මෙන්න නිවසක මූලික වාස්තු ෙදා්ෂ

ජනවාරි 14, 2022

නිවස හෙවත් වාසස්ථාන මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකකි. ජීවිතයේ වැඩිකාලයක් අප ගෙවා දමන්නේ නිවස තුළයි. එසේ නම් අප ජීවත් වන නිවස වාස්තු දෝෂවලින් තොර සුබ වාසස්ථානයක් කරගත යුතු ය. ඒ සඳහා වාස්තු දෝෂ හඳුනා ගත යුතු ය. ඒ පිළිබඳ සරලව විමසා බැලීම මෙම ලිපියේ මූලික අරමුණයි.

 

නිවසක වාස්තු දෝෂ ඇතිවන හා ඇතිවිය හැකි අවස්ථා

 

නිවස පිහිටි භූමියේ හැඩය, පිහිටීම නිසා ඇතිවන දෝෂ භූමිය ආශි‍්‍රත බහිරව, භූත, අණවිණ, කොඩිවිණ වැනි දෝෂ ඉඩමේ පාද බෙදීමේදී (බ්‍රහ්ම, දේව, මානුෂ, ප්‍රේත) සුදුසු පාදයේ නිවස සෑදීම මඟ හැරීමෙන් ඇතිවන දෝෂ සැලසුම නිර්මාණයේ දී ඇතිවිය හැකි දෝෂ (සැලසුම් නිර්මාණකරු විසින් නිවසේ සැලසුම නිර්මාණය කිරීමේදී ගෙහිමියාට, භූමියට සුදුසු අයුරින් නොකිරීම හා අත්තිවාරමට පාද බෙදීමේ දී, කාමර වෙන් කිරීමේ දී, දොර උළුවහු ජනෙල් තැබීමේදී, වහළ ගැසීමේ දී නොදැනුවත්කමින් (හෝ වුවමනාවෙන්ම) දෝෂ ඇතිවන පරිදි වැඩ කටයුතු කිරීම නිසා ඇතිවන දෝෂ නිවස සාදා පසුකාලීනව සිදු කෙරෙන අවිධිමත් වෙනස් කිරීම්, අසල්වැසි නිවසේ ඉදිකිරීම් වෙනස් කිරීම්, පරිසරයේ ගහකොළ පිහිටීම් ආදියේ සිදුවන වෙනස්වීම් නිසා ඇතිවන දෝෂ ඉහත දක්වන ලද දෝෂ පිළිබඳව තවදුරටත් සලකා බලමු.

භූමියේ හැඩය පිහිටීම නිසා ඇතිවන දෝෂ (මෙම හැඩතල දිස්වීමෙහි දක්වා ඇති ආකාරයටම නැති වුවත් හොඳ පුරුදු කාරයකුට ඉඩමේ හැඩය කුමක්දැයි දුටු පමණින්ම වටහා ගත හැක.)

 

වාසයට සුදුසු හැඩැති භූමි

හිස ඔසවා ගත් සිංහයකුගේ හැඩය (සිංහාකාර) ඉඩම

දෙපසට හැරුණු ඇත් යුවලක් හොඬ දිගුකොට සිටින හැඩැති (ගජාකාර) ඉඩම

ගවයකුගේ රුව හැඩැති (වෘෂභාකාර) ඉඩම (පූර්ව හා අග කොටස පටුය මධ්‍ය පෙදෙස පළලය)

කොඩි කනුවක හැඩැති (ඡත්‍රාකාර) (කොඩියක හැඩය ඇති පටු දිගු අග කොටසක් ඇති)

බේසමක හැඩය (වට ප්‍රදේශය උස්ව මැද උස් නොවූ) ශිඛාකාර)

හිස බිමට ඔබාගත් සතකුගේ හැඩැති (පූර්ව කොටස නොඋස්ව හා අග කොටස උස්ව පිහිටි කුඩා බිම) (වරහාකාර)

බෙර සමක් සේ සමව මටසිලිටි ඉඩම (ජලතලාවක් මෙන්) (ජලතලාකාර)

මුල් කොටස පළල්ව පසුව පටුව ගලනා ගඟක් හැඩැති (ගංගාකාර)

බැලූ පමණින් සිත සනසන වලගොඩැලි රහිත (සාධාරණ) භූමිය

වාසයට නුසුදුසු හැඩය ඇති භූමි

කළයක හැඩය ඇති (කුම්භාකාර)

ත්‍රිකෝණාකාර ඉඩම

චතුරස්‍රාකාර ඉඩම

පරිනායක්කාර (වටකුරු හැඩැති නමුත් බියක් උපදවන ස්වරූප ගනී.)

දිගින් වැඩි පළලින් අඩු (ආතාකාර) ඉඩම

රාක්ෂමුඛාකාර (රකුසු කටක හැඩැති) වටින් කඳුගැට සහිත කඨෝර බිම් සහිත නැඟෙනහිරට බෑවුම් වූ ඉඩම

සිළුමිණක හැඩැති (අයගනාකාර ඉඩම)

වේ තුඹස් කළු පස් අධිකව ඇති (කූඨ අෂ්ඨාකාර) ඉඩම

අටපට්ටම්, උදළු තලය, පොරොව තලය හැඩය ඇති ඉඩම්

මැද පෙදෙස සමතලාව ඇතත් සෑම පැත්තටම බෑවුම් වූ (කූවර්කාර) ඉඩම

බිත්තරයක (ඛේවලාකාර) ඉඩම (මධ්‍ය ප්‍රතිඵලයි)

වාසයට නුසුදුසු වෙනත් භූමි

හෙන ගැසූ ඉඩම්, සොහොන් ඉඩම්

සැලකිය යුතු - වාසයට නුසුදුසු භූමියක් සුදුසු පරිදි සමතලා කිරීම් පස් පිරවීම් හා හැඩයේ සුළු වෙනසක් කිරීමෙන් වාසයට සුදුසු භූමියක් බවට පත්කර ගත හැක. (හෙනගැසූ හා සොහොන් ඉඩම් වාසයට සුදුසු වීමට කල්ගත විය යුතුය.)

 

භූමිය ආශි‍්‍රත බහිරව, භූත, අණවිණ, කොඩිවිණ දෝෂ

වස්තුවට භූමියට ආශාවෙන් පහළ වූ කොට්ඨාසයක් වන බහිරවයන් පන්නා දැමීමක් නොකර ඔවුන්ගේ සිත් සතුටු කර ඔවුන්ගෙන් බාධා ඇතිවීම වළක්වාගෙන ආශීර්වාද ලබා ගැනීමේ ක්‍රමයක් පුරාතනයේ සිට පවතී. ඒ අනුව බලනවිට සෑම ඉඩමකම මෙම බහිරවයන් අරක් ගැනීම් ඇති අතර, අදාළ පරිදි වත් පිළිවෙත් කිරීම සිදු නොවන විට ඉඩකඩම් ආශි‍්‍රත බහිරව දෝෂ මතුවේ. පාලුවට ගිය හිස් මුඩු ඉඩම් හා කලක් මනුෂ්‍ය වාසයෙන් තොරවූ ඉඩම්වල නිවාස සෑදීමේ දී මෙම බහිරවයන් සතුටු කිරීම ගැන විශේෂයෙන් සැලකිය යුතු ය. බහිරවයන් සතුටු කිරීමේ දී මෙම චාරිත්‍රය බහිරව පූජාව ලෙස හැඳින්වේ. වඩාත්ම සුදුසු අත්තිවාරම් දැමීමට පෙර මෙම බහිරව පූජාව සිදුකිරීමයි. එය අතපසු වුවහොත් ගෙවදින විටදිවත් සිදුකළ යුතු ය.

බහිරව දෝෂයට අමතරව භූමියේ පදිංචිව සිටි හෝ එයට ආශාවෙන් මිය පරලොව ගිය අය මරණින් පසු ප්‍රේත, භූත ආත්මවල ඉපදී ඉඩමට අරක් ගනී. මෙම භූත බලවේග හා විවිධාකාර සතුරු කරදර අවස්ථාවලදී එම සතුරන් විසින් සිදුකරන අණවිණ, කොඩිවිණ, භූමි පාළුවලින් ඉඩමේ පදිංචිකරුවන්ට කරදර මතුවේ. මෙම දෝෂ පරම්පරා ගණනක් යනතුරුම බලපවත්වන අවස්ථා ඇත. මෙම දෝෂවලින් ආරක්ෂාවීමට, දෝෂ ඉවත් කිරීමට සුදුසු ශාස්ත්‍රීය ක්‍රමද පුරාණතයේ සිටම අනුගමනය කෙරෙමින් ඇත. මීටත් අමතර වශයෙන් කිසිවකු හෝ සම්බන්ධ නොවී ස්වභාවික වශයෙන්ම නිර්මාණය වූ ස්වාභාවික හූනියම් (සත්ව ඇටකටු වැළලීම් වැනි) මගින්ද භූමි දෝෂ ඉස්මතු විය හැකි අතර ඒවා හඳුනා ගැනීමට හා ඉවත් කිරීමට පිළිවෙත් ක්‍රමද පැරණි පොත්පත්වල සඳහන් ය.

 

ඉඩමේ පාද බෙදීමේ දී (බ්‍රහ්ම, දේව, මානුෂ, ප්‍රේත) සුදුසු පාදයේ නිවස සෑදීම මඟහැරීමෙන් ඇතිවන දෝෂ

ඉඩමක දිග පැත්ත සමාන කොටස් 7 කටත් පළල පැත්තද එලෙස සමාන කොටස් 7 කටත් බෙදූ විට ලැබෙන මැදම කොටුව බ්‍රහ්ම පාදයත් ඊළඟ කොටුව වළල්ල දේව පාදයත් ඊළඟ කොටු වළල්ල මනුෂ්‍ය පාදයත් ඉඩමේ වැට මායිමට ආසන්න අවසන් කොටුව ප්‍රේත පාදයත් වේ. නිවස සෑදීමට වඩාත් සුදුසු දේව හා මානුෂ පාද හසුවනසේ ය.

සැලසුම නිර්මාණයේ දී ඇතිවිය හැකි දෝෂ

නිවසක ප්ලෑන ඇඳීමේදී සැලසුම් ශිල්පියා විසින් ප්‍රථමයෙන්ම ඉඩම පරීක්ෂා කළ යුතුම ය. මන්ද නිවස සෑදීමේ දී වටපිටාවේ පිහිටීම ගහ කොළ අසල නිවෙස් පිහිටා ඇති අයුරු ද වැදගත් වන බැවිනි. ඉඩමේ හැඩය ගැන සලකා නිවස සෑදිය යුතු සුදුසුම ස්ථානය තේරීමද ඔහු සතු වැදගත් කාර්යයකි. (වර්තමානයේ ඉඩකඩම් සීමිත වීම හා ඒවායේ ස්වභාවය අනුව පොත් පත්වල දක්වා ඇති වාස්තු දෝෂ මඟහැර වැඩ කිරීම අපහසු වුවත් හැකි උපරිම සුදුසු බව රැකිය යුතු ය.) වර්තමානයේ බොහෝ සැලසුම්කරුවන් (සෙත් කවි සාදන්නන් එකම සෙත් කවිය නම වෙනස් කරමින් කිහිප දෙනෙකුට සපයන ආකාරයටම) පහසුව තකා එකම ප්ලෑනය යම් යම් වෙනස්කම් කරමින් කිහිප දෙනකුටම සපයති. සේවාදායකයන් ඒ ගැනද සැලකිලිමත් විය යුතු ය. සැලසුම් කරුවන් මෙන්ම පාඨකයන්ද දැන සිටිය යුතු වාස්තු නීති, දෝෂ යෙදීම් කිහිපයක් පහත දක්වා ඇත. අනුපිළිවෙළ සම්බන්ධයෙන් පාඨකයන් මා හට දොස් පැවරිය හැකි නමුත් ඉතා සංකීර්ණ ක්ෂේත්‍රයක කොටස් බ්ලොග් ලිපියකට සම්පීඩනය කිරීමේ දී ඉතාම සුදුසු ක්‍රමය මෙය යැයි මට හැඟුණි.

නිවසක අත්තිවාරමට පාද බෙදීම

නිවසේ (ඉඩමේ නොවේ) මුළු දිග සමාන කොටස් 15 කට බෙදූ විට ලැබෙන තීරු පාද ලෙස හැඳින් වේ. මෙම තීරු 15 පිළිවෙළින් නන්දා, භද්‍රා, ජයා, රික්තා, පූර්ණා මින් නන්දා, ජයා, පූර්ණා පාද සුබපාද ලෙසත් භද්‍රා, රික්තා අසුබ පාද ලෙසත් දක්වා ඇත. සුබ පාදවල අත්තිවාරම් දැමීම දොර උළුවහු තැබීම කළ යුතු ය.

නිවසක අත්තිවාරමට යටවන වර්ගඵලය (වඩු රියන් ක්‍රමයට) වඩු රියනක් යනු දල වශයෙන් අඟල් 31)

අටෙන් බෙදූ විට ශේෂය ඔත්තේ (1, 3, 5, 7) වීම හොඳයි.

මීට අමතරව මෙම වර්ගඵලය ඇසුරෙන් සිදු කෙරෙන 11 පොරොන්දම් පරීක්ෂාවේ අත්‍යවශ්‍ය පොරොන්දම් ගැළපීම සුබ වීම වඩාත් හොඳයි.

ගිනි කතිරය

පෘථිවියේ භූචුම්භක උතුරු දිසාවත් සූර්යාලෝකය නිසා ඇසේ වර්තන ක්‍රියාවෙන් දෘෂ්ටියට වැටෙන උතුරු දිශාවත් දැක්වෙන රේඛා කැපීයන කෝණයට අයත් ප්‍රදේශයයි. නිවසක අත්තිවාරමට ලණු ඇදීමේ දී දෘෂ්ටි උතුරු දිශා රේඛාව තරමක් ඊශාන දිශාවට බර කොට ගැනීමෙන් මෙම ගිනිකතිරයට අත්තිවාරම අසුවීමේ දෝෂය මඟහරවා ගත හැක.

මරු සුලම

ඉඩමක අටකොන දිශාවන් එකිනෙකට කැපීයන හරි මැද ලක්ෂය

සියලු දෙනා දැන සිටිය යුතු නිවස ආශි‍්‍රත ප්‍රධාන මර්මස්ථාන

නිවසේ අත්තිවාරම් මුළු යාකෙරෙන (විකර්ණ)රේඛා දෙක කැපීයන ස්ථානය ප්‍රධාන මර්මස්ථානයකි. මෙම ලක්ෂ්‍යය හරහා උළුවහු නොවැටිය යුතු ය.

ඉදිරිපස බිත්තිය හරිමැද දෙකට බෙදීයන පරිදි ප්‍රධාන උළුවස්ස තැබීම අසුබය. ප්‍රධාන මර්මස්ථානයකි.

නිවසක මුදුන් යටලීයට ලම්භකව හරිකෙළින් පහළ බැලූ විට උළුවස්සක, ජනේලයක හරි මැදට වැටීම, උළුවහු කඳක හරි කෙළින් වැටීම, ජනේලයක ජනෙල් කඳක් හරිකෙළින් වැටීම අශුභයි. ප්‍රධාන මර්මස්ථානයකි.

නිවසේ බිත්ති සමානව දෙකට බෙදී යන පරිදි මුදුන් යටලීය හරි මැද තැබීම අශුභයි. ප්‍රධාන මර්මස්ථානයකි.

ප්‍රධාන බිත්තිය හරහා මුදුන් යටලීය බිත්තිය හරි මැද දී එකට පිරිද්දීම අශුභයි. ප්‍රධාන මර්මස්ථානයකි.

නිවසක හරි මැද (නිවසේ බ්‍රහ්ම පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය) අපවිත්‍රව පැවතීම, වැසිකිළි ආදිය තිබීම අශුභයි. ප්‍රධාන මර්මස්තානයකි.

මුදුන් යටලීයට කෙළවරින් පරාල 3ක් එකට සම්බන්ධ කිරීම දෝෂයකි.

නිවසක වහල් කාප්පයක් භද්‍රා, රික්තා පාදවලට හසුවීම ප්‍රධාන මර්මස්ථානයකි.

ද්වාර (දොරටු) වේධ දෝෂ හා ගෘහ වේධ දෝෂ

 

ද්වාර වේධ දෝෂ 18 කි

මාර්ග වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව කෙළින් මාර්ගයක වංගුවක් වැටී තිබීම දෝෂයකි.

වෘක්ෂ වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව කෙළින්ම ආසන්නයේ විශාල වෘක්ෂයක් (ගසක්) පිහිටීම.

කදිම වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව කෙළින් ආසන්නයේ නිතර මඩවළක් තිබීම.

ජලනිගර්මන වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ආසන්නව ජලය ගලන (ඇළක් වැනි) මාර්ගයක වංගු වැනි හැරීයන ස්ථානයක් එක එල්ලේ වීම

කුප වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ඉතා ආසන්නව ළිඳක්, පොකුණක් තිබීම

දේවතා වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ඉතා ආසන්නව දේවාලයක්, දේවතා රුවක්, පිළිමයක්, ආගමික සිද්ධස්ථානයක් තිබීම.

ස්ථම්භ වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ඉතා ආසන්නව ගල් කණුවක් කුලුනක් පිහිටීම.

සුසාන වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව හරි කෙළින් සුසාන භූමියක සොහොනක්, සොහොන් කොතක්, ආදාහනාගාරයක් තිබීම.

කෝණ වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව කෙළින් මාර්ගයක තුන්මං, හතරමං හන්දි වැටීම, අසල නිවසක, ඉඩමක මුල්ල වැටීම.

ද්වාර වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ආසන්න නිවසක ප්‍රධාන දොරටුව වැටීම, ඉඩමේ ප්‍රධාන ගේට්ටුව කෙළින් වැටීම.

මර්මස්ථාන වේධ දෝෂ - නිවසක ප්‍රධාන දොරටුව කෙළින් වැසිකිළියක්, මල මුත්‍රා පහ කරන ස්ථානයක්, කුණු කසළ රැස්වන ස්ථානයක් වැටීම.

තිරස්ථීන වේධ දෝෂ - ප්‍රධාන දොරටුවට හරි කෙළින් ගව, අශ්ව, කුකුළු, ඌරු වැනි සත්වගාල් පිහිටීම.

රජක වේධ දෝෂ - ප්‍රධාන දොරටුව කෙළින් රෙදි අපුල්ලන, රෙදි සෝදන තැනක් පිහිටීම.

කුම්භාකාර වේද දෝෂ - ප්‍රධාන දොරටුව කෙළින් කුඹල් හලක් (මැටි භාණ්ඩ සාදන) පිහිටීම

ගණිකා වේද දෝෂ - ප්‍රධාන දොරටුව කෙළින් ගණිකා මඩමක් තිබීම.

මෙලෙච්ඡ වේද දෝෂ - ප්‍රධාන දොරටුව කෙළින් අහිගුණ්ඨික වැනි පහළ පන්තියේ අය සිටින නිවසක් ලැගුම්හලක් තිබීම.

රාජ වේධ දෝෂ - ප්‍රධාන දොරටුව කෙළින් රාජ, අමාත්‍ය වැනි ප්‍රභූ නිවසක් තිබිම.

බ්‍රහ්ම වේධ දෝෂ - නිවසේ ඉදිරිපස බිත්තියේ හරි මැද ප්‍රධාන දොරටුව තිබීම.

 

ගෘහ වේධ දෝෂ 10 කි

 

කෝණ වේධ දොෂ - පදිංචි නිවසේ මුල්ලක් වෙනත් ආසන්න නිවසක මුල්ලක් එල්ලේ වීම.

දුක් වේධ දෝෂ - පදිංචි නිවසේ ප්‍රධාන දොර වෙනත් නිවසක ප්‍රධාන දොර එල්ලේ වීම.

ජිද්‍ර වේධ දෝෂ - පදිංචි නිවස ඉදිරිපිට ඒ හා සමානම ගෙයක් තිබීම.

ඡායා වේධ දෝෂ - තමන් පදිංචි නිවසට අසල වෙනත් නිවසක සෙවණැල්ල වැටීම.

සෘජු වේද දෝෂ - පදිංචි නිවසින් එක් පැත්තක ලොක් ගෙවල් හා තවත් පැත්තක කුඩා ගෙවල් තිබීම.

වංශ වේධ දෝෂ - නිවසේ බාල්කයක් වෙනත් නිවසක බාල්කයක් එල්ලේ පිහිටීම

අග්‍ර වේධ දෝෂ - නිවසේ බිත්තියක් වෙනත් නිවසක බිත්තියකට ලම්භවනසේ පිහිටීම

භුමි වේධ දෝෂ - නිවස පිහිටි ගෙබිමේ උතුරු නැඟෙනහිර දෙදිසාවේ භූමි කොටස ගිලා බැස හෝ පහත් බිමක් වීම.

සංඝාතක වේධ දෝෂ - නිවසේ උසින් අඩක් වන දුරක වෙනත් ගෙයක් වේද එම ගෙයි බිත්තිද පදිංචි නිවසේ බිත්ති හා සමාන උසින් පිහිටීම.

දත්ත වේධ දෝෂ - පර්වතයකින් ඉවත්වුණු ගලක් නිවසේ බිත්තියකට එක එල්ලේ පිහිටීම.

එසේ නම් ඉහත සඳහන් දෝෂ හඳුනාගෙන සුබදායි වාසස්ථානයක් ගොඩනඟා ගමු.

 

 

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක,

පුවත්පත් ලේඛක,

සම්පත් එස්. කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.