ඔබේ නිවස පදිංචියට සුදුසුද?

අප්‍රේල් 15, 2022

ඉඩමක් මිලයට ගෙන නිවසක් සාදා පදිංචියට යන්නේ නිදහසේ කරදරයක් නැතුව ජීවත් වීමට ය. එවැනි වාසනාවක් උදා වන්නේ කීයෙන් කී දෙනෙකුට ද? එසේ පදිංචියට ගොස් කරදර, ප්‍රශ්න, බාධා, මානසික පීඩා, ලෙඩ රෝග, ආර්ථික අපහසුතා, භූමි දෝෂ මතු වන්නේ නම් තමා ඉතා අසරණ තත්ත්වයකට පත් වීම පුදුමයක් නො වේ.

තම නිවස දෙවි විමනක් කර ගැනීමට කැමැති නම් පදිංචියට පෙර බැලිය යුතු ක්‍රමයක් හඳුන්වා දීම මෙම ලිපියේ අරමුණ වේ. ප්‍රශ්න නැතුව නිදහසේ ජීවත් වීමට නම් පදිංචියට පෙර හෝ නිවස සෑදීමට පෙර බලා ගත හැකි ක්‍රමවේදයක් වාස්තු විෂයේ ඇත. එය ඉතා පහසුවෙන් ඉගෙන ගෙන පරීක්ෂා කර බැලීමට ඔබට පුළුවන. ඉඩමේ දිග හා පළල වැඩි කර එන වර්ගඵලය අනුව පදිංචියට සුදුසුද? නැද්ද? යන්න තීරණය කළ හැකිය. එදා නිවසේ වර්ගඵලය ගෙන තිබුණේ වඩු රියන් අනුවය. එය සකස් වූයේ ගෘහ මූලිකයාගේ දකුණ අතින් ලබා ගන්නා මිණුම් දණ්ඩකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීරයේ උස මිටි අනුව වඩු රියනේ ප්‍රමාණය වෙනස් වේ.

මහා බ්‍රහ්මයා විසින් වාස්තු පිළිබඳ ශාස්ත්‍රය ලොවට පහළ කොට විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාට එය පවරා එය ලෝක සත්වයා වෙනුවෙන් ‘මය’ නම් ඍෂිවරයාට බාර කළේය. ඔහු විසින් තව දුරටත් ප්‍රගුණ කර තවත් ඍෂිවරු කිහිපදෙනෙකුට පවරන ලදී. මය නම් ඍෂිවරයා විසින් ප්‍රකාශයට පත් කළ ‘මයි මතය’ අනුව වඩු රියනේ දිග ගෙදර ප්‍රධානියා අනුව තීරණය විය. එම පුද්ගලයා අනුව වඩු රියන සෑදෙන අයුරු මෙසේය. ගෘහමූලිකයා ගේ දකුණු අතේ වැළමිටේ කෙළවරේ සිට එම අතේ මැඳඟිල්ල කෙළවර දක්වාත්, එම අතේ වියතක් ද, එම අතේ මහපට ඇඟිල්ලේ කෙළවර පුරුක මෙන් පුරුක් 4 ක් එකතු කර වඩු රියනේ දිග සාදා ගත යුතු ය. විවිධ පුද්ගලයන්ගේ ශරීර උස මහත අනුව වඩු රියනේ දිග වෙනස් වේ. මෙම ක්‍රමය අනුව අඟල් 30 -33 අතර දිග ප්‍රමාණයක් වඩු රියන ලෙස සැලකේ.

විවිධ ඍෂිවරු ප්‍රධානියා කවරෙක් ද? යන්න මෙසේ පවසා ඇත.

1.ගෘහ මූලික 2.ගෙදර සිටින බිරිඳ 3.ගෙදර සිටින වැඩිමහල් පුතා

මෙයින් වඩාත් සුදුසු වන්නේ ගෙදර ප්‍රධානියා ලෙස සැලැකෙන ගෘහමූලිකයා ය. ඔහු ගේ අතේ දිග අනුව වඩු රියනේ දිග තීරණය කළ හැක. ඔහු විසින් සාදන නිවසේ දිග හා පළල වඩු රියන් වලින් ගෙන නිවසේ වර්ගඵලය වඩු රියන් වලින් ගත යුතුය.

එංගලන්තයේ කිරුම් හා මිනුම් භාවිතා වන්නේ අඩි අඟල් වලිනි. එම ක්‍රමයට රියනක් යනු අඩි 1 1/2 කි.

අඩි 01 = අඟල් 12

අඩි 1/2 =අඟල් 06

එකතුව = අඟල් 18

 

රියනක් යනු අඟල් 18 කි. එය එසේ වුවත් වාස්තු විද්‍යාවේ සඳහන් කරන වඩු රියන අඟල් 18 ක් නො වේ. වර්ගඵලය සෙවීමේ දී අද වඩු රියන් වෙනුවට අඩි,අඟල් හා මීටර් වලින් වර්ගඵලය ලබා ගැනීමේ පහසුව ඇත.

කෙසේ හෝ මොන විධියකින් හෝ ලබා ගන්නා ගෘහයේ වර්ගඵලය අටෙන් බෙදා ලැබෙන ඉතිරිය අනුව නිවසේ පදිංචියට සුදුසුද? නැද්ද? බැලිය හැකිය. ඉතිරිය අනුව ලැබෙන ප්‍රතිඵල පහත දැක් වේ.

ඉතිරිය 1 නම්

පදිංචියට සුදුසු යි. විශේෂයෙන් මෙම නිවස රජ මැති ඇමැතිවරුන්ට සුබ පල ගෙන දෙයි. මෙම නිවසේ ප්‍රධාන දොරට නැඟෙනහිර යොදා ගත යුතුය. එවිට තමන් ගේ කීර්තිය දස දෙස පැතිරේ. වස්තුව වර්ධනය වේ. නිතර ජනයාගෙන් පිරී ඉතිරේ.

ඉතිරිය 2 නම්

පදිංචියට සුදුසු නැත. ගෘහමූලිකයාගේ වැඩ කටයුතු අඩාල වේ. ශරීර සෞඛ්‍යයට බාධා යි. හැකියාව දුර්වල කරයි. රැකියාව එපා වී වරින් වර එය වෙනස් කරයි. දුප්පත් වේ. කරදර ගෙන දෙයි.

ඉතිරිය 3 නම්

පදිංචියට සුදුසුයි. ප්‍රධාන දොර දකුණු පැත්තේ සවි කරන්න. ඉතා යහපත් වේ. පවුලේ සමගි ඇති වේ. යහපත් දරුවන් බිහි වේ. ලෙඩ රෝග දුරුවේ. ආර්ථික වර්ධනයට බාධා නැත. කාගෙත් ගෞරවයට ලක් වේ. දියුණු වේ. වාසනාව ගෙන දෙයි.

ඉතිරිය 4 නම්

මිනිස් වාසයට සුදුසු නැත. ගුප්ත බලවේග නිතරම මතු වේ. පේ‍්‍රතයින් හා භූතයින් නිවසේ රජ කරයි. ගෙදර නිතරම අඳුරු ය. මෙම නිවසේ පදිංචි අයට විවිධ කරදර ගෙන දෙයි. නිතරම බලි තොවිල් යාග නිසා ධන හානිය වැඩි වේ.

ඉතිරිය 5 නම්

පදිංචියට සුදුසුය. මෙම නිවසේ පදිංචි අයට සමාජයෙන් ගෞරවය ලැබේ. නො සිතූ ධන ලාභ මෙන්ම ලොතරැයි ලාභ තමන්ට හිමි වේ. භූමි ලාභ ලැබේ. සමහර විට මැණික් ලාභ ලැබීමේ වාසනාව තිබේ. පවුලේ සමගිය වර්ධනය වෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සුබ පල ගෙන දෙයි. චංචල හා නිශ්චල වස්තු හිමි වීමේ වාසනා මතු වේ. සතුටින් කාලය ගත කරයි.

ඉතිරිය 6 නම්

පදිංචියට සුදුසු නැත. නිතරම ලෙඩ රෝග වලින් කරදර ගෙන දෙයි. මෙම ස්ථානයේ තෙත් ගතිය නිසා දිය පුස් ඇති වේ. ගේ තුළ දුර්ගන්ධ වාතය පැතිරේ. නිවසට එළියක් නැත. අවට සිටින අය මෙම නිවසේ සිටින අයව කොන්කර සමාජයෙන් ඈත් කරයි. මානසික අසහනය වැඩි වේ.

ඉතිරිය 7 නම්

පදිංචියට සුදුසුය. නිරෝගී බව වර්ධනය කරයි. පවුලේ සමගිය, රැකියාවේ හෝ ව්‍යාපාරයේ දියුණුව ඇති කරයි. ආහාර වලින් පිරෙයි. ආගම දහමට ලැදියි. දේව ආශිර්වාදය නිතරම ඇති වේ. පිරිත් හෝ දේව ගීතිකා නිතර ගායනා කරයි. මෙම ස්ථානයේ සුවඳ දුම් වලින් පිරී යයි. ඉතා වාසනාවන්ත ලෙස කවුරුත් සතුටින් දිවි ගෙවයි.

ඉතිරිය 0 නම්

පදිංචියට සුදුසු නැත. විවිධ කරදර හා විපත්වලට මුහුණ පෑමට සිදු වේ. නඩු හබ මෙන්ම නීතිමය ප්‍රශ්නවලට මුහුණ පායි. දූ දරුවන්ගේ විවාහ කටයුතු ප්‍රමාද වීමට හෝ ඒවා ඉටු නොවීමට ඉඩ ඇත. මානසික ගැටලු මතු කරයි. අසහනය වර්ධනය වේ. කරදර ගෙන දෙයි. හිතට සතුටක් නැත.

මෙම ඉතිරි ශේෂයන් 8 ට ගෘහයේ ආයාෂ්ඨක සෙවීම යනුවෙන් ද වාස්තු විෂයේ දී හඳුන්වයි. දැන් නිවසේ වර්ගඵලය ගෙන තම නිවස පදිංචියට සුදුසු ද නැද්ද උදාහරණයකින් පැහැදිලි කර බලමු.

නිවසේ දිග = වඩු රියන් 13

නිවසේ පළල = වඩු රියන් 7

දහ තුන හතෙන් වැඩි කර අටෙන් බෙදන්න. උත්තරය 11 යි. ඉතිරිය 3 යි. එම ගෘහය පදිංචියට සුදුසුය.

තව උදාහරණයකින් පැහැදිලි කරමු.

නිවසේ දිග =වඩු රියන් 10

නිවසේ පළල =වඩු රියන් 8

දහය අටෙන් වැඩි කර අටෙන් බෙදන්න. උත්තරය 10යි.ඉතිරිය 0 යි. එම ගෘහය පදිංචියට සුදුසු නැත.

වාස්තු විද්‍යාවේ මෙම වර්ගඵලය ආය ක්‍රමයට ද නම් කර නිවසේ පදිංචියට සුදුසු ද නැද්ද යන්න බලනු ලැබේ. ඉහත සඳහන් ඉතිරි ශේෂ 8 ආය ක්‍රමයට ද නම් කර ඇත. එය මෙසේ ය.

ඉතිරිය 1 නම් ද්වජ ආය

ඉතිරිය 2 නම් ධ්‍රමු ආය

ඉතිරිය 3 නම් සිංහ ආය

ඉතිරිය 4 නම් සුනඛ ආය

ඉතිරිය 5 නම් වෘෂභ ආය

ඉතිරිය 6 නම් කොටළු ආය

ඉතිරිය 7 නම් ගජ ආය

ඉතිරිය 0 නම් කාක ආය

එසේ ඉතිරියෙන් ලබා ගත් ආය වල ප්‍රතිඵල පහත දැක්වේ

ද්වජ නම් කීර්තිය ඇති වේ

ධ්‍රමු නම් ශෝකය ඇති වේ

සිංහ නම් දියුණුව ගෙන දෙයි

සුනඛ නම් වෛරය වර්ධනය වේ

වෘෂභ නම් ධනය වැඩි වේ.

කොටළු නම් දුප්පත් වේ

ගජ නම් සිරි සැප මතු වේ

කාක නම් ලෙඩ රෝග වැඩි වෙයි

ද්වජ, සිංහ, වෘෂභ, ගජ යන ආය වර්ග නිවසේ පදිංචිය සඳහා සුබ පල දෙන අතර, ධ්‍රමු, සුනඛ, කොටළු, කාක ආය වර්ග නිවසේ පදිංචිය සඳහා සුබ පල දෙන්නේ නැත.

නිදහසේ ජීවත්වීමට නම් පදිංචියට පෙර හෝ නිවස සෑදීමට පෙර ආය වර්ග අනුව නිවස සැලැසුම් කිරීමට පළමුව වග බලා ගන්න.

ඡ්‍යොතිෂවේදී ග.මු. සුබසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.