ථිර වන අතර දකුණ නිරිත, බස්නාහිර පැත්තට පවත්නා බෑවුම විසින් එවැනි අන්තරීක්ෂ ශක්ති බලගැන්වීමක් සිදු නොවේ. එසේ වුවත් නිවෙසක තනි පල වහලයක් යෙදීම උචිත නොවන්නේ කවර ආකාරයකින් හෝ නිවෙසට ඇතුළු වූ ශක්තිය පහසුවෙන් ඉවතට යා හැකි බැවිනි. මේ හේතුව නිසා යම් ඉදිකිරීමකට වහළයක් යෙදීමට සිදුවේ නම් එහිදී වහලයේ මුදුන වඩාත් නිරිතට ළං වන පරිදි (එනම් ඊශානයෙන් ඈත්වන පරිදි) පිහිටුවා ගැනීම අවශ්‍ය වේ.
එසේ වූ විට ඊශානය දෙසට ඇති වහලයේ පලය වඩාත් දිගු වන අතර වැඩි අන්තරීක්ෂය ශක්තියකින් වහලය බලගැන්වී පවතී. එවිට එකී බලගැන්වී ඇති වහලය නිරන්තරයෙන් නිවෙසේ ඇතුළට ශක්තිය මුදා හරිමින් නිවෙස් අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්තිය තීව්‍රතාව වඩ වඩාත් බලවත් කරනු ඇත.
එයට අමතරව වහලය වඩාත් උසකින් පිහිටුවීම නිසාත් වැඩි ශක්තියක් නිවෙසට බිත්ති හා බිත්තිවල පවත්නා කවුළු හරහාත් ලැබෙන බව ඉතා සරල කරුණකි. එබැවින් වහලය පැරණි ඉදිකිරීම්වලට වඩා උසකින් පිහිටුවාලීම වත්මන් වාස්තු භාවිතයේ පවත්නා ශුභවාදී සිදුවීමකි. එසේම ආරම්භයේදීම අප විසින් දක්වනු ලැබු බාල්ක, යටලී, පරාල ආදියෙන් නිවැසියන්ට ඇති කරන ශක්තිමය බලපෑමද වහලය වඩාත් උසින් පිහිටන විට අඩුවන බව වටහා ගත හැකියි. ඒ අනුව වඩාත් ඉහළින් පිහිටි වහලකින් නිවැසියන්ට ඉතා අඩු අශුභ කාලයක් ඇති වන බව තේරුම් ගැනීම අපහසු නොවේ.
මෙයට අමතරව වත්මන් නිවාසයන්හි වහලයක් සමඟ නිවසේ ඉදිකිරීම් අවසන් වන්නේ එයට සීලිමක්ද එක් කරමිනි. සීලිමෙහි පවත්නා පෙනුම, අලංකාරය, විවිධ කුණුරොඩු වැටීමෙන් ආරක්ෂාවීම ආදි ප්‍රයෝජනවලට අමතරව ඉහත කී වහලයේ අංගවලින් නිවැසියන්ට අත්වන අයහපත් බලපෑම් ඉවත් වීමද සිදුවන බව තහවුරු වී තිබේ. එසේ වුවත් පරාල ආදිය පෙනෙන පරිදි සකස් කරන වියදම් අධික අලංකාර සීලිම් භාවිතයෙන් පෙර කී අශුභ ශක්තීන්ගේ බලපෑම අඩුවීම සිදු නොවේ. එබැවින් අප විසින් සීලිමක් නිර්දේශ කිරීමේ දී කිසිදු රාමුවක් පිටතට නොගෙනන පරිදි වැසී යන අයුරින් එය නිර්මාණය කළ යුතු බව අවධාරණය කළ යුතු වේ. එසේ නොමැතිව රාමු පහළට පෙනෙන පරිදි සකස් කරන අවස්ථාවකදී කළ හැකි එකම විසඳුම නම් වහලය හැකිතාක් උසින් පිහිටුවීමට වෑයම් කිරීමයි.
මෙයට අමතරව වර්තමානයේ කොන්ක්‍රීට් භාවිතයෙන් පැතලි වහලයක් යෙදීමද අපේ රටටත් වඩා ඉන්දියාව භාවිත කරන බව පෙනෙන්නට තිබේ. මෙහිදීත් සිදු විය හැකි එක් අශුභ බලපෑමක් වන්නේ කොන්ක්‍රීට්වල ඇති යකඩ රාමුවලින් චුම්භක බලපෑමක් නිවස අභ්‍යන්තරයට ඇති වීමයි. එබැවින් එවැනි කොන්ක්‍රීට් වහලයක් යොදන්නට අපේක්ෂා කරන්නේ නම් හැකිතාක් ඉහළින් එය පිහිටුවීම අවශ්‍ය වේ. ශක්තිය රඳවා ගැනීමේ යම් අඩුවක් ඇතත් සියුම් ලෙස උතුරු, නැඟෙනහිර , ඊශාන දෙසට බෑවුම් කොට කොන්ක්‍රීට් තට්ටුව යෙදීමෙන් හොඳින් ශක්තිය ලබා වහලය බලගැන්වීමක් සිදු කළ හැකි බව ද සැලකිය යුතු වේ.
සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න