ඊශ්වර දෙවියන්ගේ බලය ලැබෙන බලගතු උභයචාරි යෝගයෙන් ඔබේ කටයුතු අරඹන්න

ජනවාරි 10, 2025

 මේ ජනවාරි 14 වැනි අඟහරුවාදා උදේ 08.56ට රවි ග්‍රහයා මකර රාශි ගතවීමෙන් බලගතු උභයචාරී යෝගයක් යෙදෙයි.

ඇතැමුන්ට රවි ග්‍රහයා ස්වකීය සතුරු භවනයක් වන මකර රාශිගතවීමෙන් පැන නඟින උභයවාරි යෝගය ඉතා බලවත් වන්නේ මකර රාශියෙහි අධිපති ශනි කුම්භ රාශියෙහි ස්වක්ෂේත්‍රව මිත්‍ර සිකුරු සමඟ යෝගවීම යන කරුණු ගැන සලකා බලන විටය. ඒ අනුව දැනට රවි ග්‍රහයාට අයත් මහ දශාව අතුරු දශාව ලබා ඇති රවි ග්‍රහයා යෝග කාරක වන මේෂ, වෘශ්චික, ධනු හෝ රවි ග්‍රහයා මිත්‍රවන මිථුන, කටක, කන්‍යා, මීන යන ලග්නවලින් හෝ චන්ද්‍ර ලග්නවලින් උපත ලැබූ ජන්මීන්ටත් ලග්නය හෝ චන්ද්‍ර ලග්නය සිංහ ලග්න වූ ජන්මීන්ටත් මෙකී රවි ග්‍රහයා මුල් කරගෙන යෙදෙන උභයචාරී යෝගය බොහෝ ශුභඵල ගෙන දෙන්නේ ය.

අන්‍ය ලග්නවලින් උපන් ජන්මීන්ට ද උත්්පත්ති කේන්දරයේ මෙකී උභයචාරී යෝගය යෙදී රවි ග්‍රහයාට අයත් මහ දශාව හෝ අතුරු දශා ලබා ඇත්නම් ශුභ, අශුභ මිශ්‍ර පල බලාපොරොත්තු විය හැකිය.

ඒ අනුව රවි ග්‍රහයා බලවත්ව ගමන් කරන මෙකී කාල සීමාව තුළ දී යටකී ලග්නවලින් උපන් ජන්මීන් ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දිනවල රවි හෝරාව පවතින කාල සීමාව තුළදී රවිගේ පංචම කාල හෝරාව තුළ පවතින මිනිත්තු 4ක් පමණ පවතින රවිගේ සූක්ෂම කාල හෝරාවෙන් හෝ රවිගේ බුධගේ සූක්ෂම කාල හෝරාවෙන් තැඹිලි පැහැති වස්ත්‍රයකින් සැරසී ඊශ්වර දෙවියන්ට පහනක් තබා නැඟෙනහිර බලා ශුභ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් ඉෂ්ඨ සිද්ධිය ඇති වන්නේ ය.

මෙකී රවි හෝරාව ඒ අනුව විශේෂයෙන් ගිවිසුම් අත්සන් කිරීම සඳහා අත්තිම කැමති පත්‍ර ලිවීම, දේශපාලනයට අවතීර්ණය වීම සහ විවිධ වූ දේශපාලන කටයුතු ආරම්භ කිරීම සඳහාත්, සහල්, කතුරුමුරුංගා, ගම්මිරිස්, ආමන්ඩ්, රටකජු, පොල්, සුවඳ විලවුන්, වී, කටු සහිත ගස් මිලදී ගැනීම සඳහාත්, විවිධ ලෙඩ රෝගවලට බටහිර ක්‍රමයට අනුව වෙදකම් කිරීම සඳහාත්, බෝවන රෝගවලට එන්නත් ලබා ගැනීම සඳහාත් ශුභ වන්නේ ය.

රටක් වශයෙන් ගත් කල රටේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල දියුණුවක් පෙන්වන අතර සහල් මිල පාලනයක් පෙන්නුම් කෙරේ. එමෙන්ම මැතිවරණ දින නියම කිරීමක් මේ කාල සීමාව තුළ සිදුවිය හැකිය.

දේශගුණික වශයෙන් බලන කල සංචාරක කර්මාන්තයට හිතකර සෞම්‍ය දේශගුණයක් මෙකී රවි, මකර රාශිය ගෝචරය වන කාල සීමාව තුළ ඇති වන නමුත් ජනවාරි මස අගදී එනම් ජනවාරි 28 වැනි දින සිකුරු මීන රාශිගතවීමෙන් රට තුළ ඇතැම් පළාත්වල කඩින් කඩ වැසි ඇතිවිය හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.