ගහ කොළ සතු විස්මිත වාස්තු බලය

අගෝස්තු 4, 2023

අප අවට ඇති පරිසරයේ පවත්නා විවිධ ශක්ති ක්‍රියාවලීන් විසින් මනුෂ්‍ය ජීවිතය වෙත ඇති කරනු ලබන විවිධ බලපෑම් නූතන වාස්තු විද්‍යාව යටතේ පුළුල්ව විග්‍රහ කෙරේ. මෙය විශ්වකර්මයන්ගේ මූලික වාස්තු අර්ථකථනයටද මූලිකව එකඟත්වයක් ඇති බවද කිය යුතුයි. “වාසය යෝග්‍ය ස්ථානයක් කරනු සඳහා” වූ ශාස්ත්‍රය ලෙස වාස්තු ශාස්ත්‍රය හඳුන්වනු ලැබීම මෙහිදී සිහිපත් වේ.

නූතන වාස්තු විද්‍යාවේදී අප නිරතුරු සාකච්ඡා කකරන අන්තරීක්ෂ (Cosmic) ශක්තිය, භූ (Earth) හා චුම්බක (Magnetic)  ශක්තිය මෙහිදීත් අපට මෙකී පරිසරයේ පවත්නා ක්‍රියාවලීන් වටහා ගැනීමට ඉවහල් වේ. එයට අමතරව අද වන විට පොළොවෙන් මතු වන භූ ව්‍යාධි (Geopathic Stress)  වැනි ස්වභාවික අහිතකර ශක්තීන් සේම මිනිසා විසින් නිර්මාණය කර ගත් විද්‍යූත් මෙවලම් ආදියෙන් ඇති කරන අහිතකර ශක්තිමය බලපෑම් පිළිබඳවද විටින් විට අපගේ ඍජු බලපෑම් එල්ල වී තිබේ.

මෙවැනි තත්ත්වයන් මෙන්ම ඍෂි භාෂිතයෙන් උකහා ගත් දිශාවනට ඇතුළත්වය දක්වන පංච මහා ධාතූන් පිළිබඳ අවධානය ද මෙහිදී අපට වැදගත් වේ.

මේ අනුව දැන් අපි ගහ කොළ විසින් අප වෙත ඇති කරන විවිධ බලපෑම් පිළිබඳව යම් විමසීමක් සිදු කරමු. පොදුවේ දැවැන්ත වනස්පති වෘක්ෂ විසින් අපගේ පරිසරයට බරපතළ ලෙස අපට ඈතීන් ක්‍රියාකර ශක්ති ධාරාවන් සමීප කරදීමක් සිදු කර දෙයි. ඉතා ඉහළින් චලනය වන වලාකුළු ආදිය විනිවිදිමින් අයන ක්‍රියාවලීන් හරහා වර්ෂාව අම්ලකර වායුව ආදිය ලබාදීමේ සිට විවිධ ශුභ ශක්තීන් භූ ගත කර දෙන මෙකී වනස්පති (දැවැන්ත) වෘක්ෂයන් කීපයක් තිබුණත් පරිසරයේ ශක්තිමය බලපෑම් අප අවට පරිසරය වෙත ගෙන ඒම අපගේ ඇගයීම මීට වඩා පුළුල්ව සිදු විය යුතුව තිබේ.

අප අවට ඇති පරිසරයේ පවත්නා දැවැන්ත වෘක්ෂ අතර ඇසතු (බෝ) ගසට ඇත්තේ සුවසෙස් හැකියාවකි. විවිධ බාහිර බලවේග විසින් බෝගස නිවෙස් ඇසුරේ සිටුවීම හෝ තිබීම ලෞකික කාර්යයනට බාධාවකැයි පතුරුවනු ලැබූ මිථ්‍යා මතය නිසා අපි බෝගස පන්සලට සීමා කර කොටුකර තබා ඇතත් එවැනි ගස්වලින් අපට ලබා ගත හැකි පිහිට සුළුපටු නොවේ.

ජේ.එම්. ෆිල්පොට් මැතිනි විසින් අතීතයේ සිට මේ දක්වා වෘක්ෂ වන්දනාව තරම් අඛණ්ඩව පවත්නා වන්දනා විධින් නොපවත්නා බව පිළිබඳ ප්‍රකාශය ඒ එම්. ආර්.බෝපෙගෙදර මහත්මා එතුමන්ගේ “විද්‍යාවෙන් ඔපවෙන අපගේ විශ්වාස හා ඇදහිලි නම් කෘතියේ පෙන්වා දෙයි. පොදුවේ පැවති වෘක්ෂ වන්දනාව බුද්ධිමත් හා විධිමත් පරිවර්තනයක් ඔබට බෝධි පූජාවන්හිදී පත්ව ඇති බව මහාචාර්ය මයිමර්තුමන් තවදුරටත් පැහැදලි කර දී තිබේ.

මෙහිදීද පොදුවේ වනස්පති වෘක්ෂවලින් සිදුකරන පෙර කී බලපෑම්වලට අමතර දිගු නැට්ටක් සහිත පත්‍ර පිහිටා තිබීම නිසා ඒවායේ වේගවත් චලනය නිසා ඇතිකරන අයනීකරණ ක්‍රියාවලිය බලවත් ලෙස පරිසරයේ හිතකර අයන සාන්ද්‍රණයක් නිර්මාණය කරනු ලබයි. මෙය වඩාත් තීව්‍ර කරනුයේ ඉතා තියුණුූ ලෙස දිගට සකස්වී පහතට දිගුවූ පවත්නා බෝ කොළයේ තුඩ නිසා ය. එබැවින් වන්දනා කළත් නොකළත් බෝ ගසක් අවට හැසිරීමෙන් ශරීරයට නොසිතූ විරූ සුබ බලපෑමක් ඇති වන බව තහවුරු කළ හැකිවේ. කුඩාවට සකස් කර ගනු ලබන බෝ පැළ නිවසක අභ්‍යන්තරයේ ආලෝකය, වාතාශ්‍රය, හිරුඑළිය ලැබෙන තැනෙක තබා ගැනීමෙන් පවා විස්මිත බලපෑමක් ඇති වන බව සැලකිය යුතු වේ. එහිදී ජපන් බොන්සායි ක්‍රමයේදී මෙන් මුල් කැපීම වෙනුයට පුරාණ බෝධිඝරයන්හි මෙන් මුල පහළට යෑම පාලනය කිරීම හා මුල් පොළොව මතුපිටට ගෙන ඒම මඟින් ගසේ උස අහිංසකව පාලනය කළ හැකියි. එවිට ශාකයද පීඩාකර නොවන පරිදි නිවැසියන් ඇසුරේ මිත්‍රශීලිව පවතිනු ඇත.

හින්දු විශ්වාසයන් සමඟ අපට ලැබුණූ අපේ පැරැණි භාවිතයේ කුඩා හීන් මදුරුතලා නම් පැළය ඉතා පහසුවෙන් බෝ කර ගත හැක්කකි. එය තුලසි නමින් භාරතීයයන්ගේ පූජනීයත්වය පාත්‍ර වූවකි. ශාක පත්‍ර හරිත වර්ණයෙන් යුතු මදුරුතලා ලක්ෂ්මී තුලසි ලෙසත් පත්‍ර දම් පැහැ වූ පැළ කෘෂ්ණ තුලසි ලෙසත් හින්දුන්ගේ ව්‍යවහාරයේ පවතී. මෙකී ලක්ෂ්මී තුලසි ධන ආකර්ෂණයටත්, කෘෂ්ණ තුලසි සියල්ලන් අතර සෙනෙහස වඩවන බවත් විශ්වාස කරන අතර හොඳින් රෝපණය කර ගත් හීන් මදුරුතලා ශාකයේ පවත්නා සුවිශේෂ ශක්ති ශරීරය කිරිලියන් ඡායාරූප ආදියෙන් මැනැවින් පිරික්සා තක්සේරු කර ගත හැකියි.

මිහිරි සුගන්ධයක් හිමි කර දෙන සපුෂ්ප (මල්පිපෙන) ශාක නිවෙසේ පරිසරයේ පැවතීම හිතට සතුටක් එක් කරනවාට අමතරව පහත් ආත්මයන්ගේ බලපෑම අළුතෙන් ඈත් කර තබන බවද නූතන බටහිර විද්‍යාත්මක උපකරණවලින් පවා පැහැදිලිව පෙන්වා දිය හැකියි. විශේෂයෙන් ඊශානයේ, නොහැකිනම් නැඟෙනහිර හෝ උතුරු දිශාවන්ගේ සුවඳවත් ශාක සිටුවීමෙන් මේ ශුභවාදී තත්ත්වය වඩ වඩාත් බලවත්ව අපට දැනෙන්ට පටන් ගනී.

පොදුවේ වාස්තු සිද්ධාන්තයක් ලෙස මල් පිපෙන (පුෂ්ප අරණ) ශාක මෙන්ම ඖෂධීය (ඔසු අරණ) ශාක පෙර කී ඊශාන, නැඟෙනහිර හා උතුරු දිශාවන්හිදී අතිශයින් ශුභ ප්‍රතිඵල හිමිකර දෙන අතර, අන් දිශාවන් සඳහා ද අනුචිත නොවේ. එසේම ගෙඩි හැදෙන (ඵල දරණ) ගස් සඳහා උචිතම දිශාව වයඹ වන අතර වඩ වඩාත් ඵල දැරීමත්, සිදු වන බව අත්දැකීමයි. ගිනිකොන දිශාවේද මෙවැනිම ශක්ති ස්වභාවයක් පවත්නා බැවින් ගෙඩි හැදෙන ගස් සිටුවීම උචිත වන අතර නරක් වූ ගෙඩි වැටීමෙන් වන අපවිත්‍රතාවන්ගේ බලපෑමක්ද අපට හිමි නොවේ.

වත්මන් සමාජයේ වැඩි වැඩියෙන් අභ්‍යන්තර ගෘහ අලංකරණ මෙවලමක් බවට බඳුන්ගත පැළ රෝපණය දක්නට ලැබේ. ඒවා කෙතෙක් කල් නොමැරී පැවතුනද අපට නොදැනෙන පීඩාකාරි ශක්තීන් ඇති නොවනු පිණිස ස්වභාවිකව අවශ්‍ය පේෂණය (වාතාශ්‍රය, ආලෝකය, ජලය පොහොර ආදී) ඒවාට ලබාදීම අත්‍යාවශ්‍ය වේ. ඒවායේ ඇතිවන පීඩාව නිවැසියනට ද අහිතකරව බලපාන බව සිතීමට අපි පුරුදු විය යුතු වෙමු.

ජනේල කවුළු, ඇසුරේ මෙවැනි ශාක පිහිටුවීම නිසා පිරිසුදු වාතය නිවස අභ්‍යන්තරයට ලැබීම සුවිශේෂ වාසියක් වනවා මෙන්ම වාස්තුමය ශක්තීන්ගේ බලපෑමද නොසිතුවිරූ ලෙස වර්ධනය වන බව දත යුතුයි.

පොදුවේ කිසියම් අන්සතු බලපෑමක් ඇතැයි දැනෙන තැන්වල විශේෂයෙන් හා පොදුවේත් වැදගත්ම වන සුවිශේෂ සුගන්ධවත් පැළයක් ලෙස රෑ කුමාරි පැළය හඳුන්වා දිය මහැකියි. මෙහි මල් පිපී සුවඳවත් වන්නේද අඳුර වැටී අශුභ බලපෑම් සක්‍රිය වන අවස්ථාවන්හිදී වීමත් අපගේ වැඩි සැලකිල්ලට හේතු විය යුතුයි. රෑ කුමාරි උසට වැඩෙන ශාකයක් නිසා අඩි පහකට පමණ උදාකර නොයන පරිදි හා පැතිර යන අතු ඉති සහිතව වන පරිදි කප්පාදු කර සකස් කර ගැනීමත් නිවැසියනට ඇති කරන හිතකර බලපෑමට දැවැන්ත සහායක් වේ.

මුදල් ගස් ( Money Plant)  ලෙස චීන ප්‍රවේශයකින් භාවිතය පැමිණි පැළ පිළිබඳව සමාජය මෑතක සිට යම් අවඥාවක් පළ වුවද ඒවායේ පවත්නා ශක්ති ශරීරය (ඒභපච) පරික්ෂා කිරීමෙන් ශක්තිමය ලෙස පරිසරය බලවත් කිරීමේ හැකියාවක් ඊටද ඇති බව අපගේ සැළකිල්ලට යොමු විය යුතුවේ. එසේම කෙතරම් අලංකාරයට වැඩුණද පතොක් වැනි ලොකු කුඩා ශාක කිසිවක් නිවස අභ්‍යන්තරයේ හා නිවැසියන් සමීපයේ සිටුවීම හිතකර නොවනු ඇත. මෙකී ශාක මනාව කළමනාකරණයෙන් වාස්තු විධිමත් කරමින් සාර්ථක දිවිපෙවෙතක් උදාකර ගත හැකියි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.