වහලේ පල ගණන ගෙදරට සුබ ද?

අගෝස්තු 11, 2023

වාස්තු ශාස්ත්‍රයේ විවිධ සංඛ්‍යාවන්හි පවත්නා ශුභා ශුභ තත්ත්ව පිළිබඳව සම්මුතීන් පවත්නා බව විස්තර කරන අවස්ථා බොහෝ ඇතත් ඒවා පිළිබඳ ශාස්ත්‍රීය විවරණයක් සිදු කරනු දක්නා නොලැබෙයි. මේ හේතුව නිසා විවිධ ගෘහ අංග පිළිබඳ කෙරෙන සංඛ්‍යාත්මක විග්‍රහයන් වෙනුවට විවිධ කරුණු පිළිබඳ මතකයන් නියමයන් ලෙස පවත්වාගෙන ඒම සුලබව සිදු වේ. එසේ වුවත් බොහෝ අවස්ථාවන්හිදී මෙවැනි සංඛ්‍යාවන්ගේ එතරම් බලපෑමක් ඇති බවක් නොපෙනේ.

නිදසුනක් ලෙස නිවෙසේ ඇති දොරවල් ගණන ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු අතර, ජනේල ගණන ඉරට්ටේ විය යුතු යැයි පවත්නා නිර්දේශය දැක්විය හැකියි. එහිදී ජනේල ගණන ඔත්තේ වූ විට සිදු කෙරෙනුයේ වැසිකිළි, නාන කාමර ආදියේ ඇති කුඩා එක් කවුළුවක් වෙනුවට තවත් කවුළුවක් එක් කිරීම වැනි දෙයකින් දෝෂය කල්පිතව විසඳා ගැනීමයි. එසේම පඩිපෙළේ පඩි ගණන ඔත්තේ විය යුතු යැයි පවත්නා නිර්දේශය වෙනස් වූ විට එය විසඳා ගැනීම සඳහා පහත මහලේ පඩිපෙළට ආසන්නයෙන් පඩියේ හැඩය හා ප්‍රමාණය සහිත බීම් උළු (Tile) කැටයක් සවි කිරීම සිදු කෙරේ. එවිට එය මිලිමීටර් කීපයක් උසින් වන පඩියක් සේ වීමෙන් යස,අයස, යස, අයස ලෙස පඩි ගනිමින් ආ බරපතළ අයස දුරුවන්නේ යැයි සිත සනසා ගැනීම අපට නිරතුරු දක්නට ලැබේ. මෙවැනි සංඛ්‍යා සම්මුතින්ගේ පවත්නා නිරර්ථකභාවයන් වටහා දීම සඳහා මෙබඳු බොහෝ නිදසුන් ඉදිරිපත් කළ හැකියි.

එපරිදිම වහලේ පල ගණන පිළිබඳවද කෙරෙන සංඛ්‍යාත්මක ගණනය එතරම් වැදගත් නොවූවත් එබඳු පලයන්ගෙන් ඇති කරන බලපෑම් පිළිබඳව නම් අපගේ අවධානය අතිශයින්ම වැදගත් වේ.

නිවෙසක වහලය හතර පලවීම හෝ දෙපල වීමේ කිසිදු වරදක් ඇතැයි කිසිදු ශිල්පියකු නොදන්නා බව සලකා පල සංඛ්‍යාව ඉරට්ටේ විය යුතු යැයි සිද්ධීන් ඇසුරින් සිද්ධාන්තයක් ගොඩනඟා ගත හැකියි. එසේ වුවත් මේ පල ගණනේ භෞතික ශක්තීමය බලපෑම විග්‍රහ කර බැලීමකින් මිස නිශ්චිත යම් නිර්දේශයක් ඉදිරිපත් කිරීම උචිත නොවේ.

වහලයකින් සිදු වන්නේ භෞතික පරිසරයෙන් කෙරෙන ශක්තිමය වෙන් කිරීමක් බව ඉතාම පැහැදිලි කරුණකි. එය අන්තරීක්ෂ (Cosmic) ශක්තිය ලබා ගැනීමකින් හා රඳවා ගැනීමකින් පමණක් නොව ක්‍රමික ශක්ති රටාවක් නිර්මාණය කිරීමේදීත් අතිශයින් වැදගත් වේ. දෙපල හතරපල වැනි වහල සැකසීමේදී වහලයේ පවත්නා සමමිතික (Symetric) ස්වභාවය නිසා ශක්තීන්ගේ සමාකාර හා කැළැඹිලි අවම වන ස්වභාවයක් දක්නට ලැබේ. මෙැවනි නිසල ශක්ති රටාවන් විසින් නිවැසියන්ගේ ශක්ති ශරීරයට (Aura) ඇති කරන බලපෑම අතිශයින් යහපත් එකකි. එබැවින් වහල පලවල ස්වභාවය නිසා ශක්තිමය කැළඹීම් ඇතිවීම වැළකෙන පරිදි වහල නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

වහලයේ පලයන් ගණන තුනක් වූ විට අප ඊට එකතු කළ යුතු දිශාමය විග්‍රහය ද ඉතා වැදගත් වේ. එහිදී තුන්පල වහලයක බෑවුම් පැති ලෙස බස්නාහිර උතුරු නැඟෙනහිර හෝ උතුර නැඟෙනහිර දකුණ උචිත වුවත් නැඟෙනහිර - දකුණ, බස්නාහිර හෝ දකුණ - බස්නාහිර – උතුර හෝ වීම ශක්තිමය ලෙස උචිත නොවේ. මෙහිදී ගොඩනැගෙන ශක්ති රටාවන්ගේ තීව්‍රතාවන් (Intensity) වැඩි විය යුත්තේ දකුණ, නිරිත, බස්නාහිරේ වන බව මෙහිදී සලකා බැලිය යුතුවේ. මෙයින් ඔබ්බට පල සංඛ්‍යාව වැඩි කිරීමේදීත් මෙපරිදිම ශක්තිමය විශ්ලේෂණයක් නොකොට නිර්දේශ ඉදිරිපත් කිරීම දරාගත හැකි ගතානුගතික ස්වභාවය ඉක්මවා යෑමකි.

එසේ වුවත් විවිධ අලංකාර සංකල්ප සමඟ සංකීර්ණ කර ගත් ගෘහ නිර්මාණයන්ගේ පල ගණන වැඩි කිරීමට අපට වන අවස්ථා බොහෝ වන බවද අපගේ සැළකිල්ලට ලක් විය යුතු වේ. මෙහිදි අප විසින් මෙපරිදිම සියුම් ශක්තිමය විශ්ලේෂණයක් සිදු කරමින් ඉතාමත් පැහැදිලි ශක්ති ගතිකයක් (රටාවකට) ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙකී පල සංඛ්‍යාව පිළිබඳ කරුණු අදාළ වන්නේ සීලිමක් නොමැති ශක්තීන් විනිවිද යන සීලිමක් සහිත හා වහළයේ හැඩයටම සැකසූ සීලිමකින් යුතු අවස්ථා සඳහා පමණි. නොඑසේම පල ලී ඝන සීලිමක් සහිතව වහල සකස් කළ විට කෙතරම් වහලය සංකීර්ණ කරනු ලැබූව ද අශුභ ශක්ති ගතිකයක් හට නොනගියි. එසේම වහලයේ පවත්නා විවිධ මූට්ටු කුරුපා ආදියේ බලපෑම්ද නිවැසියන් කෙරෙහි නොවන බැවින් අතිශය සරල ශක්තිමය විශ්ලේෂණයක් ප්‍රමාණවත් වේ. එසේම උඩුවියන් යෙදීමකදී ඝන රෙදිවලින් එය සිදු කරන්නේ නම් එයින්ද වහලයේ පවත්නා දෝෂ තත්ත්වයන් තාවකාලිකව හෝ වළකා ගත හැකියි.

මෙයට අමතර පලයන් නොයෙදෙන පැතලි වහල සහිත අවස්ථාවන්ද භාරතයේ බහුලවත් අපේ රටේ මෑතකත් සුලභ බවක් දක්නට ලැබේ. මෙවැනි පැතලි වහල යෙදූ විට ඇති වන ශක්තිමය ස්වභාවය පෙර කී පැතලි සීලිමේ ස්වභාවයට බොහෝ සෙයින් සමාන වේ. එසේ සලකා බලමින් ශක්තිමය විශේලෂණයකින් කිව හැක්කේ වඩා යහපත් වන්නේ පල සහිත වහල යෙදීමකට වඩා පල රහිත (පැතලි) වහල සැකැස්මක් බවයි. එහිදී පැතලි වහලයේ ජල බැස්ම උතුරට හෝ ඊශානයට හෝ නැඟෙනහිරට පිහිටුවීම නම් අනිවාර්ය වූවකි.

කොන්ක්‍රීට්වලින් තනන සුලභ උඩුවහල (අධධට ඊධන) අද තවත් කොටසක් වහලයක් සහිතව යොදන අවස්ථාව ද බහුලව පවතී. විවිධ සැපයුම්, සේවා හා ගබඩා අවශ්‍යතාවන් සහිත කාමරයක් හෝ කාමර කීපයක් සමඟ පෙර කී උඩුවහල යෙදීමක් අද දක්නට ලැබේ. එවැනි අවස්ථාවකදී ඉහළ ජල ටැංකි (එචබඥප ඊචදඬඵ) ආදියද එකී උඩුවහලෙහි යොදා ඇති බව ද පෙනේ. මෙබඳු අවස්ථාවක දී එවැනි කාමර ආදිය පැතලි වහලය මත පිහිටුවීමේදි දකුණ, නිරිත හෝ බස්නාහිර ඒ සඳහා යොදා ගත යුතු අතර, උතුර, ඊශාන, හෝ නැඟෙනහිර එවැනි කාමර පිහිටුවා අන්තරීක්ෂ ශක්තියට කිසිදු බාධාවක් පැමිණවීම උචිත නොවේ.

පැතලි කොන්ක්‍රීට් වහල යෙදීමේදී කරුණු කීපයක් පිළිබඳව ඉංජිනේරුමය වශයෙන් මෙන්ම ශක්තිමය (වාස්තුමය) වශයෙන් සැලකිල්ලට ගත යුතු වේ. එය නම් එකී වහළ පිහිටුවිය යුත්තේ හැකිතාක් උසින් උපරිම අවකාශයෙන් හිමි කර ගත හැකි පරිදි වීමයි. එසේ වහලය උසින් පිහිටුවීමෙන් වාතාශ්‍රය, ආලෝකය ආදිය මැනවින් ලබා ගැනීමත්, බාහිරින් වහල රත්වීම නිසා ඇතුළත ඇති වන දැඩි උණුසුම අවම කර ගැනීමක් සිදු කර ගත හැකි අතර, කොන්ක්‍රීට් වහල හෝ වෙනත් රාමු නිසා ඇති කෙරෙන ශක්ති ක්ෂේත්‍රයන්ගේ ප්‍රබලතාවද (Energy Field Strength) අඩු වේ. එහිදී නිවැසියන්ගේ ශක්ති ශරීරයේ ඉහල,කොටස්වලට අශුභ බලපෑමක් ඇති නොවේ.

මේ සියලු හේතුන් නිසා වහලෙ පල සංඛ්‍යාව පිළිබඳව ස්මරණීය නිර්දේශ වෙනුවට විශ්ලේෂී නිර්දේශයන් ඉදිරිපත් කිරීමට වාස්තු ශිල්පීන් කටයුතු කළ යුතු බව අවධාරණය කළ යුතුවේ.

 

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.