ගෘහ නිර්මාණ වාස්තු විද්‍යා නක්ෂත්‍ර ආදී සියල්ලක්ම මෙලොවට ලබා දීමෙන් නිර්මාතෘත්වයට පත්වූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා

ජනවාරි 22, 2021

ගෘහ නිර්මාණ, වාස්තු විද්‍යා, නක්ෂත්‍ර, දේව මන්දිර, ප්‍රතිමා, බඩුබාහිරාදිය සෙත් ශාන්ති ආදී සෑම දෙයක්ම මනු ලොවට ලබා දෙමින් මනු ලොවේ අවශ්‍යතාවයන් ඉටු කළ විශ්වකර්ම අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි අපල උපද්‍රව මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේදී ඇතිවන දෝසාදාංකාරයන් ගැනද ලබා සිටි දැනුම බෙදා හරිමින් කටයුතු කරන ලදී. මෙම ගෘහනිර්මාණ ශිල්පය, වාස්තු විද්‍යාව, නක්ෂත්‍ර ශාස්ත්‍රය පළමුව ලොවට හඳුන්වා දී ඇත්තේ මහා බ්‍රහ්මයා විසිනි.

 

නමුත් එය මනු ලොවට ගෙන ඒමෙන් යහපත උදාකිරීම සඳහා මහා බ්‍රහ්ම විසින් තම ඖරස පත්‍රයන් තිදෙනා වූ ගර්ග පරාශරට හා විශ්ව කර්මට බලය පවරා දෙන ලදී. එහිදී වඩාත්ම ඔබ බලගතුවී ක්‍රියාකිරීමට විශ්වකර්මට හැකිවිය. ගෙබිම් ශාස්ත්‍රය මහා බ්‍රහ්මයා විසින් තම දරු තිදෙනාට ලබාදීමෙන් පසුව පරාශර විසින් වෘහද්‍රථයන්ටද වෘහද්‍රථයන් විසින් විශ්වකර්මටද පතුරවා හරින ලදී. එසේ බලය පැවරීමෙන් පසු විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් දෙවියන් සඳහා වූ දේව ප්‍රශාද මාලිගා උයන් නිර්මාණය කරමින් එහි නිර්ශිල්පයේ නිර්මාණත්වයට පත්විය.

ඉපැරණි පොත් පත් විශ්ව කර්ම ගැනත් විශ්ව කර්මගේ නිර්මාණ ගැනත් බෙහෙවින් සඳහන් කොට ඇත. වඩාත්ම එහිදී පෙන්වාදී ඇත්තේ ගෙබිම් ශාස්ත්‍රය ගැනයි. මෙම ගෙබිම් සතර ගැන පරාශර විසින් වෘහද්‍රථයන්ටද වෘහද්‍රථයන් විසින් විශ්වකර්මට ද පවසා ඇති බවයි. අනතුරුව විශ්වකර්ම මෙය ලෝවැසියන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක කරන ලදී. මනු ලොවේ කුමන හෝ වස්තුවක් මන්දිරයක් බඩු බාහිරාදියක් හෝ ඕනෑම දෙයක් පවතී. ඒ හැම දෙයක්ම ඇත්ද ඒවා විශ්වකර්මගේ නිර්මාණ වී ඇත. ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම තොරණ, ප්‍රතිමා ස්තූප, ගම්මාන අලංකාර වස්තූන් ආදි සියලු දේම විශ්වකර්මගේ නිපයුම්ය. මහා සම්මත රජ දවස සිට පැවත එන මංගල්‍යය පෝරුවද නිර්මාණය කරන ලද්දේ විශ්ව දිව්‍ය පුත්‍රයා විසිනි. මහා සම්මත රජු සහ මැණික් පාල කුමරිය අතර පැවති විවාහය වෙනුවෙන් මඟුල් පෝරුව නිර්මාණය කළේත් විශ්ව කර්මයි. එම මඟුල් පෝරුවේ දොරටු සතරක් තබා ඇතිබවත් එම දොරටු සතරවරම් දෙවියන් විසින් රැකවල් කළ බවත් පෝරුවේ චාරිත්‍රවලදී කියවේ. ඒ අනුව විශ්වකර්මගේ නිපයුම පරිදි දැනුද මංගල පෝරුව සාදන විට සතර දිසාවට පුන් කලස් සතරක් තබා සම්ප්‍රදායට අනුව පොල්තෙල් පහන් දල්වන්නේ ධෘතාරස්ඨ, විරුඪ, විරුපාක්ෂා ,වෛශ්‍රවණ යන සතරවරම් දෙවියන් වෙනුවෙනි.

 

සතර දොරටුව තොරණ සතරද

සිවුවරම් දෙවිරුවන නා

නොහැර නව ග්‍රහ මඩල මුදුනේ

එරන් කොත තබමින් ම නා

කෙසඟ ජලතා සියපත් දිළෙන

සදකඩ පහණි නා

පවරදෙව් විමනක සිටියදී

උඩුවියන් බැඳි විලසි නා

 

කෝලම් මූණාද විස්කම් දෙවියන්ගේ නිර්මාණයකි. මහා සම්මත බිසව ගර්භිණී වූ අවස්ථාවේදී බිසවට ඇතිවූ දොළදුක වූයේ උසුළු විසුළු කරමින් සිදුකරනු ලබන නැටුමක් බැලීමය. ඒ බව රජුට දන්වා සිටියේය. රජුද එවැනි නැටුමක්, බලා තියා ආසාවත් නොමැති නිසා පුරෝහිත කැඳවා විමසීය. පුරෝහිත ද නොදන්නා බව පැවසීම නිසා රාජසභාව කැඳවා විමසන ලදී. රාජ සභාවද නොදන්නා බව පැවසීම නිසා රාජකීය නක්ශාස්ත්‍රකරුවන් ගෙන්වා විමසන ලදී. ඔවුන් කියා සිටියේ රජබිසවගේ දොළදුක වී ඇත්තේ වෙස්මුහුණු නැටීම් බැලීම බවයි. වෙස්මුහුණුකරුවන් සෙවීමට මුළු රාජ්‍ය පුරාම අණබෙරකරුවන් යැවීය. එයින්ද පලක් නොවීම නිසා මහත් කනස්සල්ලට පත්ව රජ සිටියේ. රජු ගැන අනුකම්පා කළ දෙව්දුවක් සදෙවු ලොවට අධිපති සක්දෙවියන්ට එහි ගොස් ඒ බව දන්වා පිහිටක් ලබා දෙන ලෙස ඉල්ලීය. එහිදී සක්දෙවිඳු විස්මකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා නැටුමකට සුදුසු වෙස් මුහුණක් නිර්මාණය කරන ලෙස දන්විය. ශක්‍රදේවේන්ද්‍රයාගේ උපදෙස් අනුව සඳුන් ලීයෙන් වෙස්මුහුණක් නිර්මාණය කළේ විශ්මකර්ම විසිනි.

මනුලොව කුමක් හෝ විශ්මිත දෙයක් අපූරු වස්තුවක් පවතීද එය විශ්වකර්මගේ නිර්මාණයකි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ගැන දක්ෂතා නිපැයුම් බොහෝ දේවකථාවලින් පෙන්වාදී ඇත. එතුමා ග්‍රහ අපල අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දුරවන ලෙස ගෙබිම් ශාස්ත්‍රය සකස් කිරීමේ මහා බලවතා ලෙසට ද පිළිගැනීමකට ලක්ව තිබේ. වාස්තු ශාස්ත්‍රය මෙලොවට පහළ කරනු ලැබූවේත් ඔහුය.

 

ඉති ප්‍රො කතං වාස්තු ශාස්ත්‍රං

පූර්වං ගර්ෂායධිමතෙ

ගර්‍ග¡ත් පරාශරඞ ප්‍රාපත –

සතසමාත් ප්‍රාපෙතා වෘහද්‍රථඞ

වෘ හදාථා ද්විශ්ව කර්මා –

ප්‍රාපතවාන් වාස්තු ශාස්ත්‍රකර්‍ම

විශ්ව කර්ම ජගතො හිතාය තථයන් පුනඞ

වාසුදේවා දිෂුසුනභ ලෝකේ

භක්තිතො බවිත්

 

වාස්තුශාස්ත්‍රය මහා බ්‍රහ්ම විසින් ගර්‍ග¡ටද පරාශරටද පරාශර වෘත්දාථටද වෘහදාථ විශ්ව කර්මටද පවසන ලදී. ඔහුගෙන් ඉගෙන ගත් වාසු දේවදීහු මනුෂ්‍ය ලෝකයට පතළ කළහ. නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අය තම ඉඩමේ කළ යුතු මූලික සොයා ගැනීම් පිළිබඳවද දක්වා ඇත. ඒ අනුව නිවාසය ඉදිකිරීමට යන ඉඩම් කොටස වෙන් කර අවට පරිසරය පිරිසිදුකර නිවසට ගෙපල කපන ස්ථානය තෝරාගෙන එම භූමියේ රියනක් ගැඹුරට වළක් කැපිය යුතුය. එම වළෙන් ගොඩගන්නා පස් නැවත ගෙන වළට දැමිය යුතුය. එසේ කිරීමේදී එම වළෙන් ගොඩගත් පස් වළට දැමීමෙන් පසුවත් ඉතිරිවූයේ නම් එය නිවස ඉදිකිරීමට සුබවේ.

එසේම වළෙන් ගොඩගත් පස වළටම දැමීමෙන් අඩුවක් හෝ ඉතිරියක් හෝ නොවූයේ නම් මධ්‍යවේ. පස් පිරවීමේදී වළට පස් අඩුවූයේ නම් අධම වේ. එලෙසම ගෙපල කපන ස්ථානයේ රියනක පමණ වළක් කපා එම වලට ජලය පුරවන සාමාන්‍ය වේගයෙන් පියවර සියයක් ඉදිරියට ගමන් කොට නැවත එම වේගයෙන්ම පැමිණ වළ පරීක්ෂා කරන්න. එහිදී වළට පුරවන ලද ජල අඩු නොවී පවතින්නේ නම් නිවස ඉදිකිරීමට සුදුසු වේ. මෙවැනි පෙර දැනුවත් කිරීම් රැසක්ම විශ්වකර්ම ප්‍රකාශනයෙහි සඳහන්ව ඇත.

ගෘහ නිර්මාණ ශිල්පයේ මහා බලවතා බවට පත්වූ විශ්වකර්ම මෙලොවට ලබාදුන් සෑම දෙයක්ම එතුමාගේ නිර්මාණ එතුමා ශාස්ත්‍රයෙහි විශාරදයෙක් පමණක් නොව මනුලොව ආරක්ෂා කරන්නකු ද වේ. නක්ෂත්‍රයෙහිත් නිවාසවලට යෝග්‍ය යන්ත්‍ර මන්ත්‍ර ගැනත් ලොවට ලබාදුන්, හඟු ප්‍රබල සේවාවක් ඉටුකළ මෙතුමා ලොව සත්වයන්ගේ යහපත උදෙසා කටයුතු කළ දිව්‍ය පුත්‍රයකි. ගෘහ නිර්මාණ ශිල්පය, වාස්තු විද්‍යාව හා ඡ්‍යොතිෂ විද්‍යාව ලොවට හෙළිකළ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ ප්‍රතිමා ගොඩනගාගෙන පුද පූජා පවත්වන ජනකොටස් අදටත් ඉන්දියාවේ සිටින බව තොරතුරුවලින් හෙළිවේ.

 

පාරම්පරික ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ ප්‍රභේෂ්වර

මොරටුවේ තිස්ස මහානාම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.