ගෘහ ආරම්භ කේන්ද්‍රයේ භාව ගත ග්‍රහපල අපල

ඔක්තෝබර් 15, 2021

මනුෂ්‍යයකු උපත ලබන මොහොතේ දී ඇතිවන ජන්ම කේන්ද්‍රය මෙන්ම ගෘහයක් ඉදිකිරීම ආරම්භ කරන මොහොතේ දී ඇතිවන ගෘහ ආරම්භ කේන්ද්‍රයේ එක් එක් භාවයන්හි ග්‍රහයන් පිහිටන ආකාරය අනුව ලබා දෙන ග්‍රහඵල එම ගෘහයට සහ එහි නිවැසියන්ද කෙරෙහිද බලපානු ලබයි. එක් එක් භාවයන්හිදී ග්‍රහයන් ලබාදෙන ග්‍රහඵල විමසා බලමු.

පළවන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ ලග්න නවයේ රවි සිටි කල හෙන විදුලි වැදීම සිදුවේ. සඳු සිටි කල ධන හානියද කුජ සිටි කල මරණයද බුධ සිටිකල ක්‍රියාවේ දක්ෂ බව සහ ජනයාගේ ආයුෂද වර්ධනය ගුරු සිටි කල ධර්මය අර්ථය සහ කාමය යන ත්‍රිවිධ සම්පත් වර්ධනය ද සිකුරු සිටි කල පුත්‍ර උප්පත්තියද සෙනසුරු සිටි කල දිළිඳු බවද ඇති කරයි.

දෙවන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ දෙවැනි භාවයේ රවි සිටිකල හානියද සඳු සිටිකල සතුරන්ගෙන් හානියද කුජ සිටිකල බන්ධනද බුධ සිටි කල සම්පත්ද ගුරු සිටි කල ධර්මයේ ඇලීමද සිකුරු සිටිකල විනෝදයෙන් කල් ගෙවීමද සෙනසුරු සිටිකල නොයෙක් අනතුරු ද ඇති කෙරෙයි.

තෙවන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ තෙවන භාවයේ ශුභ ග්‍රහයෝ සිටීමෙන් එම ග්‍රහයන්ට අනුකූලවද පාප ග්‍රහයෝ සිටීමෙන් එම ග්‍රහයන්ට අනුකූලවද පල අපල දෙනු ලබයි.

සිව්වන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ සිව්වන භාවයේ රවි සිටීමෙන් මිතුරන්ගේ වියෝවද සඳු සිටි කල බුද්ධි විනාශයද කුජ සිටි කල මිත්‍ර භේදයද බුධ සිටි කල ලාභයද ගුරු සිටිකල රාජ සම්මානද සිකුරු සිටි කල භූමි ලාභද සෙනසුරු සිටි කල මහත් වූ අලාභද ඇතිවේ.

පස්වන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ පස්වන භාවයේ රවි සිටි කල දරු දුකද සඳු සිටි කල කළහ පි‍්‍රය බවද කුජ සිටි කල කාම විරෝධයද බුධ සිටි කල ස්වර්ණාභරණ ද ගුරු සිටිකල මිතුරන්, වස්ත්‍ර සහ ධනයද සිකුරු සිටි කල පුත්‍රයන් සහ ධනයද සෙනසුරු සිටිකල කෑම නොමැති බීමද ඇති වන්නේ ය.

සයවැනි භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ හයවන භාවයේ රවි සිටි කල රජුන්ගෙන් පූජා ලැබේ. සඳු සිටියේ නම් අභිවෘද්ධියද කුජ සිටීනම් සපල බවද බුධ සිටිකල මනය සහ බුද්ධියේ වර්ධනයද ගුරු සිටිකල ධනය ලැබීමද සිකුරු සිටි නම් විවිධ ලාභයද සෙනසුරු සිටීනම් සතුරන් නැසීමද සිදුවන්නේ ය.

සත්වන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ සත්වන භාවයේ රවි සිටීනම් කීර්තිය නැතිවීම සඳු සිටීනම් අංග හීන වීමද කුජ සිටීනම් නිග්‍රහයද බුධ සිටීනම් ගුරු සිකුරු යන ග්‍රහයන් සිටීනම් බුධගෙන් අස් භෝගයද ගුරුගෙන් ගජ භෝගයද සිකුරුගෙන් භූමි භෝගයද ඇති කරයි. සෙනසුරු සිටි කල අංග හීන බව ද ඇති වෙයි.

අටවන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ අටවන භාවයේ රවි සිටිකල සියලු කල සතුරන්ගෙන් හානි ඇතිවීමද සඳු සිටි කල හානියද කුජ සිටිකල භයද බුධ සිටිකල නම්බුව සහ ධනය ලැබීමද ගුරු සිටිකල මහත් වූ ජයග්‍රහණ සහ ශි‍්‍රයාවද සිකුරු සිටිකල ජනතාවගෙන් සැපයද ලබාදෙයි. සෙනසුරු සිටිකල භයද ඇති වෙයි.
නවවන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ නවවන භාවයේ රවි සිටි කල ධර්මය නැසීමද සඳු සිටිකල ධාතු හීනතාවයද කුජ සිටිකල නම්බුව සහ ධනය විනාශවීමද බුධ සිටීනම් නොයෙක් දේ ලැබීමද ගුරු සිටීනම් නුවණ සහ භාග්‍ය වැඩීමද සිකුරු සිටීනම් මහත්වූ ජයග්‍රහණන සෙනසුරු සිටී නම් කාම දූෂණයද ඇති වන්නේ ය.

දසවන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ දසවන භාවයේ රවි සිටීනම් ධනය ලැබීමද සඳු සිටීනම් නොයෙක් ආකාරයෙන් දියුණුවද කුජ සිටීනම් බලය ලැබීමද බුධ සිටීනම් විජයග්‍රහනයද ගුරු සිටීනම් මහත්වූ සැපයද සිකුරු සිටීනම් නිදිබර ගතියද සෙනසුරු සිටීනම් කීර්තිය නැසීමද ඇති වෙයි.

එකොළොස්වන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ අය ස්ථානය හෙවත් 11 වැන්නට ගිය සියලුම ශුභ ග්‍රහයෝ ශුභ පල ඇති කරයි.

දොළොස්වන භාවය
ගෘහ ආරම්භ කේන්ද්‍රයේ දොළොස් වැන්නේ සිටින සියලුම ග්‍රහයන් අශුභ පල ඇති කරයි. විශේෂයෙන් හානිය සිදු කරයි.

නිශාන්ත විජේසේන
 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.