දැනගෙන තැබිය යුතු මුදුන් යටලීය

පෙබරවාරි 14, 2020

නිවසක් ඉදිකිරීමේදී බොහෝ සෙයින් දෝෂ ඇතිවන ප්‍රධානම ස්ථානය වන්නේ වහලයයි. වාස්තු විද්‍යානුකූලව මෙන්ම කල්පනාකාරීව වහලය නිර්මාණය කර නොගතහොත් එහි දෝෂ තත්වයන් නිවසේ පදිංචි අයට තදින්ම බලපානු ඇත.

තනිඵල වහලය මනුෂ්‍ය වාසයට අශුභ වන අතර, දෙපල වහලය ශුභය. එහි වාස්තු දෝෂ වුවත් අඩුවනු ඇත. ඵල තුනේ වහලය විශාල කරදර නැතත් යම් යම් ප්‍රශ්න වලට මුහුණදීමට හේතුවේ. ඵල 04 වහලය සාමාන්‍යයෙන් යහපත් වන අතර, ඵල 05 වහලය සෑම අතින්ම ශුභදායකය.

වහලයේ වැඩ සඳහා පළමුවෙන්ම මුදුන් යටලීය සුබ නැකතක් අනුව තැබිය යුතුය. මෙම තබන යටලීය කුමන හේතුවක් නිසාවත් වෙනසක් නොකළ යුතුය. මංගල යටලීය බිත්තිය උඩ තබා ගැනීමෙන් මෙම දෝෂයෙන් මිදිය හැකිය.

මුදුන් යටලීයට තනි මූට්ටුවක් හෝ මූට්ටු දෙකක් නොවිය යුතුය. යටලී මූට්ටු කිරීමේදි යකඩ ඇණ යොදා ගැනීම ඉතාම අශුභදායකය. යටලීයේ මූට්ටුවක් නිවසේ මර්මස්ථානයට වැටී තිබුණහොත් නිවසේ ප්‍රධානියාගේ හිසේ සුවකළ නොහැකි රෝගයක් සෑදේ. ඔහුගේ කලදසාව අසුබනම් ඒ තුළින් බොහෝ පීඩා ගෙන දී අසුබදායක තත්වයක් ඇති කරයි.

මේ නිසා යටලී මූට්ටුව කිඹුල් කට්ට උපයෝගී කරගෙන මූට්ටු කළ යුතු ලීයෙන්ම කපා ගන්නා ලී කැබැල්ලක් ලී ඇණයක් සේ යොදාගත යුතුය.

ඵල හතරේ වහලය නිර්මාණය කිරීමේදී යටලීයේ දිග ගෘහ මූලිකයාගේ උසට වඩා අඩු නොවිය යුතුයි. එබඳු තවත් යටලීයක් වහලයේ ඇත්නම් එම දෝෂය මඟහැරි යාමට නිවසේ තවත් කොටසකට දිග ලීයක් තැබීමෙන් එම දෝෂය භංග වේ. නිවසක යට ලී තැබීම 3,5,7 ආදි වශයෙන් විය යුතුය. තවද යටලී මූට්ටු තුනක් එක කෙලින් සිටිනසේ නොතැබිය යුතුය.

ප්‍රධාන උළුවස්ස නැගෙනහිර හෝ බටහිරට තබා ඇති නිවසක මුදුන් යටලීයද නැගෙනහිරට හා බටහිරට සිටින සේ නොතැබිය යුතුය. එය දෝෂ ගෙනදෙන්නක් බැවින් එවැනි නිවසක මුදුන් යටලීය උතුරට හෝ දකුණට තැබීමෙන් දෝෂ නැතිවේ.

මුදුන් යටලීය නිවසේ මැදට වනසේ තැබීමද දෝෂ සහිත වන අතර මුදුන් යටලීයට යටින් උළුවහු තබා කාමර වලට යාමද අශුභය. මුදුන් යටලීය යටින් ඇඳක් තබා නිදා ගැනීමද අසුබය. එසේ නිදා ගැනීමෙන්ද තද බල රෝග ඇතිවීමට ඉඩ තිබේ.ඵල හතරේ වහල මෙන්ම හැඩතල පන්නා නිර්මාණය කරනු ලබන වහල වලින් දෝෂ ඇතිවේ. එම වහල නිර්මාණයේදී ඉතා පරෙස්සමින් කළ යුතුය.

මුදුන් ලී තුනක් නිවසක එක දිගටම යෙදීම අශුභඵලදායකය. වහලය තබන කුරුපා ගණන ඔත්තේ ගණනක් විය යුතු අතර මුදුන් යටලීයට කුරුපා තුනක් තැබීම අශුභ ඵලදායක වන අතර, එය හතරක් වනසේ තැබිය යුතුය.

යටලී මූට්ටු උළුවහු ජනෙල් මතට වැටීම අසුබ දායකයි.

එමෙන්ම යටලී මූට්ටුව උළුවහු හා ජනෙල් මැදට ලම්බකව නොතැබිය යුතුය. යටලී ගසන ඇණය යටින් මතුනොවන ආකාරයට ගැසිය යුතුයි. කුඩා යට ලී කැබලි කීපයක් මූට්ටු කරනවාට වඩා එක් යටලීයක් යොදා ගන්නේ නම් එය ඉතා යහපත්ය. නිවසේ බිත්තිය සමානව දෙකට බෙදී යන සේ හරි මැදට යටලිය තැබීමද යහපත් නොවේ. වහලයේ සම්පූර්ණ ශක්තිය රඳා පවතින්නේ යට ලී මතය. මේ නිසා වහලයට යට ලී තෝරා ගැනීමේදී ඇද පළුදු නැති ශක්තිමත් ලී තෝරා ගැනීමටද උනන්දු විය යුතුය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.