විවාහය ප්‍රමාදද? වයඹ කාමරයේ නිදන්න

ජුනි 16, 2023

අනුදිශාවන් හෙවත් විදිශාවන් අතරින් මනරම් අවධානයට ලක් නොවූවත් වයඹ දිශාව වාස්තු ශාස්ත්‍රයේ දී වැදගත්ම බලපෑමක් ඇති කරන බව කිව යුතුයි. නූතන වාස්තු විද්‍යාවට අනුව ඊශාන දිශාවෙන් ( සාපේක්ෂව ) ගලා එන අන්තරීක්ෂ ශක්ති ධාරාවට අවම වශයෙන් බලපාන ඊශාන - නිරිත රේඛාවට දුරින් පිහිටි දිශා දෙකින් එකක් වන බැවින් වයඹ දිශාවට ඇති වැදගත්කම මඟහැරිය නොහැකියි.

ගිනිකොන දිශාවේ තාප ප්‍රභවයක් පිහිටුවා ඇති විට අන්තරීක්ෂ ශක්තිය ඊශාන - නිරිත රේඛාවේ ගමන් කරමින් බ්‍රහ්මස්තලය පසු කිරීමත් සමඟ එකී ශක්තියෙන් යම් කොටසක් ගිනිකොනට ප්‍රතිවිරුද්ධ දිශාව වන වයඹෙන් නික්ම යෑම ස්වභාවයයි. මේ හේතුව නිසා බරපතළ ලෙස සැදෙන ගුණයක් වයඹයට ඇතිවෙයි. මේ හේතුව නිසා චලනමය ගුණය හැඟවන අරුතින් වායුවේ පවත්නා ගුණය වන හඹා යන චලනය වන ගුණය වයඹයට අදාළ කොට දැක්විය හැකියි.

මෙසේ හෙයින් අන් කිසිදු දිශාවකට, හෝ අනුදිශාවකට නොමැති අස්ථාවර චලනය වන ස්වභාවයක් වයඹ දිශාවෙහි දක්නට ලැබේ. එබැවින් මේ තත්ත්වය නිසි අයුරින් අවබෝධ කර ගැනීමට නම් මෙකී චලනමය ගුණය සලකා බැලීම අනිවාර්ය වනු නිසැකයි.

වයඹ දිශාව, උතුරත් බස්නාහිරත් අතර පැවතීම නිසාත් ඊට නොගැළපෙන ගුණයන්ගේ මුසුවීමක් ඇතිබවද සැලකිය යුතු වේ. මෙය ඊශානය සමඟ සැසඳීමෙන් මැනැවින් පැහැදිලි වේ. උතුරටත්, නැඟෙනහිරටත් මැදිව පිහිටි ඊශානය පෙර කී දෙදිශාවටම සම ගුණයන් හිමි කර දෙන බව මෙහිදී මූලිකව වටහා ගත යුතු වේ. කෙසේ වුවත් දිශාගත ගුණයන්ගේ අසම ස්වභාවයක් සමඟ වයඹ දිශාවේ ස්වභාවය සියුම් හා වෙනස්වන සුලු බවද අපි වටහා ගත යුතු වෙමු.

කෙසේ හෝ වේවා වයඹ දිශාව මුළුතැන්ගෙයට විකල්ප දිශාවක් සේ ගත හැකි බව පළමුවෙන්ම අවබෝධ කටයුතු වේ. එසේම වැසිකිළි කැසිකිළි ආදිය පිහිටුවා තැබීමට උචිතම දිශාවද වයඹයයි. වයඹෙහි පවත්නා බාහිරයට දිශාගතවූ ගුණය අනුව ඉවතලන අපතේ තැබිය යුතු දේ වයඹයට ඒ අනුව යෙදීමේ වරදක් නොමැතිවෙයි. එහිදී නිවෙසක බැහැරට යොමු වූ අංග සියල්ල සඳහා වයඹ දිශාව යොදා ගත යුතු වේ.

වයඹ දිශාව සාමාන්‍යයෙන් නිදන කාමර සඳහා යෝජනා නොවන්නකි. එසේ වුවත් අලුත විවාහ වූ යුවළක් රටතොට චාරිකා කරමින් නිදහස් සුන්දර සමයක් ගත කිරීමේ වාසනාව උදාකර ගැනීම සඳහා වයඹ දිශාව මැනැවින් උපයෝගි කර ගත හැකියි.

ඊට අමතරව විවාහය පමා වූ කාන්තාවන්ගේ නිදන කාමරයක් ලෙසත් වයඹ දිශාව යොදා ගත හැකියි. අමුත්තන්ගේ නිදන කාමර වයඹේ පිහිටි නිදන කාමරය යොදා ගැනීමටත් නිවාස පරිහරණයේ කදිම උපායක් වන්නේ අමුත්තන් රැඳී සිටීම ඉතා අඩු තත්ත්වයකට පත් කර ගැනීමට එය ඉවහල් වන බැවිනි. ඉඩමෙහි ළිං කපන අවස්ථාව සඳහා කිසිදු අවස්ථාවක වයඹ දිශාව යොදා නොගත යුතු වේ. එයින් මිල මුදල් බැහැරවීමේ ගුණයක් ඇති වන බව ළිඳේ ජලය බොහෝ මිල මුදල් අඩුවන එකී ශාස්ත්‍රයේ දී යෙදෙයි.

බොහෝ අවස්ථාවන්හි දී වැසිකිළි, කැසිකිළි හෝ එවැනි අපවිත්‍රතා වර්ධනය කරවන ස්ථාන පිහිටුවීමේ දී වයඹ දිශාව සුරක්ෂිතම දිශාවයි. එහිදී කවර අපවිත්‍රතාවක් හට ගත්තද අනෙක් දිශාවන් වෙත පැතිරී යෑම වළක්වා ගැනීම අපගේ භාවිතයයි. එසේ කිරීමෙන් කිසිදු වාස්තු දෝෂයක් හට නොගන්නා බවත් දතයුතු වේ.

උතුර, ඊශාන, නැඟෙනහිර වැනි දිශාවන් මෙන් සාලය සඳහා වයඹ උචිත නොවෙතත්, විකල්ප දිශාවන් ලෙස භාවිත කිරීමේ වරදක් නොවේ. එසේ කිරීමේ දී නිවැසියන් නිවසේ රැඳීමට වඩා බැහැරව යෑමේ නැඹුරුතාව වැඩිදියුණු වූවත් බරපතළ වාස්තු දෝෂ තත්ත්වයක් මෙහිදී හට නොගනී.

ව්‍යාපාරයකදී අලෙවිකාර අංශය සඳහා වයඹ දිශාව උචිත වනවා මෙන්ම භාණ්ඩ නිෂ්පාදනයේදී නිමි භාණ්ඩ පිහිටුවීමටත්, බැහැර ගෙන යන දොරවල් පිහිටුවීමටත් වයඹ උචිතම දිශාවයි. එසේ කිරීමෙන් අලෙවිය නොසිතූවිරූ ලෙස අහේතුකව වර්ධනය වන බව කාහටත් වැටහෙනු ඇත. බාහිර පුද්ගලයන් රඳවා තැබීම සඳහා මේ දිශාව අතිශයින් උචිත වුවත් ඔවුන් විසින් ව්‍යාපාරයේ කාලය නාස්ති කිරීමට යොමු නොවීම වාසියක් වුවත් වැඩි වේලාවක් රඳවා තබාගත යුතු අයකු නම් වයඹෙහි රැඳවීම උචිත නොවේ.

කෙසේ වුවත් වයඹ දිශාව කවර ලෙසකින් වත් අන් දිශාවනට වඩා උසින් නොපිහිටුවිය යුතුයි. උස ගස් පිහිටුවීමද නොකළ යුතු වේ. එසේම වයඹ දිශාවෙන් වූ මාර්ගයකට සෘජුව වැටෙන පරිදි ප්‍රධාන දොර පිහිටුවීම කිසි ලෙසකින් හෝ නොයෙදිය යුත්තකි.

වයඹ දිශාවේ දෝෂ එතරම් සැලකිල්ලට නොගනු ලැබූවද වාසි දේ නිසා නඩුහබ පැටලීමට මහත් ඉඩක් වයඹේ දෝෂ විසින් හිමිකර දෙනු ඇත.

නිවසේ ජීවත් වන දූ දරුවන්ගේ හා කාන්තාවන්ගේ ශාරීරික සෞඛ්‍යය වයඹ දෝෂ නිසා වැඩි වර්ධනය වන බව ඉතා පැහැදිලියි. එසේම පවුල් ආරවුල් ඇතිවීමටත් වයඹේ වාස්තු දෝෂ බරපතළ ලෙස බලපාන බව පෙනේ. යම් නිවැසියකු වයඹ දිශාවේ කාමරයක නිදා ගැනීම කරයි නම් තම නිවසක ජීවත් වීමට වාසනාව ඔවුනට නැති වී යෑම ස්ථිර වේ.

නිවසේ රැඳී සිටින ඥාතීන් අතරින් නිරන්තරයෙන් කරදරයක් බවට පත්ව ඇතියවුන් ඇත්නම් එවැනි අය වයඹ දිශාවේ ඇති කාමරයක රඳවා තැබීමෙන් ඉතා පහසුවෙන් සුහදතාවද රඳවා ගනිමින් කරදරකාරීන් බැහැර කර ගැනීම පහසු වෙයි.

ව්‍යාපාරයක යම් සේවකයකු හෝ සමූහයක් ව්‍යාපාරයේ පැවැත්මට හානිකර ලෙස හැසිරෙයි නම්, විශේෂයෙන් නිරන්තර වෘත්තීය ක්‍රියාමාර්ග වෙත සේවකයන් පොලඹවනු ලබන්නේ නම් ඔවුන් බැහැර කිරීම ව්‍යාපාරයේ පැවැත්ම පැත්තෙන් සිතීමේදී අනිවාර්ය කරුණක් බව අවබෝධ කරගත් වහාම කළ යුතු වන්නේ එවැනි බාධාකාරී සේවක ප්‍රජාව ව්‍යාපාර පරිශ්‍රයේ වයඹ දිශාවේ සේවයේ යෙදවීමයි. එවිට කම්කරු නීති ආදියට හසු නොවී ස්වේච්ඡාවෙන්ම එවැනි අය ඉවත් කර ගැනීමට අවස්ථාව උදාවේ.

මෙවැනි තත්ත්වයන් සලකා බැලීමේ දී අවබෝධ වන කරුණු නම් එතරම් වැදගත් දිශාවක් සේ බොහෝ දෙනා නොසලකනු ලැබූවද වයඹ දිශාව නිසි අයුරින් භාවිත කිරීම මඟින් ජීවිතයත්, ව්‍යාපාර කටයුතු ආදියත් වඩවඩාත් සාර්ථක තත්ත්වයට පත් කර ගත හැකියි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.