නිවසක්, ඉඩමක් මිලදී ගැනීමේදී මේ ගැන සිතුවාද?

දෙසැම්බර් 24, 2021

ගෙවල් හැදීමට මෙන්ම සාදන ලද ගෙවල් මිලදී ගැනීමේදී කීපවරක්ම කල්පනා කළ යුතු වේ. සමහර නිවාස තුළ දිගුකලක් රැඳී සිටීමට අපහසු වනු ඇත. එයට බොහෝ කරුණු ඉවහල් වේ. අපි කතා කරන්නේ මිලදී ගන්නා ගෙවල් ගැනයි.

තමාට මනා අවබෝධයක් නොමැතිනම් උගත්, අත්දැකීම් බහුල වාස්තු විද්‍යාවේදියකුගේ ක්‍රමවත් උපදෙස් පිළිගත යුතුයි. ඕනෑ තරම් මුදල් තියෙනවා නම් ගෙවල් හදන එක මහ කජ්ජක් ද යන්න දිවෙන් පමණක් කතා කිරීමකි. මිනිහගේ ඇඟෙ හැඩයට ඇඳුම කපා මසන්නාසේ ඇඳුමේ හැඩයට මිනිහ කපන්න ගියොත් යසට හිටීවි. ඡ්‍යොතිෂ හා වාස්තු විද්‍යාව චේතිය රජුගේ පරම්පරාවේ ආදියේ සිටම පැවත එන සබන් බෝලයක් යැයි කියන ඇතැම් උගතුන් ද පෝලිමේ සිටින බව නොරහසකි.

නිවෙසක් මිලදී ගැනීමට පෙර සිතිය යුතු කරුණු රැසයි

සමහරු හිතනව අතේ සල්ලි තියෙනවා නම්, විකුණන්න ඉඩම් හරි ගෙවල් හරි තියෙනවා නම් වැඩේ හරි කියලා. එහෙම හිතල, හිතට අල්ලන ඉඩමක් හරි, ගෙයක් හරි හිතුමතේට මිලදී ගන්නවා. වැඩි දෙනෙක් වාස්තු විද්‍යාත්මක ඡ්‍යොතිෂ නියමයන් ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. අලුත් පරම්පරාවෙ හැටිද මන්ද...? කිව්ව නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ, පහළ ගියොත් පහළ කිව්වලු.... තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම්.... කියල කතාවකුත් තියෙනවනෙ. එහෙම වැඩ කරල නට්ටම් වුණු අයත් ඕනෙ තරම් ඉන්නවා. ඉඩමක් හරි නිවෙසක් හරි මිලට ගන්න පෙර හිතන්න මොන තරම් දේවල් තියෙනවද?

ඉඩමක් ඔබ සතුව නැත්නම් අලුතින් ඉඩමක් මිලටගෙන නිවෙසක් ඉදිකිරීමේදී අධික ලෙස ශ්‍රමයත් මුදල් රැසකුත් වැය කිරීමට සිදුවේ. එය තරමක දුෂ්කර කාර්යයක් වන බැව් පෙනේ. කොන්ත්‍රාත් පදනම යටතේ හෝ දෛනික වැටුප් තලයන් මත නිවෙසක් ඉදිකරන විට දෙවැනි ක්‍රමයේදී නිවෙස ගොඩනඟා අවසන් කරන අවස්ථාව වන තෙක්ම නිවෙස හිමියන් නිරන්තරයෙන්ම රැඳී සිටීම අනිවාර්ය වේ.

පෙදරේරු හා වඩු කාර්මික ශිල්පීන්ට අවශ්‍ය භාණ්ඩ සැපයීම තරමක් අසීරු වැඩකි. අඹු සැමියන් දෙදෙනාම රැකියාවක නියුක්ත වේ නම් ගොඩනඟන නිවෙස තමන්ට අවශ්‍ය වන රුචි අරුචිකම් මත ගොඩනඟා ගැනීමට ද අපහසුය. මෙකී කරුණු ගැන සලකා බලනවිටදී සමහර අය සාදා නිම කරන ලද නිවාස මිලදී ගැනීමට පෙලඹේ.

කරදර අඩු නිසා මේ මිලයට ගන්නා ඉඩමත් නිවෙසත් මුලින්ම පරීක්ෂා කළ යුතු වන්නේ එකී නිවාස ඉදිකර ඇත්තේ වාස්තු විද්‍යාවට එකඟව ද යන්න ගැනය. ප්‍රමිතියෙන් තොරව වාස්තු විද්‍යා දෝෂ සහිත නිවාස අධික මුදල් වැය කර ගත් පසු එහි පදිංචි වන අයට විශාල ලෙස කායික, මානසික කරදරවලට මුහුණ පෑමට සිදුවනු ලැබේ. අන්තර්ජාලයෙන් හඳුනාගත් එක්තරා දෙමහල් නිවාසයක් නිට්ටඹුව නගරය ආසන්නයේ මිලදී ගෙන ඇත්තේ මැදපෙරදිග රටක සේවය කරන එක්තරා මවකි. වැය වී ඇති මුදල රුපියල් ලක්ෂ 50කට අධිකය. මෙම නිවෙස ගත් නමුත් නිවෙස ඇතුළත යම් යම් නිවාසීය වාස්තු දෝෂ ඇති බැව් කිසියම් සැකයක් මතු වූ නිසා මා විසින් එම දෙමහල් නිවෙස පරීක්ෂා කිරීමේදී නිවෙසේ මධ්‍ය ලක්ෂය තුළ වැසිකිළියක් ඉදිකර හතර පැත්තේම කුරුස හැඩයට දොරටු යොදා තිබිණි.

පියගැට පෙළ ද අනෙක් දිසාවෙන් සෘජුව ඇති අතර ඊසාන දිසාවේ මුළුතැන්ගෙයත් බාහිර වැසිකිළියත් උතුරු දිසාවේ ඇති අතර, ගිනිකොණ දිසාවේ නිදන කාමර පිහිටා තිබේ. උඩුමහලේ ද වැසිකිළි පද්ධතියම පිහිටා තිබුණේ නිවෙස මධ්‍යලක්ෂයේය.

පරම පවිත්‍ර පූජනීය කලාපය සම්පූර්ණයෙන්ම අවහිර වී කිළිටි වී තිබිණි. ස්ථම්භ දෝෂ, ජනෙල්, උළුවහු, දොරටු දෝෂ, උඩුමහලේ දෝෂ විශාල සංඛ්‍යාවක් පිහිටා තිබිණි. දිය ඇල්ලක් ද හරියටම ඇත්තේ බ්‍රහ්මපාදයේ දකුණේය. මේ ඉඩම සහිත නිවෙස බාහිර පෙනුමෙන් ඉතාම කලාත්මක සෞන්දර්යාත්මක රිද්මයක් තිබුණත් ඇතුළත පදනම වාස්තු දෝෂවලින් පිරී තිබේ. මෙකී නිවාස වෙනස් කිරීමට තවත් විශාල මුදලක් වැය කිරීමට සිදුවිය හැකිය. නොපෙනෙන බලවේග, භූත දෝෂ තිබේ ද යන්න ඔවුන්ගේ එක්තරා ජුගුප්සාවකි. එවැනි දෝෂ කෙසේ වෙතත් මූලිකම වාස්තු දෝෂ සහිත නිවෙසක පදිංචි වී සිටීම ඉතාම දුෂ්කර වේ.

යක්ෂ, ප්‍රේත, භූත, පිශාච වැනි ඇසට නොපෙනෙන යම් බලවේග ගැන තදින්ම විශ්වාස කරන තැනකට නිවෙස් හිමියකු පත් වුවහොත් අවසානයට වන්නේ කුමක්ද? යන්න තේරුම් ගැනීමට ද අපහසු නොවන්නේය. එය නූල් බෝලයක් පටලවාගත් බළලකු වැනිය. විශ්වයේ අදෘෂ්‍යමාන බලවේග ඕනෑ තරම් ක්‍රියාත්මක වීම සොබාවිකය. නමුත් එතැනට පත්වීමට පෙර ඔබ මනා දැනුවත් වීමක් අනිවාර්ය වේ.

සමහර නිවාස තුළ ජීවත් වන අය කායික හා මානසික පීඩාවන්ට ගොදුරු වී සිටිනු ඇත. මේ පිළිබඳ විධිමත් වාස්තු විද්‍යාත්මක පර්යේෂණ කටයුතුවලදී හෙළි වී ඇත්තේ කිසිදු ප්‍රමිතියකට අනුගත නොවන අන්දමට නිවෙස ගොඩනඟා තිබීමය.

පනින්න පෙර සිතා බලනු යන ජනවහරේ කියැවෙන අන්දමට මේ ලිපිය කියවන ඔබ දැනටමත් නිවෙසක් මිලදී ගැනීමට අර අඳින කෙනෙක් විය හැකිය. අත්දැකීම් ඇති ප්‍රවීණ වාස්තු විද්‍යාවේදියකුගේ නිරීක්ෂණයක් ලබාගෙන පසුව නිවෙස ඔබ සතු කර ගත යුතුයි.

අඩු මිලකට ලැබෙන ඉඩම් සහ නිවාසත්, අධික මිලකට ලබා ගත හැකි විශාල දැවැන්ත නිවාස යන දෙකම ගැන හොඳින් පරීක්ෂා කර බැලීම අනාගතයට යහපත් වන්නේය. නොදැන හෝ හිතාමතා කරන ලද වාස්තු දෝෂ නිවෙසක තිබිය හැකිය.

අද වන විට මුදල් වැය කර නිවාස සාදා වසරක්වත් යන්නට පෙර විකුණන තැනට පත්වන බැව් සත් අන්ත පුවත්පත් හා අන්තර්ජාලයෙන් දැක ගත හැකියි. වාස්තු විද්‍යාවේ කෝෂ්ඨාගාරයක් වැනි මඩුවන්වෙල දිසාවේ වලව්ව හරහා දැනුවත් විය යුතු මහා වාස්තු විද්‍යා තොරතුරු රැසක්ම උකහා ගත හැකි වේ. නිවෙසේ මැද මිදුලේ අද වන විට ‘කෝටි යාඩ්’ බවට හරි තිබේ. බරාඳය, වැරැන්ඩාව විය. නමුත් ඒවායේ ශිල්පීය සැලසුම එකිනෙකට පරස්පරය. එදා ඕලන්ද හා පෘතුගීසි ගොඩනැඟිලිවල පිටතින් තබා ඇති ආරුක්කු (ආච්) වත්මන්හි නිවාස ඇතුළත යොදා තිබේ.

අපේ දේශීය පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පය, සොබාවික පරිසරයට උචිත අන්දමට නිවාස සෑදීම් එදා උපයෝගී කර ගත්තේ ය. දළදා මාලිගයේ උළුවස්ස ඇත් සොඬ දෙකකින් අලංකෘත වී ඇති අතර, පත්තිරිප්පුවේ පියස්ස නෙලුම් මලක් මෙන්ම මහනෙල් මලක් යටි අතට හරවා ඇති කලාත්මක අරුත බර රටා නිර්මාණයන්ය. ආසියාකරයේ මහඟු වාස්තු විද්‍යාව ඇත්තේ ශ්‍රී ලංකාවේය. වත්මන්හි නිර්මාණය කරන සමහර නිවාස බාහිර පෙනුමෙන් මනා පෞරුෂයක් දිස්වේ. එහෙත් ඇතැම් නිවාස ඇතුළත දෝෂ සහිතයි.

නිවෙසක් මිලදී ගැනීමට පෙර මනාව පරීක්ෂා කර නොබලා එකී නිවෙස ඔබ සතු කර ගන්න ඉක්මන් නොවන්න. සමහර නිවාස තුළ ජීවත් වීමේ බලය, ශක්තිය නොමැති නිසා අලෙවි කරනු ලැබේ. මෙය එවැනි නිවාස යන්න අප දැනුවත් කිරීමකි. සමහර නිවාසවල ජීවත්වීමට නොහැකි වීම නිසාම විකුණා දමනු ඇත. එවැනි නිවාස මිලදී ගැනීමට පෙර වාස්තු දෝෂ හා වෙනත් ගුප්තමය දෝෂ ඇද්දැයි පරීක්ෂා කර වීමෙන් ඔබට සැනසීමකින් යුතුව ජීවත් වීමේ වාසනාව පෑදේ. නිවෙසක ඇති වාස්තු දෝෂ හා ඒවා කඩා බිඳ නොදමා දෝෂ මඟහරවා ගැනීමේ ක්‍රමවේද ඇත්තේය. අත්දැකීම් ඇති වාස්තු විද්‍යාවේදියෙකුගෙන් උපදෙස් ගැනීම වැදගත් වේ.

ඡ්‍යොතිෂ සහ වාස්තුවිද්‍යාවේදී

දේශබන්දු,

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.