නිවසට වාසනාව කැන්දන උපක්‍රම

දෙසැම්බර් 3, 2021

අත මිට සරු සාර වී වාසනාවන්ත ජීවීතයක් ගත කිරීමට කවුද අකැමැති ? කවුරුත් කැමැති එවන් වාසනාවන්ත ජීවීතයක් ගත කිරීමට යි. ඔබ විසින් මිලදී ගන්නා ඉඩම් කැබැල්ලේ ඔබට රිසි පරිදි වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව, සුබ වේලාවක් බලා සුබ නැකැතට සාදා නිමකරන නිවෙස නිවැසියන්ට වාසනාව ගෙනෙනු දැකීම සියලු දෙනාගේ ම අපේක්ෂාවයි.

එහෙත් සෑම විටම එය එසේ නොවන බවසමහර නිවාස හා එහි වෙසෙන පුද්ගලයන් පිළිබඳව විමසීමේදී පැහැදිලිවම පෙනී යයි. බැලූ බැල්මට නිවෙසේ වාස්තු දෝෂයකුත් නොපෙනුනත් සමහර නිවාස ඵල නොදරන්නේ ඇයි ? මේ ගැටලුවට විසඳුම් මොනවාද.පසන් නිවසක්,සිරි දෙව්දුව වැඩ සිටින නිවසක් පිළිබඳව නිබඳවම සිතට ගෙන මෙම තොරතුරු පිළිබඳව දැනුම්වත් වන්න.

ධන ආකර්ශණය ලබන්නේ සිරි දෙව්දුවට කැප පිරිසිදු නිවසකි

වාස්තු විද්‍යානුකූලව නිවැරදි නැකැත් ක්‍රමයන්ට ම ගොඩනගනු ලැබූ ඔබේ නිවෙස ඔබට වාසනාව ළඟා නොකරන්නේ ඇයි“ ඔබ පළමුව විමසා බැලියයුතු කාරණාව එයයි. කොතරම් වාස්තු විද්‍යානුකූලව ගොඩනගනු ලැබූව ද ඔබ විසින් ඔබේ නිවෙස ඇතුළත සහ ගෙමිදුල දිනපතා අතු ගා පිරිසිදු නොකරන්නේ නම් සහ සති දෙකකට වරක් වත් මකුළු දැල් කඩා වහලය සහ බිත්ති පිරිසිදු නොකරන්නේ නම් ඔබගේ නිවෙසින් සිරි දේවිය පලා ගොස් මූදේවිය පැමිණෙන බවයි පෞරාණික වාස්තු විද්‍යාත්මක පිළිගැනීම වන්නේ. ඔබේ නිවෙස අපිරිසිදු නම් ඔබේ නිවෙසට ගෙන එන සියලු ධනය ඔබ නොසිතන අයුරින් ඉක්මනින් වියැකී යයි. අපිරිසිදු නිවෙසක් යනු අභාග්‍යය කරා යන ධන හානි සහිත නිවෙසකි. සෑම උදෑසනකම සහ සවස් යාමයකම ඔබගේ නිවෙස සහ මිදුල අතුපතු ගා හොදින් පිරිසිදු කිරීමත් ගෘහ භාණ්ඩ ආදිය පිසදමා නිවෙස සුන්දරව තබා ගැනීමත් ඉතාම වැදගත් වේ. එවිට ඔබේ නිවෙස ධන ආකර්ෂණ නිවෙසක් වනු නිසැකය.

පිළිවෙල හා ක්‍රමවත් බව බුද්ධි ආකර්ශණයට ඉතාම වැදගත්

ඔබේ නිවෙස පිරිසිදුව තබා ගැනීමෙන් එය ධන ආකාර්ෂණ නිවෙසක් කරගත හැකි සේම නිවෙස ක්‍රමවත් කරගැනීමෙන් බුද්ධි ආකර්ෂණ නිවෙසක් කරගැනීමේ හැකියාව ද ලැබේ. කුඩා කල බොහෝ විට අපේ අතින් පොතක් බිම වැටුණු විට අපි එය දෝතට රැගෙන පොතට වැඳ පොතට ගෞරව දක්වනවා නොවේ ද ? එය හුදෙක්ම චාරිත්‍රයක් නොවේ. දැනුම සහ බුද්ධිය ආකර්ෂණය කර ගැනීමේ එක් කෙම් ක්‍රමයක්. එබැවින් ඔබේ නිවෙසේ ජීවත්වන දරුවන්ගේ ඉගෙනීම කටයුතු සඵල කරගැනීමට සහ වැඩිහිටියන් වන ඔබ මුහුණ දෙනු ලබන තරග විභාග ආදියෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීම සඳහාත් ඔබේ නිවසෙහි ඇති සියලු පොත් පත් පත්තර සහ ලිපි ද්‍රව්‍යය ක්‍රමවත්ව තබා ගැනීම වැදගත්.

මේ සදහා ඔබේ නිවෙසෙහි ඊසාන දිශාවෙහි පුංචි ඉඩකඩක් තෝරාගැනීම වැදගත් වේ. එම ඉඩකඩ තුළ පොත් පත්, පත්තර ආදිය පිරිසිදුවට පිළිවෙළට ක්‍රමවත් ලෙස අසුරා තබා පරිහරණය කිරීමෙන් ඔබේ නිවෙසත් බුද්ධි ආකර්ෂණ නිවෙසක් කර ගැනීමේ හැකියාව ලැබේ.

නිවසේ අඬදබර වලකන මුලුතැන්ගේ පිරිසිදු බව

මුළුතැන්ගෙය නිවෙසේ එක් ප්‍රධානතම ස්ථානයකි. උදෑසන අවදි වූ පළමු මොහොතේම නිවෙසේ ගෘහණිය ගමන් කරනු ලබන්නේ මුළුතැන් ගෙටයි. ගෘහණිය පමණක් නොවේ. උදෑසන තේ කෝප්පයක් රසවිඳීමට නිවෙසේ සියලු දෙනාම පුරුදු වී සිටිනා බැවින් උදෑසන සියලු දෙනාම පැමිණෙන්නේ මුළුතැන් ගෙටයි. එබැවින් ඔබගේ මුළුතැන් ගෙය පිරිසිදුවට පිළිවෙළට තබා ගැනීම ඉතාමත් වැදගත් වේ. එසේම මුළුතැන්ගෙය අපිරිසිදු නම් දෙන්නා දෙමහල්ලන් අතර නිතර නිතර මත ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැකි සාධකයකි.

ප්‍රමාණයට වඩා ගෘහ භාණ්ඩ මනස අවුල් කරවයි

ඇතැම් නිවෙස්වල ජීවත්වන පුද්ගලයන්ගේ පරිහරණයට අවශ්‍යව ප්‍රමාණයට වඩා ගෘහ භාණ්ඩ පිරී පවතිනු දැකීම සුලභ තත්ත්වයකි. නිවෙසක් තුළ ජීවත්වන පුද්ගලයන් ගේ මානසිකත්වය යහපත් සහ නිරවුල් මට්ටමින් පවත්වාගෙන යාමට එම නිවෙසෙහි ගෘහ භාණ්ඩ ස්ථානගත කර ඇති ස්වභාවයද බලපාන බව ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැකියි. එසේ නම් අදම ඔබගේ නිවෙස තුළ පවතින ගෘහ භාණ්ඩ නිසි පිළිවෙළට තැබීමට උනන්දු වීම ඉතාම වැදගත් බව අමතක නොකරන්න.

නිවෙසේ ආලින්දය තුළ පාවිච්චි නොකරන රෙදි හෝ ඉටිකොළ ආදියෙන් වසාදමා පුටු ආදිය තිබීම කිසිසේත්ම සුදුසු නැත. එසේම නිවෙසේ ආලින්දය හැකි තාක් නිදහස් අවකාශයක් සහිතව තැබීමට උත්සාහ ගැනීමෙන් නිවැසියන්ගේ මානසික ආතතිය දුරුකර ගැනීමට මහඟු පිටිවහලක් වනු ඇත. එසේම නිදන කාමරවල ද අනවශ්‍ය බඩු බාහිරාදිය පිරවීම නොකළ යුතු අතර සති කිහිපයකට වරක් ඔබේ නිවෙසේ ගෘහ භාණ්ඩ තබා ඇති ස්ථානයෙන් වෙනත් ස්ථානයන්ට මාරු කර නිවෙසේ පවතින ඒකාකාරී බව දුරු කිරීම ද වැදගත් ය.

පුද පූජා නිරෝගී සම්පත උදා කරයි

ඔබේ නිවෙසේ සුදුසු ස්ථානයක හෝ ගෙමිදුලේ කුඩා ඉඩක් වෙන් කර ඔබ අදහන ආගමේ හෝ පිළිපදින ධර්මයේ පවතින පුද පූජාවන් සිදු කිරීම තුළින් නිවැසියන් ට නිරෝගී සම්පත උදාකරගත හැකිය.

මේ සදහා ඔබ ගෘහ අභ්‍යන්තරය තෝරාගන්නවා නම් නිවෙසේ ඊසාන දිශාවේ ස්ථානයක් ඉතා යෝග්‍යයද වේ. එසේ ම ගෙමිදුල තුළ පහන් කුටිය සදහා ස්ථානයක් වෙන් කරනවා නම් ඒ සදහා ද ඊසාන දිශාව ඉතා යෝග්යේ වේ. ඔබේ නිවෙසේ පහන් කුටිය නිතර පිරිසිදු කර තැබීම අනිවාර්ය වන අතර එසේ නොවේ නම් නිවැසියන් නිතර ලෙඩ රෝගවලට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩිය.

ජය සතුට උතුරන ආකර්ශණීය ගෙමිදුලක වැදගත්කම

නිවසේ ප්‍රසන්න බවට ඉතාම වැදගත් වන ගෙමිදුල අලංකාරවද පිරිසිදුවද තබා ගැනීම ඉතාම වැදගත් වේ. ඉදිරිපස මිදුල මෙන්ම “පිළිකන්න ” ලෙස ගැමියන් ව්‍යවහාර කරනු ලබන නිවෙසේ පිටුපස මිදුල ද පිරිසිදුව තබාගැනීම ඉතා වැදගත් වේ. ඔබ පර්චස් කිහිපයක ඉඩකඩක් තුළ ජීවත්වනවා නම් සුරතල් සතුන් ඇති නොකිරීමට ප්‍රවේසම් විය යුතු අතර කුකුලන් වැනි (බල්ලන්ද ඇතුලුව) සතුන් ඇති කරනවා නම් ඔවුන් ගේ කුඩු නිවසේ වයඹ දිශාවෙන් සකසා තැබීමට අවධානය යොමු කළ යුතුය. නිවෙසේ ඉදිරිපස මිදුලෙහි පල්ලමක් හෝ අගාධයක් තිබීම කිසිසේත්ම සුදුසු නොවන බැවින් ඒවා පුරවා නිසිව සකස් කිරීම ඉතා වැදගත් වේ. එසේම මිදුලට හොදින් සූර්යාලෝකය වැටෙන පරිදි ක්‍රමවත්ව මිදුලේ ගස්වැවීම වැදගත් වන අතර නිවෙසේ බිත්ති මත හෝ තාප්පයේ වැල් වශයෙන් වැවෙන මල් වර්ග වගා නොකිරීමට ප්‍රවේසම් වීමෙන් ඔබගේ නිවෙස ජය සතුට උතුරනා සෞභාග්‍යමත් නිවෙසක් බවට පත්කර ගැනීමට නොඅනුමානවම හැකිවනු ඇත.

ඒ.සී.එස්.නවීලා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.