ළිප ගිනි දැල්විය යුතු අග්නි මූලය

ජුනි 9, 2023

 

පංච මහා ධාතූන් පිළිබඳ විග්‍රහය පෙරදිග ශාස්ත්‍රයන් සියල්ලෙහිම පැතිර පවතී. මේ බව ආයුර්වේදය, ඡ්‍යොතිෂය, වාස්තු ශාස්ත්‍රය මෙන්ම යන්ත්‍ර මන්ත්‍රාදී ශාස්ත්‍රයන්හිදී බොහෝ සෙයින් දක්නට ලැබේ.

 

පංච මහා ධාතූන් අතර තේජෝ ධාතුව පිහිටුවා ඇත්තේ නැඟෙනහිර හා දකුණු දිශාව අතර වූ විදිශා හෙවත් අනුදිශාවෙහි වේ. මේ අනුව උණුසුම, දහනය, ගින්න ආදියට අයත් දිශාව ගිනිකොන නමින් හඳුන්වනු ලැබේ. පුරාකෘත වාස්තූ ශාස්ත්‍රයෝ ප්‍රධාන දිශාවන්ගෙන් අඩක් වන පරිදි අනුදිශාව දක්වා තිබුණ ද පසුකාලීනව අනුදිශාවන්ගේ නොදෙවැනි වැදගත්කම සලකා අටදිශාවටම සමාන පරාස දක්වමින් අංශක 45 බැගින් සමස්ත අවකාශය බෙදා දැක්වීම සිදුකරනු ලැබේ. එබැවින් අද වනවිට ගිනිකොන දිශාව ද අංශක 45කින් යුතු තේජෝ ගුණය හිමි දිශාව ලෙස සැලකීම වරදක් නොමැත.

පැරැණි සාම්ප්‍රදායික භාවිතයට අනුව නිවසේ කොටස් අතරින් ගිනිකොන දිශාව යොදනු ලබන අංගය වන්නේ මුළුතැන්ගෙයයි. තවදුරටත් නිරවුල්ව පැහැදිලි කරන්නේ නම් රත්වන ළිප ආදී මෙවලම් ස්ථානගත කළ යුත්තේ ගිනිකොන දිශාවෙහි වේ.

වත්මන් භාවිතය අනුව විද්‍යුත් මෙවලම් රැසක් යොදා ගන්නා තත්ත්ව යටතේ අප විසින් ඒවා හැකිතාක් ගිනිකොන දිශාවට යොදා ගැනීම උචිත වේ. ඒ අනුව විදුලි ජනක යන්ත්‍ර (ජෙනරේටර්) ආදී උපකරණ මෙන්ම ප්‍රධාන විදුලි සම්බන්ධතාව (විදුලි මීටරය ආසන්න ස්ථානය) යෙදීම ද ගිනිකොනෙහිම සිදුකළ යුතු වේ.

වැසිකිළි පිහිටුවීමේ දී ගිනිකොනෙහි වරදක් නැතත් ඉක්මනින් වියැළෙන පරිදි ජලය බැස යෑම වේගවත් කරවන බෑවුමක් සහිත පොළොවකින් යුතුව වැසිකිළි කුටිය නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම වැසිකිළි වළ පිහිටුවීමේදීත් ගිනිකොන යොදා ගැනීමේ වරදක් නැතත් පොළොවේ ස්වභාවික ජල මට්ටම දක්වා වැසිකිළි වළ එහිදී හෑරීම නොකළ යුතු වේ. අසූචිවල හටගන්නා දහනමය තත්ත්වය ගිනිකොනට උචිත වෙතත් ජලය ගිනිකොන දිශාවටම උචිත නොවන බැවිනි. ළිං හෝ භූගත ජල ටැංකි පිහිටුවීම සඳහා ගිනිකොන යොදා නොගත යුතු වේ. එසේම ඉහළ ජල ටැංකි වුව ගිනිකොනට නොයෙදෙන්නේ නම් අතිශයින් ප්‍රයෝජනවත් වන්නේමය.

යම් අවස්ථාවක වැසිකිළි වළ හෝ වැසිකිළිය ගිනිකොන ආසන්නයට යෙදීම අවශ්‍යම වන්නේ නම් ඒවා ගිනිකොනෙන් දකුණට බර වන පරිදි පිහිටුවීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ගෙන ඒම සිදු කරයි.

නූතන වාස්තු විද්‍යාවට අනුව සාපේක්ෂ වශයෙන් අන්තර් කාල ශක්තිය නිවසේ ඊසාන, නිරිත රේඛාව දිගේ ගලාගෙන එන බව ඉතා පැහැදිලි වේ. එසේම තාප ශක්තිය විසින් අන්තරීක්ෂ ශක්තිය දුර්වල කිරීම ද සිදුකරනු ලැබේ. මෙය වෙනත් අයුරකින් පැහැදිලි කරන්නේ නම් අන්තරීක්ෂ ශක්තියට අනුව තත්ත්වය බලපෑම සිදුකිරීමට නම් ඊශාන නිරිත රේඛාවට උපරිම දුරකින් තාප ජාතකයන් (ළිප් ආදී) පිහිටුවිය යුතු වේ. මේ අනුව ළිප් ආදී තාප මෙවලම් සඳහා උචිතම දිශා වන්නේ ගිනිකොනයි. (වයඹ ද විකල්ප දිශාවක් ලෙස ගත හැකි වන්නේ ද මේ සිද්ධාන්තය අනුවම වේ.)

සමහර පොතපතෙහි ගිනිකොන දිශාවේ ගුණ තවදුරටත් විශ්ලේෂණය කොට දක්වා තිබේ. ඒ සඳහා ගිනිකොනට දෙපසින් වන දිශාවන් වූ නැඟෙනහිර හා දකුණු සලකමින් ගිනිකොන නැඟෙනහිර හා ගිනිකොන දකුණ දිශාවන් ලෙස ගෙන විවිධ විග්‍රහයන් සිදු කරනු ලැබේ.

එහිදී කෑම කාමරය පිහිටුවීමට මෙකී ගිනිකොන නැඟෙනහිර හෝ ගිනිකොන, දකුණ උචිත ලෙස දක්වනු ලැබේ. එසේම ප්‍රධාන දොර පිහිටුවීමේ දී ගිනිකොන දිශාවට හා ගිනිකොන නැඟෙනහිර දිශාව මඟහැරිය යුතු බව අවධාරණය කළත් ගිනිකොන දකුණු දිශාව ප්‍රධාන දොර පිහිටුවීම වරදක් ලෙස නොසැලකෙයි. අනෙකුත් දිශාවන් සමඟ සැසඳීමේ දී ගිනිකොන පහතින් හෝ සමව පිහිටිය යුතු යැයි ද දක්වනු ලැබේ. ගිනිකොන දිශාවේ රත්වීමක් නොමැතිවීම ද දෝෂයක් ලෙස සලකනු ලැබේ.

ගිනිකොන දිශාව නිදන කාමර සඳහා පොදුවේ යොදා ගනු නොලැබුව ද යොවුන් වියේ පසුවන දුවණියන් සඳහා නිශ්චිතම දිශාව ලෙස මෙය සැලකෙයි. පෙරදිග සංස්කෘතික ශික්ෂණයන් අනුව දුවණියන් සමාජයට යැවීමට යම් සීමා බාධක පැමිණවීමක් සිදු කෙරේ. මෙහි නිසග ප්‍රතිඵලය වන්නේ දුවණියන් බොහෝ පසුගාමී ලක්ෂණ පෙන්නුම් කිරීමයි. එය ඔවුන්ගේ අනාගත සමාජ ක්‍රියාකාරීත්වයන් දුර්වල කරවන මුත් ගිනිකොන පිහිටි නිදන කාමරයක් භාවිත කළ දුවණියන්ගේ තේජෝ ගුණය බලවත් වන අතර ක්‍රියාශීලී ජීවිතයකට අවකාශ උදාවෙයි.

එසේම අලුත විවාහ වූ යුවළක් වසරක පමණ කෙටි කාලයක් සිය නිදන කාමරය ලෙස ගිනිකොන නිදන කාමරය යොදා ගැනීම උචිත වේ. එවිට ඔවුන්ගේ ලෞකික තෘප්තිය මැනවින් විඳ ගත හැකි වනවා ඇති මුත් දිගින් දිගටම ගිනිකොන නිදන කාමරය භාවිතයට ගැනීමෙන් බරපතළ අසමඟි තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. මෙය ඔවුන්ගේ ශක්ති ශරීරයන්හි සිදුවන වර්ධනයන්ගේ ස්වභාවය මත සිදුවන්නක් බැවින් මේ තත්ත්වය උපකරණ ඇසුරෙන් පවා පිරික්සා තහවුරු කළ හැකියි.

පින් පලඳීමේ වාසනා ගුණයට හදිසි බාධාවන් ගිනිකොනෙහි වාස්තු දෝෂ නිසා නිරතුරු සිදු වේ. මුත්‍රා රෝග මෙන්ම පොදුවේ පිත් රෝග හටගැනීම වැනි ඉඩක් ඇතිවිය හැකියි. ගිනිකොන දෝෂ සමඟ නිවසේ මධ්‍යයේ ද දෝෂ තත්ත්වය ඇතිවුවහොත් බරපතළ පිත්ත ආබාධ ඇතිවීම වළක්වා ගැනීම පහසු නොවේ.

ගිනිකොනේ හට ගන්නා දෝෂ නිසා ශරීරයේ අග්නි බලය දුර්වලවීමත් ඒ හේතුව නිසා ආහාර ජීර්ණය අයහපත්ව ආම තත්ත්වයන් වර්ධනය විය හැකියි. සැත්කම් සිදු කිරීමට ඉඩ ඇති අතර යමෙකු ඝාතනය කිරීමට හෝ සියදිවි හානි කර ගැනීමට තම චිත්තවේග සකස්වීමට වුව ගිනිකොනේ දෝෂ බලපෑ හැකියි.

ගිනි අනතුරු ඇතිවීමේ අවදානම පිළිබඳවද ගිනිකොන දෝෂ සහිත වූවෝ වැඩි සැලකිල්ලක් යොමු කළ යුත්තෝ වෙති. කෙසේ වුවත් ගිනිකොන දුර්වල වූ නිවෙසක ජීවත්වන්නවුන් බරපතළ ලෙස ජීවිතය අපි‍්‍රය තත්ත්වයකට පත්වීම වැළැක්වීම ප්‍රායෝගිකව පහසුවෙයි.

 

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.