ගෙදර ප්‍රශ්න වැඩිද? මේ උපදෙස් පිළිපදින්න

ජුනි 2, 2023

 

ඊශානයට නොදෙවැනි වැදගත්කමක් ඇති දිශාව ලෙස සැලකිය හැකි නිරිත දිශාව පිළිබඳව අප විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. දකුණු හා බස්නාහිර දිශාවන් අතර පිහිටි නිරිත දිශාව පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වෙන්නේ යහපත් කටයුතුවලදී ඒ දිශාවට හැරී කටයුතු නොකරන බැවිනි.

 

යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලදී මාරක කර්ම, විද්වේෂණ කර්ම ආදිය සඳහා යොදා ගන්නා දිශාවක් වීමත් ඊට යම් බලපෑමක් තිබිය හැකියි. ඒ කෙසේවුවත් වාස්තු ශාස්ත්‍රයේදී මෙන්ම නූතන වාස්තු විද්‍යාවේදීත් නිරිත දිශාවේ භාවිතය අතිශයින් බලවත් වූවකි.

නූතන භෞතික විද්‍යාවට අනුව අන්තරීක්ෂ (cosmic) ශක්තිය නිවසට ඊශානයෙන් ඇතුළුව වන නිසා එය ගබඩා වීම ඇරඹෙනුයේ නිරිත දිශාවෙනි. මේ හේතුව නිසා ඕනෑම අවස්ථාවක අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව (Cosmic Energy Intensity)සාපේක්ෂ වශයෙන් වැඩිම දිශාව වන්නේ නිරිත බව සෛද්ධාන්තිකව මෙන්ම ප්‍රායෝගිකව ද පහදා දිය හැකියි. මෙසේ ශක්ති තීව්‍රතාව වැඩිවීම නිසා සිදුවන ප්‍රධානම කාර්යය වන්නේ නිරිත දිශාවේ පවත්නා ජීව අජීව සියලු දේහි පවත්නා ශක්ති ක්ෂේත්‍රය(Aura) වඩ වඩාත් පුළුල් හා සක්‍රිය වීමයි. මෙහිදී ඇතිවන ප්‍රධාන අනතුර වන්නේ නිවැසියන්ගේ යහපතට ඉවහල් වන්නාවූ දේහි පමණක් නොව අයහපත් ලෙස බලපාන්නා වූ දේහිත් මෙසේ බලවත් සක්‍රියතාවක් ඇතිවීමයි. මේනිසා නිරිතෙහි සිදු කෙරෙන බොහෝ කටයුතුවලින් ඇති කරන බලපෑම ඉතා තදින් නිවැසියනට යහපත් ලෙස මෙන්ම අයහපත් ලෙසද බලපාන බව අප මැනැවින් වටහා ගත යුතු වේ.

නිරිතට යෙදිය යුතු උචිතම ගෘහ අංගය වන්නේ ප්‍රධාන නිදන කාමරයයි. මෙහිදී නිවසේ වැඩිහිටියන් නිදන කාමරය නොව නිවසේ ආර්ථික හා සමාජීය වගකීම දරන අයගේ නිදන කාමරය නිරිතෙහි පිහිටුවීම අත්‍යවශ්‍ය වේ. එසේ පිහිටුවා නැතිනම් දකුණේ හෝ බස්නාහිර වත් ප්‍රධාන නිදන කාමරය පිහිටා නොමැති නම් එකී නිවස කප්පිත්තකු නැති නෞකාවක් සේ ඒ මේ අත පාවෙමින් පවතිනු නියතයි.

නිවසක් සැලසුම් කිරීමේදී ප්‍රධාන නිදන කාමරය නිරිතට යොදා ගැනීම අපහසුම නම් පඩිපෙළ වැනි බරැති අංගයක් ඊට ඇතුළත් කළ යුතු අතර කිසිදු අවස්ථාවක ගෘහ මූලිකයන් නිරිතේ නොසිටින අවස්ථාවකදී නිරිතෙහි අමුත්තකු, ගෘහ සේවකයකු හෝ ඥාතියකු හෝ නිදාගැනීම නොකළ යුතු බව නම් අනිවාර්ය කරුණකි. ඉහළ ජල ධාරකයක් හෙවත් ජල ටැංකියක් සඳහා උචිතම දිශාවද නිරිතයි. මෙය තරමක් පැටලිලි සහගත වන්නේ සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේද කියවෙන පරිදි ආපෝ හෙවත් වැගිරෙන සුළු ගුණය පවත්නා දිශාව ඊශානය මිස නිරිත නොවන බැවිනි. එසේ වුවත් මෙහිදී ධාතුන් දක්වා ඇත්තේ පොළොව මත පදනම්ව බවද සලකමින් පොළොව මට්ටමට පහළින් පිහිටි ළිං, පොකුණුූ, හෝ භූගත ජල ටැංකි ආදිය ඊශානයට උචිත වෙතත් නිරිතයට ඉහළ ජලධාරක යෙදිය යුතු බව මෙහිදී අවධාරණය කළ යුතු වේ.

එසේම ඊශානයෙන් පොළොව මට්ටමට පහළින් පෙර කී ජල ධාරකයක් පිහිටුවීම නිරිත දිශාව සඳහා උචිත නොවේ.

එසේම ඉඩමේ ඉහළින්ම පිහිටිය යුතු දිශාව වන්නේද නිරිතයි. එහිදී සැලකිය යුතු අනෙකුත් වැදගත්ම කරුණ වන්නේ නිවසේ කිසිදු කොටසක් භූගත මහලක්(Basement) නිරිතෙහි පිහිටුවීමද නොකළ යුතුම වේ.

නිවසකදී ගෘහ මූලිකයන් වැඩිම වේලාවක් රැඳී සිටිය යුතු දිශාව බවට නිරිත පත්කර ගත යුතු බැවින් ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට යොදා ගන්නා සේම අනෙකුත් ඉදිකිරිම් මාර්ගවලදීත් ආයතන ප්‍රධානියා ප්‍රධාන කළමනාකාරවරුන් ආදීන් පිළිබඳවද අපගේ සැලකිල්ල යොමු විය යුතුව තිබේ.

මෙහිදී නිරිත දිශාවට මුළුතැන්ගෙය පිහිටුවීම සිදු නොකළ යුත්තක් බවද අවධාරණය කළ යුතුවේ. මෙසේ නිරිත දිශාව රත්වීමට සැලැස්වුවහොත් එහි නිසැක ප්‍රතිඵලය බියකරු අයහපත් එකක් වීම වැළැක්විය නොහැකි තරම් බරපතළ බවද කිය යුතුයි.

අපිළිවෙළ ගබඩා කාමර හෝ වැසිකිලි පිහිටුවීම නිසා අශුභ ශක්තීන් සක්‍රිය කර ගැනීමක් නිරිතෙහිදී සිදුවිය හැකියි. මෙය විස්තර කළ යුතු වන්නේ සමහර සාම්ප්‍රදායික වාස්තු ශිල්පීන් වැසිකිළි කැසිකිළි සඳහා නිරිත දිශාව නිර්දේශ කරන බැවිනි. මෙසේ අශුභ ශක්තීන් සක්‍රිය කරවා ගැනීම මඟින් නිවස පුරා අශුභ ශක්තීන් පැතිර යෑම සිදුවිය හැකියි. මෙවැනි තත්ත්වයක් ඇතිවූ නිවසක රෝගාබාධ ඇතිවීම නිරන්තරයෙන් අත්දැකිය හැකියි.

සාලයක් නිරිතට පිහිටා තිබීම මෙන්ම ප්‍රධාන ද්වාරය නිරිතෙන් යොදා තිබීම පෙර කී දෝෂයන් මෙන් බරපතළ වූවක් නොවෙතත් නොකළ යුත්තකි. සාලයක පවත්නා විශාල ජනේල ආදී කවුළු විවෘත අවකාශයන් නිවස වෙත එන අන්තරීක්ෂ ශක්තිය රඳවා ගැනීමට නොව ඉවතට ඇදී යෑමට හේතු සපයයි. මෙවැනි හේතුවක් නිසා නිශ්චිත බරපතළ දුර්විපාකයන් කිව නොහැකි වෙතත් නිවසේ සමස්ත අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව බලවත් ලෙස බිඳවැටීමෙන් පොදුවේ නිවස අක්‍රියභාවයට පත් විය හැකියි. එසේවීමෙන් අපේක්ෂිත ජීවන අරමුණු ඉටු කර ගැනීමට විශාල කාලයක් වැය වීම සිදුවේ. මේ තත්ත්වය යම් පමණකින් හෝ වළක්වා ගනු පිණිස රාත්‍රී කාලයේදී වත් නිරිතේ පිහිටි සාලයේ ඇති ජනේල ආදිය ඝන තිර රෙදි යොදා ආවරණය කර තැබීම අත්‍යවශ්‍ය වේ. දිවා කාලයේ නිවසට අවශ්‍ය ආලෝකය ඒවා විවෘත කොට ලබා ගැනීමෙන් පෙර කී ජීවන අක්‍රියතාවයන් මතු නොවේ. එහිදී පවා ගෘහ මූලිකයන් නිරතුරු රැඳී සිටින ආසනයක් දෙකක් හාන්සි විය හැකි ඩිවානයක් වැනි යමක් සාලයට එක්කර තැබීම උපායක් ලෙස යහපත් වේ. පොදුවේ නිරිත ආශි‍්‍රතව පෙර කී දෝෂ තත්ත්වයන් නිසා අධික වියදම් ඇතිවීම, ණය බරින් පීඩා වීම, මානසික සාමය හා සහනශීලිභාවය අඩුවීම, අසමගිය ආදි විවිධ පවුල් ප්‍රශ්න ඇතිවීම, මානසික ආතතිය හෝ විෂාදය වැනි තත්ත්වයනට පත්වීම, පමණක් නොව කවරාකාරයෙන් හෝ සමාජයේ නරක නමක් අපකීර්තිමත් බවක් ඇතිවීම සිදුවනු නිසැකයි. මෙබඳු දුර්විපාකයන් ඇතිවීමේ විභවයක් ඉඩ ප්‍රස්ථාවක් පවත්නා බැවින් මෙබඳු කරුණූු ප්‍රායෝගිකව වළක්වා ගැනීමේ උපාය මාර්ගයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමද මෙහිදී අත්‍යවශ්‍ය වේ.

ඉදිකිරීම්හි බරපතළ වෙනස්කම් සිදුකර මේ දෝෂයන්ගෙන් අත්මිදීමට විටෙක සිහියට නැඟුණද එහිදී පවා පරිස්සම්විය යුත්තේ නිරිතේ දෝෂ වළක්වා ගැනීමට වෑයම් කිරීමේදී එයට පවා අනවශ්‍ය බරපතළ පිරිවැයක් දරන්නට සිදුවිය හැකි බැවිනි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.