ජනවාරි 14 දා සිදු වූ මකර සංක්‍රාන්තියේ බලපෑම

ජනවාරි 17, 2025

මේෂ, කටක, තුලා සහ මකර යන ප්‍රධාන සංක්‍රාන්ති හතර රටක් සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු රැසක් පිළිබඳව පුරෝකථනය කළ හැකි තත්කාල සටහන් කිහිපයකි. එයින් මකර සංක්‍රාන්තිය එසේ නැතහොත් හින්දු භක්තිකයින් තෛපොංගල් ලෙස උත්සවශ්‍රීයෙන් සමරන සංක්‍රාන්තිය වනාහි රටක ඉදිරි වසරෙහි කෘෂිකර්මාන්තය පිළිබඳව මූලික ඉඟි රැසක් දෙනු ලබන්නකි.

මෙවර 2025 වසරේ ජනවාරි 14 දින උදේ 08.56 ට රවි ග්‍රහයා මකර රාශිගතවීම මකර සංක්‍රාන්තිය ලෙස හැඳීන්වේ. මේ මොහොතට ගොඩනඟන තත්කාලය කුම්භ ලග්න සටහනක් වන අතර එහි 12 වැන්නේ රවි ග්‍රහයා තැන්පත් ය. කුජ සහ සඳුගේ සප්තම දෘෂ්ටියටද රවි ලක්වේ. එමෙන්ම තත්කාල රාශිය ස්ථිර රාශියක් නිසා ලෝකායත ඡ්‍යොතිෂය අනුව වසරක කාලයක් මෙහි ප්‍රතිඵල බල පවත්වයි.

ඉදිරි කාලය තුළ කර්මාන්තශාලා සම්බන්ධ ප්‍රධානීන්ගේ තනතුරුවල වෙනස්කම් සිදුවිය හැකි බව දක්නට ලැබේ. දේශපාලනයේ උද්වේගකර තත්වයන්, වෙළෙඳ ව්‍යාපාර සහ අධ්‍යාපනය සම්බන්ධ අලුත් නීති නිර්මාණය වීම් පෙන්නුම් කරයි.

ඉදිරි කාලය තුළ වසංගත රෝග, බෝවන රෝග පිළිබඳව වඩාත් කල්පනාකාරී විය යුතු බව විශේෂයෙන් මතක් කළ යුතු අතර සෞඛ්‍ය අංශවලට මේ ගැන විශේෂ වගකීමක් පැවරේ. ලොව පුරා නාවුක සහ ගුවන් ක්ෂේත්‍ර පිළිබඳව ද කල්පනාකාරී විය යුතු වේ.

කෘෂිකර්මාන්තය ගැන විශේෂ ඉඟි දෙන සංක්‍රාන්තියක් ලෙස, ඉඩම් හිමි අයට යහපත් බවක් ද ගොවිතැන් කටයුතුවල සශ්‍රීකත්වයක් ද පෙන්වයි. යහපත් සෘතු කාලයන් ඉදිරියේදී ඇතිවන අතර ධන ධාන්‍ය සුලබ වන බවක් පෙනී යයි.

වසර මැද වනවිට ඇතිවන වර්ෂා තත්ත්ව සමඟ යම් භූ පැලීම් , නාය යෑම් ආදියත් අසන්නට ලැබෙනු ඇත. ගොවිතැන් කටයුතු සඳහා අවැසි වැසි සහගත තත්ත්වයන් ද ඉදිරි වසර තුළ නිර්මාණය වන අතර ඇතැම් අවස්ථාවන්හි හානිදායක මට්ටමේ බලපෑම් ද ඇතිවන බව පෙන්වන බැවින් පෙර සූදානමද වැදගත් බව කෘෂි ක්ෂේත්‍රයේ යෙදෙන්නන් වෙත සිහිපත් කෙරේ. විශේෂයෙන්ම මේ වසරේ ඉදිරි යල සහ මහ කන්න දෙකම සාර්ථක කර ගැනීමෙහිලා කාලගුණ විපර්යාස වැදගත් වන බව පැහැදිලිව පෙනේ.

 

පාරම්පරික වෛද්‍ය,

ඡ්‍යොතිෂ, වාස්තු හා ගුප්තවිද්‍යා උපදේශක

රවිශංඛ සේනානායක

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.