බෑවුමක නිවසක් ඉදිකිරීමේදී සැලකිය යුතු වාස්තු

සැප්තැම්බර් 15, 2023

සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේදී ඉඩම්වල හැඩ හා මතුපිට ස්වභාවය පිළිබඳව දීර්ඝ විස්තර ඇතුළත් වේ. එහෙත් ඒ ආකාරයේ සංකීර්ණ භාවිතයක් වර්තමානයේ ඉඩම් බෙදා වෙන් කිරීමේදී සිදු නොවේ. චතුරස්‍රාකාර, ත්‍රිකෝණාකාර හෝ ඒවායෙන් යන්තමින් වෙනස් වන හැඩතල කීපයකට පමණක් ඉඩම් මනින්නන් විසින් ඉඩම් බෙදීම සිදු කරන බව පෙනේ. එසේම ඉඩමේ මතුපිට ස්වභාවය ද කවරාකාරයේ විවිධ ස්වරූප ගත්තද ඒවා මත ඉදිකිරීමක් සිදු කරන විට එහිදීත් සරල, ස්වභාවයන් කීපයක් භාවිත කරන බව පෙනේ. එනම් කිසියම් දිශාවකට ඉඩමේ ජලය බැස යන පරිදි මතුපිට සකස් කිරීම සිදුවේ. මේ අනුව ප්‍රධාන දිශා හතර හා අනුදිශා හතරට පමණක් බෑවුම් තබා භූමිය සකස් කිරීමෙන් වර්තමානයේ මෙකී සරල මිදුලක් සැකසීම සිදු වන බව වටහා ගැනීම පහසුය.

මෙහිදී එදිනෙදා ජීවිතයට ප්‍රයෝජන ගත හැකි ආකාරයට ඉදිකිරීමක් සිදුකර ගැනීමේදී දැන ගත යුතු කරුණූු කීපයක් පිළිබඳව දැන් අපගේ අවධානය යොමු කරමු. ඒ අනුව නිරිතේ සිට ඊශානයට ජලය ගලා යන පරිදි භූමිය සැකසී ඇත්නම් එය අතිශයින් යහපත් ප්‍රතිඵල ලබා දෙන බව නිසැකයි. මෙයට අමතරව බස්නාහිර සිට නැඟෙනහිරටත්, දකුණේ සිට උතුරටත් ඉඩමේ බෑවුම පැවතීම යහපත් වේ. මේ තත්ත්වය ඉඩමේ පැරණි පැවති ස්වභාවයම වේ නම් අතිශයින් යහපත් ප්‍රතිඵල ලබා දෙන අතර පසුව හෝ එසේ සකසා ගැනීම යහපත් වේ.

බෑවුම පිළිබඳව මූලික සිද්ධාන්ත අවබෝධ කරගත් පසු එය සිදු වන ආකාරය පිළිබඳව තර්කානුකූල හේතු සාධක වටහා ගැනීමට යමකුට සිතෙන්නට පුළුවන. එබැවින් නූතන බටහිර විද්‍යාව පදනම්ව වැඩුණු නූතන වාස්තු විද්‍යාවේ එන පැහැදිලි කිරීම් පිළිබඳව යම් අවබෝධයක් තිබීම වැදගත් වේ.

මෙහිදී මූලික සිද්ධාන්තයක් ලෙස අන්තරීක්ෂ ශක්තිය ගලා එන ආකාරය පිළිබඳව අපගේ අවබෝධය යම් පමණකින් තිබිය යුතු වේ. එය සියුම්ව පැහැදිලි කර ගැනීම පසෙකට තබා ඊශාන දිශාවෙන් අප වෙත (සාපේක්ෂ වශයෙන්) අන්තරීක්ෂ හෙවත් විශ්ව ශක්තිය ගලා එන්නේ යැයි සිතමු. එසේ ගලා එන අන්තරීක්ෂ ශක්තිය ඉඩම වෙත ගලා එන්නේ ඊශාන දෙසින් නම් ඊශානය පහතින් පිහිටීම නිසා ඇති වන භූමියේ බෑවුම අන්තරීක්ෂ ශක්තිය පහසුවෙන් භූගත කරවා ගැනීමට අතිශයින්ම සුවිශේෂ සහනයක් සලසයි. එසේ නොවී නිරිත පහළින් පිහිටි විට ඊශානයෙන් සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය පොළොවට හොඳින් නොවැදීම නිසා භූගත වීමක් සිදු නොවේ.

මෙසේ අන්තරීක්ෂ ශක්තිය හොඳින් භූගත නොවුවහොත් පොළොවට දරා ගත හැකි ශක්තිය හෙවත් භූ ශක්තිය එතරම් බලවත් නොවනු ඇත. භූ ශක්තිය හොඳින් නිකුත් කරනු නොලබන නිවෙසක වැසියනට ලෞකික අරමුණූ ජය ගැනීම එතරම් පහසු නොවේ.

අන්තරීක්ෂ ශක්තිය හා භූ ශක්තිය මනුෂ්‍ය ශරීරයකට වැදගත් වන ආකාරය ද මඳක් පහදා ගැනීමට මේ සුදුසු අවස්ථාව යැයි සිතේ. මේ සඳහා ශරීරය වටා පවතින ශක්ති ශරීරය හෙවත් ඕරාව (ඒඋඅඒ) පිළිබඳව ද යම් සියුම් අවබෝධයක් තිබීම නොවැදගත් නොවේ.

ශක්ති ශරීරය යනු මනුෂ්‍ය ශරීරය වටා ක්‍රියාත්මක වන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකි. මේ ශක්ති ක්ෂේත්‍රයේ ස්වභාවය අනුව පුද්ගල ස්වභාවයේ සාර්ථකත්වය වටහා ගත හැකියි. මෙකී ශක්ති ශරීරය හා භෞතික ශරීරය මනාව එකම අක්ෂයක නොපිහිටා එකක් අනෙකෙන් විතැන් වූ විට භෞතික ශරීරයට ද බලවත් හානි ඇති විය හැකියි. (එය වෙනත් අවස්ථාවක වඩාත් විස්තර හා හේතු සහිතව පැහැදිලි කළ යුතු වේ.)

කෙසේ වුවත් පුද්ගලයකුගේ ශක්ති ශරීරය සකස් වීම කෙරෙහි අන්තරීක්ෂ ශක්තියත් භූ ශක්තියත් මහත් සේ බලපාන බව වටහා ගත් විට ඉහත කරුණු වඩාත් නිරවුල් වේ. අපගේ ශක්ති ශරීරයට ශක්තිය උරා ගන්නා ශක්ති කේන්ද්‍ර (චක්‍ර) ගණනාවක් (මූලිකව හතක්) ඇති අතර ඒවාගේ විවෘත භාවය හා සක්‍රිය භාවය මත එකී චක්‍රවල බලවත් වීම අඩු වැඩි වේ. ඒ ඒ චක්‍රයන් දුර්වල වූ විට එකී චක්‍රයනට අදාළ පුද්ගල කුශලතා හා නිපුණතා අඩු වන බව තහවුරුව තිබේ. ඒ අනුව පොදුවේ ඉහළ චක්‍ර අධ්‍යාපනික, ආධ්‍යාත්මික හා මානසික සාධක කෙරෙහි බලපාන අතර සිරුරේ පහළ චක්‍ර ලෞකික වූ මුදල්, ව්‍යාපාර, ඉතුරුම්, සැප පහසුව ආදිය කෙරෙහි ඍජුව බලපානු ලබයි. සිරුර මධ්‍යයේ (හෘදය ආශි‍්‍රතව පිහිටි) චක්‍රය හැඟීම් හා භාවයන් කෙරෙහි සංවේදී භාවයක් ජනිත කරයි.

මේ අනුව පෙනී යන්නේ ඉහත ආරම්භයේ දැක්වූ පරිදි ඊශානය, උතුර හා නැඟෙනහිර දිශාවන් පහතින් පිහිටි විට හොඳින් අන්තරීක්ෂ ශක්තිය භූගත වී භූ ශක්තිය බලවත්වීමක් සිදු වන බවය. එවිට ශක්ති ශරීරයේ පහළ චක්‍ර බලවත් වී යහපත් ලෞකික දියුණුවකට මඟ සැලසේ.

මේ අනුව අපගේ අවශ්‍යතා ඉටුකර දෙන ආකාරයේ ඊශානය, උතුර හා නැඟෙනහිර පහතින් පිහිටි ඉඩමක කෙරෙන ඉදිකිරීමක් අතිශයින් සාර්ථක වන අතර, එහි ජීවත් වන්නන්ගේ කටයුතුද මහත් සේ සාර්ථකත්වයට පත් වේ. එබැවින් මෙවැනි යහපත් පිහිටීමක් ස්වභාවිකව ලැබී නොමැති ඉඩමක වන ඉදිකිරීමකදී ආයාසයෙන් මුත් ඉඩමේ බෑවුම නිවරද කොට ගෙන ජීවත්වීම අතිශයින් වැදගත් වේ.

එසේ වුවත් විවිධ ප්‍රායෝගික හේතුන් මත (ප්‍රදේශයේ ජලය බැස යෑමේ දිශාව නිශ්චිත වී ඇති විට) පහසුවෙන් බෑවුම නිවරද කළ නොහැකි විට අපට යම් කානු පද්ධතියක් භාවිත කිරීමට සිදුවේ. භූමියේ බැස්ම නිවරද දිශාවට හරවා ඉඩමේ මායිම ඔස්සේ යොදා ඇති කානු පද්ධතියකින් ප්‍රදේශයේ ජල බැස්ම වෙත ඉඩමේ ජලය ගෙන යා හැකියි.

මෙසේත් බෑවුම නිවරද කර ගත නොහැකි කන්දක දකුණූ, බස්නාහිර, නිරිත බෑවුමක ඉඩමක නිවසක් ඉදිකිරීමටම සිදුවේ නම් එවැනි අවස්ථාවකදී අපතේ යන අන්තරීක්ෂ ශක්තිය යළි භූගත කරවා ගැනීමට පිරමිඩ ආශි‍්‍රත මෙවලම් අවසන් වශයෙන් භාවිත කළ හැකියි. ඒ අනුව ගුණන (Muljer) පිරමිඩ 18ක් යොදා ගැනීමට සිදුවේ. අදාළ නිවසේ නිරිත පැත්තේ ඇති බෑවුමට පිරමිඩ නවයක් එල් අකුරේ හැඩයට අඩි 1 -3 ක් පමණ පරතරයකින් යුතුව පොළොවේ තැන්පත් කළ යුතු වේ. එවිට එකී පිරමිඩවල තුඩෙන් නිකුත් වන ශක්ති කදම්බවලින් අපතේ ඉවතට යන අන්තරීක්ෂ ශක්තිය රඳවා ගැනීමක් මහත් සේ බලාපොරොත්තු විය හැකියි. එසේම තවත් පිරමිඩ 9ක් ඊශාන කෙළවරේ පේළි තුනකට මෙන් රැඳවීමෙන් පොදුවේ අන්තරීක්ෂ ශක්තිය හොඳින් ඉඩමට හා නිවසට ලැබීමෙන් නිවැසියන්ගේ ශක්ති ශරීර බලවත් වී සාර්ථකත්වය ළඟා වනු නිසැකයි.

 

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.