බල්ලන් බළලුන්ගෙන් හෙළිවන සුබ අසුබ ශක්ති

ජූලි 28, 2023

සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේ මූල ග්‍රන්ථයක් වූ “විශ්ව කර්ම ප්‍රකාශයට” අනුව බැලුවද වාසය වඩා යෝග්‍ය ස්ථානයක් කරනු සඳහා වන ශිල්ප හඳුන්වා දෙනුයේ වාස්තු ශාස්ත්‍රයෙනි. ඒ අනුව අප විසින් අද වන විට සමාජය පත්ව ඇති සංකීර්ණ තත්ත්වයන් මැනැවින් සළකා බලමින් නූතන විශ්ව කර්ම ප්‍රකාශයක් ලිවිය යුතුව ඇත.

එසේ වාස්තු ශාස්ත්‍රය පිළිබඳව නව දැක්මක් අවශ්‍ය යැයි අවධාරණය කිරීමට සිදු වී ඇත්තේ විවිධ ආගන්තුක ශක්තීන් රැසකගේ භාවිතයන් අපගේ අධ්‍යයනයට ලක් විය යුතු බැවිනි. ඒ අතර ප්‍රමුඛතම ශක්ති ක්‍රියාවලින් අපට ලැබෙනුයේ නූතන විද්‍යූත් මෙවලම් භාවිතය හේතුවෙනි. මෙහිදී සිදුවන සමස්ත ක්‍රියාවලිය විස්තර කිරීමට මෙය අවස්ථාව නොවෙතත් අද අප භාවිතයට ගන්නා මෙවලම් නිසා හට ගනු ලබන විද්‍යූත් මීදුව (ELECTRO SMOOG)  පිළිබඳව පවා යම් අධ්‍යයනයක් කිරීම නම් අත්‍යවශ්‍ය වේ. එයට හේතුව වන්නේ ශාරීරික, මානසික භාවමය හා අධ්‍යාත්මික වශයෙන් අපගේ ජීවිත වියවුලෙන් වියවුලට පත් කරන ස්වභාවයක් මෙකී විද්‍යූත් මිදුව නිසා ඇති වන බැවිනි. මෙහිදී අප විසින් අපගේ ශරීර ස්වභාවය හා ක්‍රියාකාරිත්වය පිළිබඳවත් යම් අවබෝධයක් ලබා සිටීම ද අත්‍යවශ්‍ය වේ.

නිරන්තරයෙන් අද සාකච්ඡාවට ලක්වී ඇති ශක්ති ශරීරය Energy body) හෙවත් ප්‍රභා මණ්ඩලය (Aura) පිළිබඳව කෙරෙන දීර්ඝ විවරණයෙන් අල්ප කොටසක් වුවද මෙයට ඇතුළත් කර ගත හැකියි. මෙකී ශක්ති ශරීරය ඍජුවම භෞතික ශරීරය සමඟ බද්ධව ඇති බවද අමුතුවෙන් කිය යුතු නොවේ. මේ ද්වන්ධයටම බලවත් ලෙස පෙර කී විද්‍යූත් විදුව තදින්ම බලපාන බව පර්යේෂණාත්මකව ද තහවුරු කොට පෙන්වා දිය හැකියි.

මේ අනුව අප විසින් නිරන්තරයෙන් භාවිතයට ගන්නා වායු සමීකරණ යන්ත්‍රවලින් ඇති කරන විද්‍යූත් මිදුවට මැදි වන මනුෂ්‍යයා පත් වන පීඩාකාරි තත්ත්වය විමසා බැලීම පවා බියකරු බව අවධාරණය කළ යුතුව තිබේ. මෙය තවදුරටත් පැහැදිලි කර ගැනීමට මෙකී විද්‍යූත් මිදුව නිසා ඇතිවන ජෛව රසායනික ක්‍රියාවලිය ද මඳක් විමසා බලමු. විද්‍යූත් මිදුව නිසා හට ගන්නා ධන ආරෝපණ ධාරා හා සුළි මනුෂ්‍ය ශරීරය වටා සක්‍රිය වීම නිසා ශරීරයේ බාහිර පෘෂ්ඨය ක්ෂණිකව ධන ලෙස ආරෝපණය වන්නට පටන් ගනී. කාලයත් සමඟ මේ තත්ත්වය ශරීර අභ්‍යන්තරය විනිවිද යෑමත් සමඟ පොදුවේ ශරීරයේ ධන ආරෝපණ ඝනත්වය වැඩි වේ. මෙය ශරීර ක්‍රියාකාරිත්වයට බරපතළ ලෙස බලපාන අතර, විශේෂ රෝග තත්ත්ව ගණනාවක් දක්වා පැතිර යන බව තහවුරුව තිබේ.

මේ තත්ත්වයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ බටහිර වෙද්‍යෙවරයකු වන ඔටෝ (Dr.Otto) විසින් මෙය ආපසු හැරවූ විට එනම් ධන ආරෝපණ වෙනුවට ඍණ ආරෝපණ සහිත මධ්‍යයකදී පිළිකා සෛල නොවැඩෙන බව තහවුරු කොට ප්‍රකාශ කළේය. ඒ සඳහා එතුමන් නොබෙල් ත්‍යාගයෙන් පවා 1931 දී පිදුම් ලැබීය. පිළිකාව පමණක් නොව අපේ රටේ සුලභ හෘදයාබාධ, දියවැඩියා ආදී රෝග තත්ත්වයනට පවා ඍණ ආරෝපණ සහිත පරිසරය කෙතරම් ඵලදායි දැයි සිතීමට කාලය අද පැමිණ තිබේ.

මිල අධික ප්‍රතිකාර හරහා ශරීරය ඍණ ආරෝපිත තත්ත්වය වෙත ගෙන එනු වෙනුවට අපගේ වාසය වඩා යෝග්‍ය ස්ථානයක් කිරීමේ වාස්තු ශාස්ත්‍රය භාවිත කළ හැකි ආකාරය වටහා ගැනීමද ඉතා වැදගත් වේ. ඒ සඳහා නිදසුන් සැපයිය හැකි ආදර්ශ ස්ථාන කීපයක්ද අපගේ අවධානයට යොමු වී තිබේ.

විවිධ විද්‍යූත් මෙවලම් වැඩි වැඩියෙන් භාවිත කරන්නන් මුහුදු වෙරළ, දිය ඇලි වැනි දිය බිඳිති, විසිර යන ස්ථාන, බෝ ගස් වැනි වනස්පති වෘක්ෂයට මේ ඍණ ආරෝපණ නොමිලේම ආනායාසයෙන් ලබා ගත හැකි බව අප වටහා ගත යුතුව ඇත. ආගමික අර්ථයකින් නොවුවත් ඇසතු බෝධියක් යට පැය කීපයක් ගත කිරීමෙන් ලබන ආධ්‍යාත්මික සුවය යටින් භෞතික ජෛව රසායනික විසඳුමක්ද ඇති බව අප වටහා ගත යුතුව තිබේ.

අද සංකීර්ණ සමාජයේ මිනිසුන් එකිනෙකා කෙරෙහිවත් වැඩි අවධානයක් නොමැති තත්ත්ව යටතේ සුරතල් සතුන් පිළිබඳව සැලකිල්ලක් දැක්වීම අපේක්ෂා කළ නොහැක්කකි. එහෙත් අපට පරිසරයේ ඇති ගහ කොළ විසින් ලබා දෙන පෙර කී විද්‍යාත්මක ආශිර්වාදය මෙන්ම බළලුන් වැනි සුරතල් සතුන් ලබා දෙන ශාන්තිය කෙරෙහිද අද අපගේ අවධානය වැඩි වැඩියෙන් යොමු විය යුතුව තිබේ.

අපි නූතන වාස්තු විද්‍යාවේදී නිරන්තරයෙන් අන්තරීක්ෂ (Cosmic)  ක්‍රිම්භක (MAGNETIC) හා භූ (EARTH) ශක්තිය පිළිබඳ කරුණුූ දක්වා ඇත්තෙමු. භූ ශක්තිය යනු අන්තරීක්ෂ ශක්තියේ අතිරික්තයක් ලෙස ගබඩා වී නිකුත් වන්නක් ලෙසත් විග්‍රහ කර ඇත්තේමු. මේ ශක්තීන් පොදුවේ මනුෂ්‍යයාට ශුභවාදීව යොදා ගත හැකි වුවත් එසේ නොවන අහිතකර ස්වභාවික ශක්තීන්ද පවත්නා බව අප විසින් අමතක කළ යුතු නොවේ. ඒවා අතරින් පොළොවෙන් උපදින අහිතකර ශක්තීන් අපි භූ ව්‍යාධි (GEOPATHIC STRESS)  ශක්තීන් ලෙස හඳුනා ගනිමු. මේවා රේඛීයමය ස්වභාවයකින් පොළොවේ පවත්නා බව පෙනේ. මීටර් 2 2 1/2ක් පමණ පරතරයකන් යුතුව මෙවැනි ජාලයක් පොළොවේ ඇති අතර ඒවා හාර්ට්මස් රේඛා ලෙස හඳුන්වනු ලබන අතර මේ රේඛා පහකට වරක් වඩාත් තීව්‍ර පීඩාකාරි තත්ත්වයක් හඳුනා ගැනීමෙන් පසු ඒවා බෙන්කර් රේඛා නමින් හඳුන්වා තිබේ. මෙයට අමතරව කාරි රේඛා, සෙි රේඛා ආදි විශේෂ රේඛාවන්ද මෙවැනිම භූ ව්‍යාධි තත්ත්ව ඇති කරන බව අප විසින් විශේෂ සැලකිල්ලකට ලක් කර ගත යුතුව තිබේ. මෙවැනි රේඛා එකිනෙක කැපී යන ස්ථාන (CROSSING AREA) බරපතළ රෝගාබාධ ඇති කරවන බව බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

මෙවැනි ශක්තීන් අපට අහිතකර වුවත් සමහර සතුන් මේවාට දක්වන ප්‍රතිචාරයන් විස්මකුරුය. බළලුන් මෙකී භූ ව්‍යාධි තත්ත්වයන් ආස්වාද කරන අතර බල්ලන්, ගවයන් ආදීන් මේවා පිළිකෙවු කරන බව පෙනේ. මෙහිදී අප විසින් අපේ නිවෙසේ ඇති කරනු ලබන බළලුන් හා බල්ලන් පිළිබඳ මනා අධ්‍යයනයක් කිරීම වැදගත් වේ. නිරන්තයෙන් බාහිර අපගේ බලපෑම් නොමැතිව සතුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කර ඒ ඒ ස්ථාන වටහා ගැනීමෙන් ද දියුණුූ විද්‍යූත් උපකරණ නොමැතිව පෙර කී භූ ව්‍යාධි තත්ත්ව වටහා ගත හැකි අතර ඒවා අපට යහපත් ලෙස භාවිතයට ගත හැකියි.

බළලුන් නිතර ළඟ සිටින ස්ථාන අපට අහිතකර වන අතර බල්ලන් හා ගවයන් ළගින තැන් අපට හිතකර බව හඳුනා ගත හැකියි. උන් මේ ශක්තීන් උරා ගන්නා බැවින් අහිතකර ශක්තීන් උරා ගන්නා බළලුන් වැඩි වැඩියෙන් නිවාස අභ්‍යන්තරයේ ජීවත් වීමට ඉඩ දීම ඥානාන්විත වන අතර බල්ලන් නිවෙසෙන් පිටත රැඳවීම වරදක් නොමැත. එවිට ඔවුන් අපගේ හිතකර අහිතකර ශක්ති කළමනාකරණයට අපට මනා සහයක් ලබා දෙනු ඇත.

මෙවැනි එතරම් සැලකිල්ලක් හෝ අවධානයක් නොමැති ශක්ති ක්‍රියාකාරිත්වයන් අධ්‍යයනය නොකොට සිදු කරන ගතානුගතික වාස්තු පරීක්ෂාවන් ප්‍රතිඵල නොදරන බවත් නූතන ලෝකයේ අවශ්‍යතාවන් තෘප්තිමත් කළ නොහැකි බවත් අප විසින් වගකීමක් සහිතව අවධාරණය කළ යුතුව තිබේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.