නිවසක් ඉදිකිරීමේ දී පුරාණ වාස්තුව අනුව එන ගැටලු

ඔක්තෝබර් 29, 2021

ප්‍රධාන දොර ඇතුළු පිටවීමේ දොරවල් තැබීමේ ක්‍රමවේදය හරියාකාර කර ගැනීමට නොහැකි අවස්ථා යෙදී ඇත. නැගෙනහිරට ප්‍රධාන දොර තැබුවොත් බස්නාහිර, දකුණ දිසාවලට පිටවීමේ දොරවල් තැබිය නොහැකි අවස්ථා ඇත. එනිසා නැඟෙනහිර බස්නාහිර උතුර දිසාවලට පිටවීම් දොර උළුඅහු තබා ඇති ස්ථාන හමුවේ.

 

නිවසක් ඉදිකිරීමේ දී පුරාණ විද්වතුන් විසින් පෙන්වා දී ඇති සිද්ධාන්ත බොහෝ ඇති නමුත් අද වන විට බොහෝ දෙනා එයින් අනුගමනය කරන්නේ ඉතා සුළු කොටසකි. නිවසක් සෑදීමට අවශ්‍ය බිම් කොටසේ සිට ලී දඬු, ගල්, පස්, වහළයට උළු හෝ සෙවිලි තහඩු මේ ආදී බොහෝ දේ අධික මිලකට සපයා ගනිති.

 

මෙහිදී උළු හා සෙවිලි තහඩු, යකඩ ද්‍රව්‍ය හැර අනෙකුත් දේවලට වාස්තු සිද්ධාන්ත අනුගමනය කළ නොහැක. ඉතා සුළු පිරිසකට අනුගමනය කළ හැකි වූවත් බොහෝ දෙනකුට අනුගමනය කළ නොහැකි අවස්ථා ඇත.

දෙමව්පිය උරුමයෙන් ඒ ඒ අයට ලැබෙන ඉඩම්වල අවට පරිසරය හා මාර්ග නියම ආකාරයෙන් තිබේ නම් වාස්තුවට අනුව නිවස ඉදිකර ගත හැක. පර්චස් 80 පමණ ඉඩමක් නම් වඩාත් පහසුවේ. නමුත් ඉතා කුඩා ඉඩම් පර්. 10, 15, 20 ආදී ඉඩම් කැබලිවල බොහෝ අවස්ථාවල වාස්තුව නියම ආකාරයෙන් ගැළපීමට අපහසු අවස්ථා ඇත. ළිඳ, වැසිකිලි, මුළු තැන් ගෙය නියමිත දිසාවලට යොමු කළ නොහැකි අවස්ථා එළඹේ. නිවසේ සැලසුමේ දිග පළල අනුව මිදුලක් නැත. ඉඩම වටා තාප්පයටම නිවස සම්බන්ධ වේ. සමහර ස්ථානවල වැසිකිලිවල ගේ තුළම පවතී. ඉතාම අසුබ වාස්තු දෝෂයකි. සමහර ස්ථානවල මුළුතැන් ගෙය ඊසාන දෙසටත් ඉඳුල් වතුර වල වැසිකිලි වලත් එම දිසාවටම යොමු කර ඇත. කැබලි ඉඩම්වල මෙම තත්ත්වය යෙදී ඇත. බොහෝ දෙනා ඉතාම අසරණ තත්ත්වයකට ඇද වැටී ඇති අවස්ථා දැක ඇත්තෙමි. පුරාණ වාස්තු විද්වතුන් පෙන්වා දී ඇති පරිදි මෙම අසුබතාවයන් අනුව ගෘහ මූලිකයන් ඇතුළු දරුවන්ට පවා අනේක දුක් කරදර විඳීමට සිදුවන බව සත්‍යතාවය දැනට පැහැදිලි වී ඇත.

ඊළඟට දිසා දෝෂය නිසා ප්‍රධාන දොර ඇතුළු පිටවීමේ දොරවල් තැබීමේ ක්‍රමවේදය හරියාකාර කර ගැනීමට නොහැකි අවස්ථා යෙදී ඇත. නැගෙනහිරට ප්‍රධාන දොර තැබුවොත් බස්නාහිර, දකුණ දිසාවලට පිටවීමේ දොරවල් තැබිය නොහැකි අවස්ථා ඇත. එනිසා නැඟෙනහිර බස්නාහිර උතුර දිසාවලට පිටවීම් දොර උළුඅහු තබා ඇති ස්ථාන හමුවේ. මෙය දුක් කරදර ගෙන එන ඉතා අසුබ ක්‍රමයකි. නමුත් කුඩා කැබලි ඉඩම්වල වෙනත් කළ යුතු දෙයක් ද නැත. කෙසේ නමුත් මෙහිදී පුරාණ වාස්තු විදුවතුන් පෙන්වාදෙන ප්‍රධාන දොර තැබීමේ සුබ පාද ක්‍රමයත් සුබ දිසා ගත කිරීමත් යන ක්‍රමවේදයට ගැටලුවකි.

ඉඩමේ හැඩයද බොහෝ අවස්ථාවල වාස්තුවට නොගැළපෙන ආකාරයට පිහිටා ඇත. පළල අඩි 30 ක් වැනි සුළු ප්‍රමාණයකට අඩි 60 න් එහා බිම් කොටස බොහෝ දිගින් වැඩි වූයේ නම් දණ්ඩාකාර ඉඩම වශයෙන් වාස්තුවේ පෙන්වන අතර එහි නිවසක් සෑදීමට සිදුවූයේ නම් දියුණුවට බාධා නිතරම ඇතිවේ. නමුත් යම් අයකුගේ හැකියාව අනුව ඉමඩ ඇත්තේ එපමණ නම් මොනවා කරන්නද? ත්‍රිකෝණාකාර හැඩය ගන්නා ඉඩමද නිවසක් සෑදීමට ඉතා අසුබ බව පුරාණ වාස්තු විද්වතුන් ගේ මතයයි. පොරෝතල හැඩය ඇති ඉඩමද අසුබ බව පෙන්වා දී ඇත. මේ ආකාරයෙන් ඉඩම්වල පවතින විෂම ලක්ෂණයන් නිසා අද බොහෝ දෙනාට නිවසක් ඉදිකිරීමේ දී වාස්තුමය දෝෂ ගැටලුවක් බවට පත් වී ඇත. කෙසේ නමුත් මෙම දෝෂ සහිත ඉඩම්වල නිවාස සාදා ජීවත්වන අයට ඉමහත් කරදර පීඩා ඇති බව නම් සැබෑ ය. තමන්ගේ ග්‍රහ බල ශක්තිමත්ව තිබෙන තාක්කල් එම වාස්තු දෝෂ බල නොපාන අතර එය දුර්වල තත්ත්වයට පත් වූ විගස සියලු දෝෂ තත්ත්වයන් හිස මත කඩා වැටී විනාශයට පත්වේ.

ගමේ ගොඩේ පවතින තුංමන් හන්දි සතරමං හන්දි මෙම ස්ථාන ආශි‍්‍රතව පවතින ඉඩමකට මෙම වාස්තු දෝෂ තත්ත්වය ඉතා තදින් එල්ලවේ. මෙම ස්ථාන අවට ඉඩමක නිවසක් සෑදීමේ දී නොයෙකුත් කරදර වන ආකාරය සත්‍ය දෙයකි.

නිවසක් සෑදීමට බලාපොරොත්තුවන ඉඩමක් ආශි‍්‍රතව නිවසේ සිට අඩි 30 ක් ඇතුළත විශාල නා ගසක් නුග ගසක්, ගොරක හා මැංගුස් ගසක් තිබේනම් සූර්යයා බැස යන විට සවස 5.00 න් පසුව එහි සෙවණැල්ල නිවසට වැටේ නම් ඉතාම අසුබදායකයි. අදෘෂ්‍යමාන දෝෂ තත්ත්වයන් නිවසේ අයට බලපානු ඇත. දියුණුවට බාධා ගෙන දෙයි. නිතර මානසික පීඩාවන්ට හේතු වේ. විශාල ඝණ කැලෑ ආශි‍්‍රතව හෝ නිවසක් සෑදීමේ දී මෙම ඉහත කී ගසක් තිබේ නම් ගැටලු සහිත වේ. මෙම ගස් කපා අස් කිරීමේ දී තද බල දොස් බලපවත්වයි.

මී ළඟට ඉඩමේ බ්‍රහ්මපාදය හා මධ්‍යලක්ෂය සම්බන්ධවද කුඩා ඉඩම් කැබලිවල තදින් බලපවත්වන ගැටලුවකි. පර්චස් 10, 15 ඉඩමක මෙම ගැටලුව ඉතා තදින් බලපවත්වයි. නිවසේ බ්‍රහ්ම පාදය හා ගිනි කතුරත් සාලයට මැදි වන අවස්ථා යෙදේ. මහල් නිවසක නම් පඩිපෙළ අසුවෙන අවස්ථා යෙදේ. මෙය අසුබ දායක වේ. පුරාණ වාස්තු විද්වතුන් ගේ මතය අනුව මෙම ස්ථානය නිදහස්ව වෙන් වී තිබිය යුතු ය.

ඉඩමක මුහුණත ප්‍රධාන දිසාවට නැතිව අතුරු දිසාවන්ට යොමු වී තිබීමද වාස්තු ගැටලුවකි. ඊසාන, ගිනිකොණ, නිරිත, වයඹ මෙම අතුරු දිසාවන්ට ප්‍රධාන දොර අසුබ බව සඳහන් වේ. විශේෂයෙන් ගිනිකොණට ප්‍රධාන දොර තැබීම ඉතා අසුබ වේ. අසමගිය, පවුල් ආරවුල් ඇතිවේ. නිරිත දිසාව දියුණුවට බාදා ගෙන එයි. වයඹට නිතර චිත්ත පීඩා ගෙන දේ. ඊශානට ද චිත්ත පීඩා දියුණුවට බාධා, රෝග පීඩා දුක් කරද, සියල්ල සිදුවේ. කැබලි ඉඩම් වල මෙය ඉමහත් ගැටලුවකි. පර්. 10,15 ඉඩම් කැබැල්ලක ප්‍රධාන දිසාවට මුහුණත යෙදෙන ලෙසට නිවසේ අත්තිවාරමට ලණු ඇදීම කළ නොහැකිය. විශාල ඉඩමක එය ගැටලුවක් නොවේ.

මීළඟට නිවසක වහලය තැනීමේ දී බොහෝ විට දැව දඬු සම්බන්ධවද නොයෙක් වාස්තුමය ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. පැරණි නිවසක් කඩා අස්කළ යටලී ගැනීම සුදුසු නැති බව මතයකි. පරාල ද අසුබ දායක වේ. පැරණි නිවසක උළු නැවත අලුත් නිවසකට සුදුස නැති බව ද කියවේ. අකුණු වැදී ඇති ගස්වල ලී ගැනීමද අසුබ බව මතය වී ඇත. මෙවැනි වාස්තු ගැටලුවලට අද බොහෝ දෙනා මුහුණ දී සිටිති. අලුත් ලී වවල පවතින අධික මිල නිසා අද බොහෝ අවස්ථාවල ඉහත දැව වර්ග භාවිතා කරනු ඇත. ඒ අනුව සමහර අයට නිවසට පදිංචි වීමෙන් පසු නොයෙකුත් කරදර ලෙඩ දුක් ඇතිවීම නම් සැබෑ වේ. කඩා අස්කරන කාලයක් ඉකුත් වූ පැරණි විශාල නිවාසවල උළු අහු ජනෙල් නැවත සුද්ධ කර පොලිෂ් වර්ග ගා භාවිතා කරන අය සිටිති. කෙසේ නමුත් බොහෝ දෙනා පවසන්න් අපට නම් දෝෂයක් මෙතෙක් බලපෑවේ නැහැ යන කතාවයි. නමුත් පැරණි උළු අස්සක් අලුත් නිවසක ප්‍රධාන දොරට තැබීමෙන් ගෘහ මූලිකයා අකාලයේ මිය යන බව නම් සත්‍යයකි. ආයුෂ අඩුවීම සිදුවේ. ලෙඩ දුක් අධික වේ.

පැරණි නිවසක තබා තිබුණ ප්‍රධාන උළුඅස්ස ගලවා අස්කළ පසු එහි ආයුෂ අවසන් වේ. එය වෙනත් අලුත් නිවසකට තැබීමෙන් නැකැත් දෝෂ හට ගනී. එම උළුඅස්ස වෙනත් අයකුගේ නැකැතකට තබා පනින ලද උළු අස්සක් බැවිනි. එම නිසා එම උළුඅස්ස ගෘහ මූලිකයාට මාරක උළුඅස්සකි. මා මෙතෙක් දැක් වූ කරුණු ඔබගේ සැලකිල්ලට ගෙන නිවසක් සෑදීම ආරම්භ කරන්න. එවිට ඔබට වරදින්නේ නැත.

 

ජේ. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.