වාස්තු විද්‍යානුකූලව නිවෙසක් හරියටම ඉදිකරමු

ජුනි 10, 2022

 

ඔබ සැමට වඩාත්ම වැදගත්වන ලිපියකින් හමුවෙන්නයි මේ සූදානම. අලුතින් නිවසක් හදන්න බලාපොරොත්තුව ඉන්න අයටත්, සුළුවෙන් හෝ යම් යම් වෙනස් කම් තම නිවෙසේ කරගන්න හිතන් ඉන්න අයටත් මේ ලිපිය වැදගත් වේවි.

 

ඔබ නිවෙසක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් එම නිවෙසේ ප්‍රධාන දොර, නිදන කාමරය, කුස්සිය, බුදු කුටිය, ආලින්දය, කෑම කාමරය, නානකාමරය, සැරසිලි, ආදිය ගැනයි අපි අද කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම ඔබගේ ගෘහය පිහිටන ඉඩම හතරැස් එකක් නම් ගොඩක්ම හොඳයි. මුළු හතරක් තිබෙන ලෙස ඉඩම තිබිය යුතුයි.

නිවෙසේ ප්‍රධාන දොර

වාස්තු විද්‍යාවට අනුව ගෙදරක ප්‍රධාන දොර අනෙක් දොරවල්වලට වඩා උසින්, පළලින් සහ ඝනකමින් වැඩිවිය යුතුය. දොර ගෙදර ඇතුළු පැත්තට ඇරිය යුතුය. බොහෝදුරට ගෙදරට ඇතුළු වන ගේට්ටුව පවා නිවෙස පැත්තට ඇරිය යුතු ලෙස සැකසිය යුතුය. එමඟිින් ආකර්ෂණ ශක්තීන් ඇදී එයි. ඒ වගේම ප්‍රධාන දොර අරිනවිට සද්ද බද්ද එනවා නම් එය එතරම්ම හොඳ කරුණක් නොවේ. ගෙදර සමඟියට බාධා වීම් ඇති වෙයි.

 

නිදන කාමරය

 

මෙහිදී අපි හිස තියන්නෙ මොන පැත්තට ද යන්න බැලිය යුතුය. බටහිර සහ නිරිත දිශාවට ඔබේ හිස තියනවා නම් එය එතරම්ම හොඳ දෙයක් නොවෙයි. ඒවගේම නිදන ඇඳ පෙනෙන පරිදි මේස කණ්ණාඩි, පැති කණ්ණාඩි නොතිබිය යුතුය. නැතිනම් අමනුෂ්‍ය දෝෂ ඇතිවිය හැකිය. ඔබේ නිවසේ නිරිතට, දකුණට හෝ බටහිරට වෙන්න නිදන කාමරයන් සැකසිය යුතුයි. නිදන කාමරයේ මෙට්ට දෙකක් තැබීම සුදුසු නැති අතර බිරිඳ තම සැමියාගේ වම් පසින් වන්නට නිදාගැනීම සුදුසුය.

 

මුළුතැන්ගෙය

 

කුස්සිය,නැතිනම් මුළුතැන් ගෙය නිවෙසේ ගිනිකොන දෙසට වෙන්නට සැකසිය යුතුය. උයන ලිප කුස්සියේ ගනිකොන දෙසට වන්නට සැකසිය යුතුය. එසේ නැතිනම් දකුණටත් සුබදායි වේ. වතුර ලබා ගන්නා සින්ක් එක ගිනිකොන දිසාවට තිබීම අසුබ වන අතර ලිප සහ සින්ක් එක අතර තරමක් දුර පරතරයක් තිබිය යුතුය.

 

බුදු පිළිමය

 

ඔබ සෑම දෙනාගේම නිවෙසේ බුදුකුටියක් ඇති අතර බුදු පිළිමයක් තැන්පත් කර හෝ පුද සත්කාර කරන බව නියත කරුණකි. එහිදී එය ඊසාන දිශාවට හෝ නැඟෙනහිර දිශාවට සැකසිය යුතුය. නාන කාමරය අසල හෝ පඩි පෙළක් යට එය සැකසීම නොකළ යුතුය.

 

ආලින්දය

 

සියලුම දෙනා එකතු වී සතුටින් සිටිනට බොහෝ දුරට තෝරා ගන්නේ රූපවාහිනියයි. මෙම රූපවාහිනිය ගිනිකොන දෙසට වෙන්න තැබිය යුතුය. ඒ වගේම ඊශාන දිශාවට වන්න ගෘහ භාණ්ඩ අඩු කළ යුතුය. ජනෙල් උතුර හෝ නැඟෙනහිර දෙසට පිහිටීම සුබ වන අතර එහිදී ලා පාට දුහුල් තිර රෙදි භාවිතා කළ යුතුය. නැතිනම් ජනෙල් බටහිරට සහ දකුණට සැකසීම ද මැනවි. එහිදී තිර රෙදි අඳුරු පැහැති ඒවා භාවිතා කිරිම සුදුසුය.

 

කෑම කාමරය

 

විශේෂයෙන්ම, කෑම මේසය ප්‍රධාන දොරටුවට එක එල්ලයේම පෙනීම එතරම්ම සුබ නොවේ. නිවෙසේ බටහිරට වන්නට සැකසීම යෝග්‍යය. කෑම කාමරයේ උතුරු දෙසින් හෝ ඊසාන දිශාවෙන් බිත්තිය මත කණ්ණාඩියක් සැකසීමට හැකි නම් එය ඉතා යෝග්‍යය.

 

නානකාමරය

 

නිවෙසේ උතුරට ඊසානට හෝ නැඟෙනහිරට වන්නට පිහිටීම සුබ නැත. පඩිපෙළක් යට ද සුබ නැත. කුස්සිය ආසන්නයේ ද සුබ නැත. වැසිකිලි පෝච්චිය නිවෙසින් බටහිරට හෝ දකුණට වන්න පිහිටීම මැනවි. ඒ වගේම වැසිකිලියේ දොර උතුරට හෝ නැඟෙනහිරට වන්නට සැකසීම සුබයි. ලා පැහැති ටයිල් ඇල්ලීම ඉතා මැනවි.

සැරසිලි

 

ඔබත් ඔබේ නිවෙසේ බිත්තිවල විවිධ වූ සැරසිලි අල්ලා තිබෙනවා ද? එහිදී මේ කරුණු ගැන සැලකිලිමත් වන්න උල් සහිත සැරසිලි, යුදමය සැරසිලි, ලේ සහිත සැරසිලි, ක්‍රෝධය උපදවන සැරසිලි, සරාගීි කාමය ඇවිස්සෙන සැරසිලි, වගේම තනි පුද්ගලයකු සිටින රූප ද එල්ලීම නොකළ යුතුය.

වාස්තු විද්‍යාවේ වඩාත්ම වැදගත් කොටසක් වන නිවෙසට ඇතුළුවන ප්‍රධාන දොරට මූලිකවන ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේ සටහන් කළ හැකිය.

අපි නිවෙසක් ගොඩනගන විට දොර උළුවහු වගේම ජනෙල් උළුවහු ගැනත් ප්‍රධාන ලෙස අවධානය යොමු කළ යුතුයි. මෙය හරියාකාරවම වාස්තු විද්‍යානුකුලව සකසනවා නම් ඔබේ නිවෙසේ මුළු වර්ගඵලයෙන් 10න් එකක් වන්නට දොර හා ජනෙල් තිබිය යුතුයි. දොර උළුවහු ඔත්තේ සංඛ්‍යාවක් ද ( 1,3,5 ) අයුරින්, ජනෙල් උළුවහු ඉරට්ටේ සංඛ්‍යාවක් ද විය යුතුය. ( 2,4,6 ) අයුරින්, විශේෂයෙන්ම දෙකේ එකතුව 7 ගුණාකාර නැති නම් 9 ගුණාකාර වන්නේ නම් ඉතා මැනවි. ඒගේම දොරවල්වලට වඩා ජනෙල් වැඩි විය යුතුයි.

 

මේ කරුණු ගැන සැලකිළිමත් වෙන්න

 

01. ඔබේ නිවෙසේ ප්‍රධාන දොර ඇති බිත්තියේ හරි මැදින් දොර පිහිටීම සුබ නොවේ. එය බ්‍රහ්ම වේධ දෝෂයට අසුුවෙයි.

02. ඒ වගේම ප්‍රධාන දොරටුවට හරි කෙළින් පාරක වංගුවක් තිබේ නම් එය මාර්ග වේධ දෝෂයට අසුවෙයි.

03. විශාල ගසක් ඇති නම් එය වෘක්ෂ වේධ දෝෂයට අහුවෙයි.

04. මඩවලක් ඇති නම් එය ද සුබ දෙයක් නොවේ.

05. ජලය ගලා ඇවිත් දොර කෙළින් පාරේ හැරී වෙන පැත්තකට යනවා නම් ජලනිර්ගමන වේද දෝෂයට අසුවෙයි.

06. ළිඳක් පොකුණක් තිබේ නම් එය කූප වේද දෝෂයට අසුවෙයි.

07. ප්‍රධාන දොරටුවට හරි කෙළින් දේවාලයක්, දේවතා රූප, පිළිම, පහන්කණු, ආගමික ස්ථාන ඇත්නම් එය අසුබයි. දේවතා වේද දෝෂයන් හටගනී.

08. ගල් කණුවක්, කොන්ක්‍රීට් කණුවක් ඇති නම් එය ස්ථම්භ වේද දෝෂයට හසුවෙයි.

09. සුසාන භුමියක්, සොහොන් කොතක්, ඇති නම් සුසුනා වේද දෝෂයට අසුවෙයි.

10. තුංමං හන්දියක් හතරමං හන්දියක් හෝ ඔබේ ඉස්සරහ නිවෙසේ ඉඩමේ මුල්ල හසුවෙනවා නම් එය අසුබයි. කෝණ වේද දෝෂයට ලක්වේ.

11. තමන්ගෙ නිවෙසේ දොර කෙළින් තවත් නිවෙසක දොරක් කඩුල්ලක්, තමන්ගේ නිවෙසම කඩුල්ල හෝ තිබේ නම් එය ද අසුබයි. ද්වාරවේද දෝෂයට අසුවෙයි.

12. වැසිකිලිවලක්, කුණුවලක් තිබේ නම් වරමස්තාන වේද දෝෂයට හසුවෙයි.

13. සත්ව ගාල්, සතුන් කොටු කර සිටිනවා නම් එය තිරස්චීන වේද දෝෂයට හසු වේ.

14. රෙදි සෝදන තැනක් ඇති නම් රජත වේද දෝෂයට හසුුවෙයි.

15. වේයන් බැඳපු තුඹසක් මැටි ගොඩක් ආදිය තිබේ නම් එය කුම්භාකාර වේද දෝෂයට හසු වෙයි.

16.ගණිකා මඬමක් ඇති නම් ගණිකා වේධ දෝෂයත්

17. අහිකුණ්ඨිකයන් සිටින තැනක් නම් මිලේච්ජ වේද දෝෂයත්

18. රාජ ඇමති,මන්දිර, නිවාස ආදිය ඇති නම් එය රාජ වේද දෝෂයටද හසුවෙනවා.

 

 

ඡ්‍යොතිෂවේදී

සශේනක දිලාන් බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.