ප්‍රධාන දොර ඉදිරිපිට නොතිබිය යුතු දෝෂ 18

පෙබරවාරි 12, 2021

 

නිවසේ සියලු අංග අතර ප්‍රධාන දොර ඉතාම වැදගත් අංගයකි. ප්‍රධාන දොර ඉදිරිපිට නොතිබිය යුතු අංග දහ අටක් අෂ්ට දශවේධ දෝෂ නමින් පුරාණ ඝෘෂිවරුන් විසින් පෙන්වා දී ඇත. එම දෝෂ හඳුනාගෙන ඔබේ නිවසේ ප්‍රධාන දොර ඒවායින් මඟ හරවා ගන්න.

නිවසේ ප්‍රධාන දොරට එල්ල වන ලෙස නිවසේ ඉදිරිපස ඉතා ආසන්නව අතුපතර විහිදුණු විශාල ගසක් පිහිටීම අසුබදායකය. එය වෘක්ෂවේධ දෝෂය නමින් හැඳින්වේ.

නිවසේ ප්‍රධාන දොරට අභිමුඛව පාරක වංගුවක් හෝ හන්දියක් පිහිටා තිබීම සුබ නැත. එය මාර්ග වේධ දෝෂයයි.

සුසානවේධ දෝෂය නමින් හැඳින්වෙන නිවසේ ඉදිරිපිට සුසාන භූමියක්, ආදාහනාගාරයක් සොහොන් කොතක් වැනි දෙයක් පැවතීම අසුබය.

ප්‍රධාන දොරට එල්ල වන ලෙස වැසිකිළියක් හෝ කුණු දමන ස්ථානයක් තිබීම සුබ නැත. එය වර්චස්ථාන වේධ දෝෂයයි.

ප්‍රධාන දොර ඉදිරිපිට රෙදි සෝදන ස්ථානයක් තිබීම රජක වේධ දෝෂයයි. එය ද අසුබ ය.

රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ නිවාස, නිල නිවාස, හමුදා මූලස්ථාන, රජයට සම්බන්ධ ගොඩනැඟිලි ආදිය නිවස ඉදිරිපිට පැවතීම ද අසුබ ය. එය රාජ වේධ දෝෂයයි.

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට බුදු ගෙයක්, දේව මන්දිරයක්, එබඳු ප්‍රතිමා පිහිටීම ද අසුබය. එය දේවතා වේධ දෝෂය නම් වේ.

නිවසේ ප්‍රධාන දොරට එල්ල වන පරිදි බිත්ති උසින් දෙගුණයකට වඩා ළංව ළිඳක් පිහිටා තිබේ නම් එය අසුබය. එම දෝෂය හැඳින්වෙන්නේ කූපවේධ දෝෂය නමිනි.

තම නිවසේ ප්‍රධාන දොරට අභිමුඛව වෙනත් නිවසක ප්‍රධාන දොර පිහිටීම අසුබය. එය ද්වාර වේධ දෝෂයයි. එසේ පිහිටන්නේ නම් අඩුම වශයෙන් නිවසේ බිත්ති උසින් දෙගුණයකට වඩා ඈත් ව තිබිය යුතු ය.

බ්‍රහ්ම වේද දෝෂය නමින් හැඳින්වෙන නිවසේ ඉදිරිපස බිත්තියේ හරි මැදින් එනම් නිවසේ මධ්‍යය හෙවත් බ්‍රහ්ම පාදය දර්ශනය වන පරිදි ප්‍රධාන දොර තැබීම ද අසුබ වේ.

ඉදිරිපස දොරට අභිමුඛව භූමියක, නිවසක කොණක්, තුන්මංහන්දියක් පැවතීම ද අසුබය. කෝණවේධ දෝෂය නමින් එය හැඳින්වේ.

ප්‍රධාන දොර ඉදිරිපස අපිරිසුදු මඩ වළක් පාළු පතලක්, පුරන්ව ගිය කෙතක් වැනි දෙයක් පැවතීම කර්දම වේධ දෝෂයයි.එය අසුබය.

ප්‍රධාන දොර ඉදිරිපස පහත් අදහස් ඇති අය, පහත් වෘත්තීන්හි යෙදෙන අය නොගැළපෙන කුල පරම්පරා ඇති අය, අංශභාග, මානසික ආබාධ වැනි රෝග ඇත්තන් වාසය කිරීම ම්ලේච්ඡ වේධ දෝෂය වේ. එය අසුබය.

නිවස ඉදිරිපිට ගවගාල්, කුකුළු කොටු, ඌරු කොටු වැනි සතුන් ඇති කරන ස්ථාන ද මස්, මාළු, වෙළෙඳසැල්, ගව ඝාතකාගාර ආදිය පැවතීම ද අසුබ ය. එය තිරශ්චීන වේධ දෝෂයයි.

ප්‍රධාන දොර ඉදිරිපිට උළු, ගඩොල්, වළං, පෝරණු ආදිය තිබීම අසුබ වන අතර, එය කුම්භකාර වේධ දෝෂය නම් වේ.

ජල නිර්ගමන වේධ දෝෂය ලෙස හැඳින්වෙන ගඟක්, ඔයක්, ඇළක් වැනි ජල ප්‍රවාහයක් හෝ සිහින් දිය පහරවල් ගලා යාම ද අසුබ ය.

ප්‍රධාන දොරට අභිමුඛව කණුවක්, කුලුනක් පැවතීම අසුබය. එය හැඳින්වෙන්නේ ස්ථම්භවේධ දෝෂය නමිනි.

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපස ගණිකා නිවාසයක් පිහිටීම සුබ නැත. එය ගණිකාවේධ දෝෂයයි.

 

 

 

 

ඡ්‍යෝතිර්වේදී, වාස්තුවිද්‍යා

උපදේශක, ආචාර්ය

කපිල ඉන්ද්‍රික ගුණදාස

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.